2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

සන්ධාන කෙරුවාව

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 60

ජාතික මැතිවරණයක් එද්දී සන්ධානයක් ගහගෙන ඒ ඡන්දයට ඉදිරිපත් වෙන කතාවක් ඉස්සර ලංකාවෙ තිබුණේ නැත. හැබැයි තුන් හවුල්, හත් හවුල් ආණ්ඩු තිබිණි. ඒවා සන්ධාන වශයෙන් හැඳින්වුණේ නැත. සන්ධාන කතාව පටන් ගත්තේ 1994 දී චන්ද්‍රිකාය. නම පොදු පෙරමුණය. ලකුණු පුටුව විය. 2004 දී ඒ සන්ධානය විසුරුවා හැරියේ  එක්සත් ජනතා නිදස් සන්ධානය පිහිටුවීමටය. එහි ලකුණු බුලත් කොළය විය.

’56 දී බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටෙව්වෙත් හවුල් රජයක් වශයෙනි. ඔහු ඡන්දයට ඉදිරිපත් වුණෙත් ශ්‍රීලනිපයෙන් නොව මහජන එක්සත් පෙරමුණෙනි. එහි නායකයකු වූයේ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ පියා වූ පිලිප් ගුණවර්ධනය. බණ්ඩාරනායක රෝදය ලකුණෙන් මහ මැතිවරණයකට තරග කර ලංකාවේ 4 වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වූයේ රට පුරා විශිෂ්ට ජයග්‍රහණයක් සමගිනි.

ඊට පසුව 1965 දී ඩඩ්ලි සේනානායක හත් හවුල් ආණ්ඩුවක් පිහිටෙව්වේය. අවුරුදු 05 ක් බලයේ සිටියත් ’70 දී තිබූ මැතිවරණයෙන් ඩඩ්ලිගේ යූ.එන්.පී. ප්‍රමුඛ හත් හවුල අන්ත පරාජයකට පත් විය. සිරිමාවෝ ද ඒ වෙලාවේ තුනෙන් දෙකක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ තනිවම නොව තුන් හවුල් සමගි පෙරමුණක් හැටියටය. ශ්‍රීලනිපය ප්‍රමුඛ පක්ෂය වූ අතර ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එහි සෙසු හවුල්කරුවන් විය.

’77 දී ඡන්දයෙන් සිරිමාවෝ අන්ත පරාජයක් ලබන විට තුන් හවුලේ ආණ්ඩුව තනි පක්ෂයක ආණ්ඩුවක් බවට පත්ව තිබුණේ ලසසප සහ කොප පක්ෂ දෙකම ආණ්ඩුවෙන් ඉවත් වී සිටීම හේතුවෙනි. ඒ වෙලාවේ හයෙන් පහක ජයක් ලැබූ ජේ.ආර්. ඉදිරිපත් වූයේ යූ.එන්.පියෙන් වුණත් වතුකරයේ රජා වූ සෞම්‍යමුර්ති තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය සමඟ ගිවිසුමකට එළැඹ සිටියේය. ඒ නිසා වතුකරයේ තනි ආධිපත්‍යයක් තිබූ තොණ්ඩමන්ට ඔහුගේ ඡන්දදායකයන් සියලු දෙනාගේ ඡන්දය ජේ.ආර්.ට ලබාදීමට හැකි විය. ආර්. ප්‍රේමදාස ’88 පැවති ජනාධිපතිවරණය දිනුවේ ද වතුකරයේ තොණ්ඩමන්ගේ ඡන්ද පදනමේ සහාය ලබා ගනිමිනි.

හවුල් ආණ්ඩු සන්ධාන ආණ්ඩු බවට පත්වන්නේ ඊට පසුවය. චන්ද්‍රිකා 1994 වනවිට සිටියේ හවුල් ආණ්ඩු සංකල්පයෙන් බැහැර වී සන්ධාන ආණ්ඩු හැදීම කරා යොමු වෙමිනි. අලුතින් හිතන තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ මංගල සමරවීර සහ එස්.බී. දිසානායක ද චන්ද්‍රිකාට ඒ සඳහා සහාය දුන්නාහ. පුටුව ලකුණින් පොදු පෙරමුණ බිහිවූයේ ඒ අනුවය.

හවුල් ආණ්ඩුවලට සම්බන්ධ වෙන්නේ දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචිව සිටින පක්ෂ පමණක් වීම මෙහිදී කැපී පෙනෙයි. නමුත් සන්ධාන ආණ්ඩුවල දේශපාලන පක්ෂ පමණක් නොව විවිධ සංවිධානවල සහභාගිත්වය ද තිබෙනු දැකිය හැක. ඇතැම්විට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ ද දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වෙති. එසේම මේ සන්ධානගත වීම් විධායක ජනාධිපති ක්‍රමයත් සමඟම එකට ගමන් කරන බවක් ද පෙනී යයි.

විධායක ජනාධිපතිවරයකු සමඟ සන්ධානගත වීමේදී ඕනෑම පක්ෂයක නායකයන්ට පමණක් නොව එහි මන්ත්‍රීවරුන්ට ද ජනාධිපති සමඟ කෙළින්ම සම්බන්ධ වීමට හැකිවීම විශේෂ ලක්ෂණයකි. නමුත් මේ හැකියාව බොහොමයක් පක්ෂ කැඩී බිඳී යාමට ද හේතු විය. හවුල් ආණ්ඩුවක් තිබියදී සියලු කටයුතු සිදුවෙන්නේ පාර්ලිමේන්තුවේ දී බැවින් හවුල්කාර පක්ෂය ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන්නේ එළිපිටම විනිවිදභාවයත් සමගිනි. නමුත් විධායක ජනාධිපති ක්‍රමය යටතේ එහෙම නොකරන අවස්ථාව ද තිබේ. ජනාධිපතිවරයා කැමැති නම් සන්ධානගත වූ පක්ෂ නායකයාට නොදැන එහි මන්ත්‍රීවරුන්ට ජනාධිපති සමඟ එකතු විය හැකිය. පසුගිය දශක තුන තුළදීම ඒ කියන්නේ ’94 න් පසුව මේ තත්ත්වය දිගින් දිගටම සිදුවෙමින් පවතී.

විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂය වෙතට මාරුවීම් පාර්ලිමේන්තුවෙන් පිටත දී පවා සිදුවෙන තත්ත්වයක් ආරම්භ වූයේ ද විධායක ජනාධිපති ක්‍රමයත් සමඟය. විශේෂයෙන් අයවැය විවාදයේ ඡන්දය ගන්නා වැනි වැදගත් අවස්ථාවල කලින් දවසේ රාත්‍රියේ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් ඊට පසුදින ආණ්ඩුවට මාරුවන බවද දැකගත හැකි විය. ඒ වගේම සන්ධානගත වී සිටින පක්ෂ ගෙඩි පිටින්ම ගැලවී ගිය අවස්ථා ද තිබේ. මේ දවස්වල දේශපාලන කරළියේ සිදුවෙමින් පවතින්නේ ද එය බවත් පැහැදිලිය.

ඒ වගේම සන්ධාන බිහිවූ මුල් කාලයේ එම ගිවිසුම්ගත වීම් සිදුවූයේ එක් පක්ෂයක් සමඟ පමණි. කලාතුරකින් තවත් පක්ෂයක් එකතු වූ අවස්ථා ද තිබේ. නමුත් දැන් තිබෙන ආකාරයට සතියට දින දෙක තුනක්ම විවිධ පාර්ශ්ව සමඟ සන්ධානගත වීම් දැකගත හැකිය. මේ ඇතැම් පක්ෂ හෝ සංවිධාන හෝ තිබුණු බව පවා ජනතාව දැනගන්නේ ඒ ගිවිසුම්වලට අත්සන් තබන  අවස්ථාවේදී වීම ලොකුම විහිලුවයි. නමුත් දැන් පවතින්නේ විහිලු කළ හැකි අවස්ථාවක් නොවේ. ජනාධිපතිවරණයක සක්‍රිය වෙමින් පවතින පූර්ණ මැතිවරණ අවස්ථාවයි.    

දැන් මේ පූර්ව මැතිවරණ අවස්ථාවේ සන්ධාන ගැහිල්ල අමුතුම තලයකට පිවිස තිබේ. ඉස්සර පක්ෂ නායකයන් එකතු වී සන්ධාන ගහන කලාව වෙනස් වී දැන් නායකයන් අතහැර පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇවිත් සිටින මන්ත්‍රීවරු ජනාධිපති අපේක්ෂකයන් සමඟ සන්ධාන ගහති. මේ අතින් දැන් පෙරමුණේ සිටින්නේ රනිල් සහ සජිත්ය. අනුර කුමාර මේ ක්‍රමය හඳුන්වන්නේ ‘‘ගෙඹි දේශපාලනය’’ හැටියටය. තමන්ගේ පාලනය තුළදී මේ ක්‍රමයට තිත තබන බවට වන ඡන්ද පොරොන්දුවක් ද ඔහු පසුගියදා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව පළාත් සභා ප්‍රාදේශීය සභා මට්ටමේ පුංචි මන්ත්‍රීලා ද දැන් සන්ධාන ගහන මට්ටමටම මේ තත්ත්වය වර්ධනය වෙමින් තිබේ. මේ ක්‍රමය තුළ බරපතළම හානිය සිදුවන්නේ දේශපාලන පක්ෂවලට බව පැහැදිලිය. අද වනවිට මේ තත්ත්වය කොතරම් සංකීර්ණ වී ඇත්දැයි කිව්වොත් ශ්‍රීලනිපය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂය ඉන්නේ තමන්ගේ මන්ත්‍රීවරුන් සහාය දක්වන්නේ කාටදැයි යන්න තෝරා බේරාගත නොහැකි තත්ත්වයකිනි. මුස්ලිම් කොංග්‍රසයෙන් ආණ්ඩුව සමඟ එක්වූ අලි සභීර් මව්ලානාට පවා රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවීම ද කැපී පෙනෙයි. මේ ආකාරයේ සන්ධාන ගැහිල්ලක් මීට කලින් නම් තිබුණේ නැත.

චන්ද්‍රිකා විජය සමඟ බිඳී දේශපාලන විරසකයක පැටලී ශ්‍රීලනිපය පවා අතහැර ගිය අනුර බණ්ඩාරනායක වරක් මේ සන්ධාන ගැහිල්ල හැඳින්වූයේ ‘‘මළ සන්ධානයක්’’ වශයෙනි. ඔහු හැමදාමත් පක්ෂය ප්‍රමුඛ දේශපාලනයක නිරතව සිටියෙකි. ඔහු යූ.එන්.පී.යට ද එකතු වී එකී සාමාජික කාඩ්පත පවා ලබාගත් නමුත් එය සන්ධාන ගතවීමක් හැටියට හැඳින්වූයේ නැත. එහෙම හැඳින්වුණා නම් ඒක පළමු යූ.එන්.පී. -ශ්‍රී ලංකා සන්ධානය හැටියට ඉතිහාසගත වීමට පවා ඉඩක් තිබිණි. මේ සන්ධාන ගැහීම් තවත් පැත්තක් වන්නේ ලබා දෙන පොරොන්දු ඉටු නොවීමේදී පැන නගින අර්බුදයි. 2019 දී ජය ලැබූ ගෝඨාභය ජනාධිපතිගේ  ආණ්ඩුව 2020 දී මහමැතිවරණයට යද්දී බැසිල්ගේ ඇරියුමින් ශ්‍රීලනිපය සන්ධානයක් ගැහැව්වේය. එවකට ශ්‍රීලනිප මහ ලේකම් වූයේ ද වත්මන් නීත්‍යානුකූල මහලේකම්තුමා බව කියන දයාසිරි ජයසේකරමය. හැබැයි ඒ සන්ධානය තුනෙන් දෙකකට ආසන්න ජයක් ලබා පිහිටුවාගත් ආණ්ඩුව සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රී පිරිසක් එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් ලබා ගත්තාට පසුව ශ්‍රීලනිපයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. මෙයින් තදබල ලෙස කම්පනයට පත්වූ දයාසිරි බැසිල්ලාට එරෙහිව දොස් පැවරීමට  පවා පසුබට නොවීය. ඒ තත්ත්වය  දුරදිග යානොදී වළක්වා ගත් පොහොට්ටුවේ ලොක්කන් ශ්‍රීලනිපයට යම් සහන ලබා දීමට පියවර ගත්තේය. බැසිල් ඒ වෙලාවේ කිව්වේ ‘‘දීගෙක ගියාට පස්සේ දැවැද්ද ගැන කතා කිරීමෙන් පලක් නැහැ’’ කියාය. සන්ධාන ගහන කවුරුත් මේ අතීතය මතක  තබා ගැනීම වඩා යහපත් වනු ඇත.

රනිල් වික්‍රමසිංහ ජනපතිට නම් සන්ධාන ගැසීම දුෂ්කර කාර්යයක් නොවේ. ඔහුගේ යූ.එන්.පී. එකට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක ආසනයක් පමණි. මේ නිසා සන්ධාන ගැහිල්ලට පක්ෂය ඇතුළෙන් එන විරෝධය අඩුය. හැබැයි සජබ එසේ නොවේ. විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති සජබ සෙසු පක්ෂ සමඟ සන්ධාන ගතවන විට ඒ පක්ෂවල ඉල්ලීම් පිළිබඳ සැලකිලිමත් වීමට සිදුවෙයි. ඒ ඉල්ලීම් අතරේ තමන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන්ට ලැබෙන තනතුරු සහ වරප්‍රසාද  පිළිබඳ එකඟතා ද තිබේ. තමන් සමඟ සන්ධාන ගතවන පක්ෂ එසේ එකතු වෙන්නේ රටේ ඉදිරි අනාගතය සලකා රට ගොඩනැගීමට සජබ ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට බව සජබ නායකයෝ පුන පුනා කියති. එහෙම වුණත් යථාර්ථය ඊට වඩා බෙහෙවින් වෙනස් බව දේශපාලනයේ හෝඩිය ගැන දැනුවත් ඇති අය පවා දනිති. සන්ධාන දේශපාලනය තුළ ‘‘නිකම් ලැබෙන කෑම වේල්’’ නැත. එකතු වෙන පිරිස සැනසෙන ආකාරයට තනතුරු බෙදා දීම සිදුවිය යුතුය. එසේ නොවීම සන්ධාන ආණ්ඩු පුපුරා යාමේ මුල්ම පියවර වන බව ඉතිහාසය පෙන්වා දී තිබේ.

සන්ධානයකින් තොරව මහ මැතිවරණය පමණක් නොව ජනාධිපතිවරණය පවා ජයගත නොහැකි තත්ත්වයක් වර්තමානය වනවිට උද්ගතව තිබෙන්නේ මේ ඉතිහාසය සමඟ බැඳුණු දේශපාලනය හේතුවෙනි. මෙවර වඩාත් සංකීර්ණ සන්ධාන ගැහිල්ලක් සිදුවන බවද පෙනී යයි. ජනපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මුලින්ම සන්ධාන ගත විය. ගම්පහ පොහොට්ටු ප්‍රබලයකු වන ප්‍රසන්න රණතුංග මේ සන්ධානය යට සිටි ලොකුම සාමාජිකයා විය. පොහොට්ටුවේ දේශපාලන න්‍යායාචාර්ය මට්ටමේ සිටින බැසිල්ගේ සමීප ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ප්‍රසන්න රාජපක්ෂවරුන්ගේ විශ්වාසය දිනාගත් දේශපාලනඥයෙක් ද වෙයි. එසේ තිබියදීත් ඔහු දේශපාලන වශයෙන් සදාකාලික සතුරකු වශයෙන් සැලකුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුර අපේක්ෂකයකු වීම දක්වා කැඳවාගෙන පැමිණි ගමන පිළිබඳව ද සමහරු සැක පහළ කළහ. මේක  එකතුවෙලා ගහන ගේම් එකක් දැයි සමහරුන් ප්‍රශ්න කළේ ද එබැවිනි. නමුත්  අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ වැඩිම පිරිසක් සමඟ සන්ධානගත වූ අපේක්ෂකයා වශයෙන් කැපී පෙනෙයි. ඔහු සමඟ සන්ධානගත නොවූ මන්ත්‍රීවරුන් සිටින පක්ෂයක් සොයා ගැනීම පවා අපහසුය.

කොහොම සන්ධාන ගැහැව්වත් ඒ හැම සන්ධානයක්ම මැතිවරණ දිනන්න හේතු වන්නේ නැත. සමහර සන්ධාන හැදෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මැතිවරණය අභියසදීය. නමුත් මෙවර සන්ධාන නැගලම යන්නේ ජනාධිපතිවරණය හමුවේ බව කැපී පෙනෙයි. මේ සන්ධානවල පාර්ශ්වකරුවන්ට කුමක් වෙන්නේ දැයි හරියටම බලාගැනීමට සැප්තැම්බර් 21 දා පසුවන තුරු සිටිය යුතුය.

• ශශීන්ද්‍ර