2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

පොලිස්පති පත් කරන්න බැරි ජනාධිපති අද ඇමැතිලා පත් කරනවා

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

 

 

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබල සන්ධානය

  • මෛත්‍රීපාල මහත්තයා අද ඉන්නේ මංමුලා වෙලා
  • පෝලිම් නැතිවුණේ ලෝක බැංකුවයි ඉන්දියාවයි දීපු සල්ලි නිසා
  • රනිල් මහත්තයා නැත්නම් රට දුවන්න බෑ කීම පල් බොරුවක්

 

ඇයි ඔබ එකවරම සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකයා හැටියට තෝරගත්තේ?

රාජපක්ෂවරු 69 ලක්ෂයේ ජනවරම අතහැරල යද්දි වමට බර නායකයකුට වඩා අපිට වුණේ දක්ෂිණාංශික නායකයකුට යටත් වෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා නියෝජනය කරන්නේ අන්ත දක්ෂිණාංශික කඳවුර. ඔහු එක්ක ඉන්නේ අපේ පක්ෂය විනාශ කරපු පොහොට්ටුවේ නායකයෝ. ඉතින් ඒ අය එක්ක හිටගන්න අපිට දෙපාරක් හිතන්න වෙනවා. රටේ දේපළ විකුණමින්, ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් තමන්ට කෙටි කාලයකට ලැබුණු බලයෙන් වැරදි ප්‍රයෝජන ගන්න නායකයෙක් එක්ක යනවද නැද්ද කියලා අපිට හිතන්න වුණා.

එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා තෝරගත්තේ ඇයි?

ඔහු එක්ක කතා කළාම ඔහුගේ මතවාදය තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. ඒක අන්ත දක්ෂිණාංශික හෝ වාමාංශික නෙමේ. එතුමගේ ආර්ථික වැඩපිළිවෙළ තමයි සමාජ වෙළෙඳපොළ ආර්ථිකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක බලද්දි අපිට ගැලපෙනවා. මානුෂීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තමයි ශ්‍රීලනිපය විදිහට අපිට ගරු කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් එක්ක අපි මේ බලවේග දෙකෙන් ගැලපෙනම කඳවුර ලෙස සජිත් ප්‍රේමදාස කඳවුර තෝරගත්තා.

ශ්‍රීලනිපයේ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතුවෙලා ඔවුන් කියනවනේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුව කියලා. ඔබ කියනව සජිත් තමයි තීන්දුව කියලා. කොයි පැත්තෙද ඉන්නේ ශ්‍රීලනිපය?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අයිතිය තියෙන්නේ ලේකම්වරයා හැටියට මට. ඒක සම්පූර්ණ අනීතික වැඩක්. මම නඩුවක් පැවරුවා. ඒ වගේ තව නඩු හතරක් පවරලා තියෙනවා. ඒවට තවම නියෝග ලැබිලා නෑ.

මොකක්ද ඔබ දාපු නඩුව?

නිමල් සිරිපාල ද සිල්වා පත්වීම අනීතික බවත්, දුමින්ද දිසානායක පත්වීම අනීතික බවත් ලේකම්වරයා ලෙස මට ලබාදුන් නියෝගයට අනුව මට වැඩ බාරගන්න නොදීම නිසා මට ලේකම්වරයා හැටියට බාධාවකින් තොරව වැඩ කටයුතු කරන්න අවස්ථාවයි ඉල්ලුවේ. ඒ සම්බන්ධයෙන් උසාවිය නිවැරදි තීන්දුවක් ගනීවි කියලා හිතනවා. මේ අය අනීතිකව ආණ්ඩු බලය යොදාගෙන මේ දේවල් කරන්නේ. දුමින්ද දිසානායක කිව්වට නඩු පවරලා නෑනේ. මම නඩු හතරක් දාලා තියෙන්නේ.

ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ගාවද? සජිත් ප්‍රේමදාස ගාවද?

ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ කා එක්කවත් නෙමේ, මා එක්ක. දයාසිරි ජයසේකර එක්ක. සභාපති කෙනෙක් දැන් පක්ෂයට නෑ. ඉන්නේ ලේකම් විතරයි, ඒ මම.

2019 දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට උදව් කළත් ශ්‍රීලනිපයට නාමයෝජනා වෙලාවේ අසාධාරණයක් වුණා. දැන් මේ පාරත් සජිත්ට උදව් කරලා ඒ දේම වෙයිද?

අනිවාර්යයෙන්ම අපි එතුමා එක්ක ගිවිසුමක් අත්සන් කළා. ඒකෙදි පැහැදිලිවම මතවාදී කරුණු සහ අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ සංවිධායකවරුන්ට ලබාදෙන වගකීම් සහ කාර්යභාරයන් ගැන එකඟතාවයකට ආවා. ඒ වැරදීම් අපිට හදාගන්න පුළුවන්. එදා ඒ සිද්ධිය වුණේ අපේ නායකතුමා කලින් ඇවිල්ලා අත්සන් කරල ගෙදර ගියා. හැබැයි මම නම් එහෙම කරන්නේ නෑ. මම උපරිම සටන් කරනවා අපේ අය වෙනුවෙන්.

ඇත්තටම හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මොකක්ද වුණේ. කවුරුත් ගන්නෙ නෑනේ?

එතුමා මංමුලා වෙලා ඉන්නේ. එක මතයක නෙමේ ඉන්නේ. එක එක වෙලාවට එක එක අදහස්වල ඉන්නේ.

සජිත්ට උදව් කරන්න යද්දි ඔබ ඇහුවේ නැද්ද?

නෑ. එතකොට එතුමා විජයදාස රාජපක්ෂ මහත්තයා තෝරගෙන ඉවරයි. එතුමා මුලදි කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරමු කියලා. පස්සේ විජයදාස රාජපක්ෂ මහත්තයා තෝරගත්තා.

දැන් ආණ්ඩුව කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නැත්නම් මාස හයක් රට දුවන්න බෑ, අලුතෙන් ගන්න කෙනාට කියලා. ඒක ඇත්තද? ඔබලට හැකියාවක් නැද්ද?

ඕක සම්පූර්ණයෙන් බොරු කතාවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයට විතරද නායකත්වය අරන් වැඩ කරන්න පුළුවන්. එතුමා බලයක් අරගත්තා. කී පාරක් බලයට ආවද? මොනවද කළේ?

පෝලිම් යුගය නැති කළේ ඔහු කියලනේ කියන්නේ?

කොහොමද? ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක් දුන්නා. ඊට අමතරව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක ආහාර පහසුකම් දුන්නා. ඒ හැරෙන්න එතුමා කළ ආශ්චර්යක් නෑ. එතුමා කළේ ඉන්න අයට හොරකම් කරන්න දුන්න එක, එන අයට බාර් පර්මිට් දුන්න එක.

ඔබ කියනවා බාර් පර්මිට් කතාවක්. ඕක ඇත්තද? වගකීම් සහගතවද කියන්නේ?

ඔව්. මම පැහැදිලිවම කිව්වනේ, ඒ අයට පුළුවන් මට නඩු දාන්න කියලා. ඊට පස්සේ මම උසාවියට ඇවිල්ලා ඉතිහාසයේ ඉඳලා පැටිකිරියම කියන්නම්. බාර් පර්මිට් විතරක් නෙමේ, එයාලගේ ජීවිතේ තව වෙච්ච දේවල් පවා කියන්නම්.

ඔබට බාර් ලයිසන් එකක් දෙන්න ආවේ නැද්ද?

අනේ නෑ. දන්නවනේ මම එහෙම නවන්න පුළුවන් කෙනෙක් නෙමේ කියලා.

ඒ කියන්නේ ආණ්ඩුවට එන අය හැමෝටම වරදාන ලැබෙනවද?

නැතුව. පොලිස්පති පත් කරන්න බැරි ජනපති, ඇමැතිලා පත් කරනවා.

මේවාට අනාගතයේ දී තීන්දු ගන්නවද

අනිවාර්යෙන්ම ගන්නවා. නීතිය ඉදිරියට යනවා.

• ගයාන් ගාල්ලගේ

 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00