2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

දූෂිතයෙක් නැති පක්ෂයක් නෑ

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

පාලිත රංගේ බණ්ඩාර මහලේකම් එක්සත් ජාතික පක්ෂය

  • මන්ත්‍රීවරයකුට වගකීමක් පැවරීම ඡන්ද දූෂණයක් නොවේ
  • විධායකය අහෝසි කරන කතාව කියන්නේ හොඳම පරාජිතයයි
  • එන අයට බාර් පර්මිට් දෙනවා කීම කතාවක් විතරයි

 

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙද්දී ඔබේ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා. කොහොමද එතුමට තියෙන ජනතාවගේ කැමැත්ත?

ඔබ මාධ්‍යයෙන් දකින්න ඇති දේශපාලන රැස්වීමකට ගියත් රාජකාරි වැඩකට ගියත් ඒ වගේම ආගමික වැඩකට ගියත් ජනතාවගේ කැමැත්ත ආදරය කොහොමද කියලා. එතුමට ලොකු ඉල්ලුමක් තියෙනවා.

අපි දැක්කා මන්ත්‍රීවරුන් දවසින් දවස ඔබලට එකතු වෙනවා. මෙහෙම එන්නේ වරදාන වරප්‍රසාදවලට කියලා කතාවක් තියෙනවා?

රටේ ජනාධිපතිවරණයක් අභිමුව තියෙනකොට වරදාන වරප්‍රසාද ගන්න නෙමෙයි වෙලා තියෙන්නේ. රටේ අභිවෘද්ධිය සඳහා ජනතාව වගේම දේශපාලනඥයනුත් එකතු වෙනවා. විවිධ කණ්ඩායම් විවිධ කතා කියනවා, තමන්ගේ කණ්ඩායම් ගැලවෙනකොට සහ තමන්ගේ නොහැකියාව නිසා.

ඔබලට චෝදනාවක් එල්ල වෙනවා බාර් පර්මිට් දුන්නා කියලා එන අයට?

එහෙම එන අයට බාර් පර්මිට් දෙන්න බෑනේ. එහෙම ආපු අයට දීලා තියෙනවා නම් සුරාබදු එකෙන් තොරතුරු දැනගැනීම හරහා දැනගන්න පුළුවන්නේ. එහෙම අනාවරණයක් වෙලා නෑනේ.

එන මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා දෙනවනේ. ඒක මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් කියලා විපක්ෂය කියන්නේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනකුට වගකීමක් පැවරීම දූෂණයක් වෙන්න විදිහක් නෑනේ. මොකක් හරි හේතුවක් නිසා ඒ මන්ත්‍රී ධුර අයින් වෙනකොට ඒ අමාත්‍යංශ ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්න ඕනෑ. ඒක ජනාධිපතිතුමාට කරන්න බෑ. එහෙම කළොත් ජනතාවට අගතියක් වෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුවේ මන්ත්‍රී කෙනකුට ඒක දෙනවා. එහෙම නැතුව විපක්ෂයේ ඉඳලා කඩාකප්පල් කරන කෙනකුට දෙන්න බෑ.

1994 ඉඳලා එන විධායකය අහෝසි කරනවා කියන තර්කය නැවතත් විපක්ෂය කරළියට ගෙනල්ලා. ඒත් ජනාධිපතිවරයා ඒ ගැන කියන්නේ නෑ. මොකක්ද මේ වෙන්නේ?

ඕක අවලංගු මාතෘකාවක්. කිසිම මනුස්සයෙක් ඕක ගැන කතා කරන්නේ නෑ. කතා කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය හදපං, යහපත් පාලනයක් අරන් පලයං කියලා මිසක් ඔය ගැන නෙමේ. මිනිස්සුන්ට මේ වෙලාවේ ඕක වැඩක් නෑ. බලන්න ඔය යෝජනාව ගේන්නෙ හැමදාම හොඳම පරාජිතයා. මොකද මිනිහා දන්නවා පරදිනවා කියලා.

පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ හිතවාදී පිරිස කියන්නේ දැන් පොහොට්ටුව පිරිසුදුයි, ඔක්කොම හොරු බොරුකාරයෝ රනිල් වික්‍රමසිංහ මහත්තය ගාව ඉන්නේ කියලා?

තමන්ලා දූෂිතද නැද්ද කියන එක එළියේ, මාධ්‍යයේ කිව්වට වැඩක් නෑ. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඒක. රටම දන්නවා එහෙම දූෂිත ජාවාරම් කරන උන් කවුද කියලා. එවැනි අය හැම දේශපාලන පක්ෂයකම ඉන්නවා. බුදු හාමුදුරුවෝ කිව්වනේ නොමළ ගේකින් අබ මිටක් ගේන්න කියලා. අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේ. දූෂණයක් වංචාවක් නැති ගේකින් අබ මිටක් ගේන්න කියලා. දූෂිතයෙක් නැති පක්ෂයක් නෑ.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය නම් කියන්නේ ඔවුන්ගේ පක්ෂයේ දූෂිතයෝ නෑ කියලා?

සජබයේ නායකයගේ සහෝදරිය අහුවුණා හොර සල්ලි ප්‍රශ්නයකට. අපි දැක්කා මහින්ද මහත්තයා කිව්වා එතුමා බේරගත්තා කියලා. මහින්ද රාජපක්ෂත් වැරදියි, සහෝදරියත් වැරදියි. නිවාස අධිකාරියේ පත්වීම් සම්බන්ධයෙනුත් නායකයට චෝදනා තියෙනවනේ. නාලක ගොඩහේවටත් චෝදනා තියෙනවනේ, අර එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන්. බැඳුම්කර සිද්ධියෙ දී පරීක්ෂණ යන අතර ෆුට් නෝට් දාපු අය, ඇලෝසියස් එක්ක 62ක් කෝල් දුන්න අය, ඒ අයත් ඔතන ඉන්නවනේ. මාලිමාවත් එහෙමනේ. ඒ අය කරපු මිනීමැරුම් නඩු ඇහිලි නොදන්නවද? එයාලා හොඳටම කළ අය.

විපක්ෂය නම් කියනවා බලය ගත්තම විවිධ දේ කරනවා ජනතාවගේ සහනය වෙනුවෙන් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක්ද කරන්න ඉන්නේ?

රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්න ඕනෑ දේ දැනටම කරලා තියෙන්නේ, රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන ඒවා වගේ දේවල්. එතුමා ලොකු දේවල් විපක්ෂයේ අය වගේ කියන්නේ නෑ. එතුමා කියන්නේ මේ ක්‍රමවේදයට ක‍රගෙන යන්න ඕනෑ කියලා. එතුමා දැනටම මේ වැඩපිළිවෙළ සිදු කරගෙන යනවා.

ඔබලා කොහොමද කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නැත්නම් රට දුවන්න බෑ කියලා මාස හයක්වත්?

නෑ ඉතින් ඒක තමයි වෙන්නේ. අපි 2020 ඉඳලා මේ අවදානම කිව්වේ. අයි.එම්.එෆ් යන කාරණා පවා කිව්වා. ඒ කිව්ව දේවල් 2022 වෙද්දි වුණා. අරගලයක් පවා වුණා. ඒ දේවල් දන්න නිසා තමයි සැලසුම් සහගතව වැඩේ කරගෙන යන්නේ.

• ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00