ජනාධිපතිවරණ අපේක්ෂකයකුට කළ හැකි වියදම පසුගියදා මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එම ගැසට්ටුවට අනුව එක් අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැක්කේ රුපියල් කෝටි 186 ක මුදලක් පමණි. එම මුදල ගණන් බලා ඇත්තේ එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 109 ක මුදලක් වැය කළ හැකිය යන පදනමේ පිහිටමිනි. එම ගැසට්ටුව තවදුරටත් පැහැදිලි කර ඇත්තේ කෝටි 186 න් ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයකුට 60% ක් ඍජුවම වියදම් කළ හැකි බවය. ඉතිරි 40% ඔහුගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වැය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
ජනාධිපතිවරණයක දී මෙවැනි නීතියක් ක්‍රියාත්මක වන්නේ පළමු වතාවටය. මෙම අලුත් නීතිය බලාත්මක කරනු ලැබ ඇත්තේ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මගිනි. මේ නිසා මැතිවරණ වියදම් සීමාව මෙවර නිරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක වනු අතැයි අපේක්ෂා කළ හැකිය. නමුත් එම වියදම් සීමාව තුළ ක්‍රියා නොකරන අපේක්ෂකයකු සම්බන්ධයෙන් ගත හැකි පියවර පැහැදිලි නැත. සාමාන්‍යයෙන් මැතිවරණ නීතිය උල්ලංඝණය කර ජනාධිපතිවරණය ජය ගන්නා අපේක්ෂකයා එම ධුරයෙන් ඉවත් කිරීමට පවා බලය ඇතත් එය මේ ලංකාවේ නම් කොහොමත් සිදුවන්නේ නැත. එය ප්‍රායෝගික තර්කයක් ද නොවේ.
මේ වියදම් සීමා පැනවීමට පෙර අපේක්ෂකයන් කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කර මෙකී මුදල තීරණය කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කර තිබිණි. එහිදී එක් එක් අපේක්ෂකයන් එක් ඡන්දදායකයකු සඳහා වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් කර තිබූ ඉල්ලීම ද මෙහිදී සඳහන් නොකළොත් එය අඩුපාඩුවකි. වැඩිම ඉල්ලුම වූ රුපියල් 300 ක යෝජනාව නාමල් රාජපක්ෂගෙන් ලැබී තිබූ අතර අඩුම ඉල්ලුම වූ රුපියල් 20 ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ ජනක රත්නායක ඉදිරිපත් කර තිබිණි. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙදෙනාම රුපියල් 250 බැගින් ඉල්ලා තිබූ අතර අනුර කුමාර දිසානායකගේ ඉල්ලුම රුපියල් 200 ක් විය.
අපේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ මෙවැනි ගණන් බැලීමක් ප්‍රථම වතාවට හෝ සිදුකිරීම ඡන්දදායකයාගේ පැත්තෙන් සාධාරණය ඉටුවීමකි. නමුත් ප්‍රධාන අපේක්ෂකයන් මේ වියදම්වලට සීමාවනු ඇතැයි සිතීම පවා විහිළුවකි. මැතිවරණ කොමිසම මේ වියදම් සීමා කඩකිරීම් සම්බන්ධයෙන් තදින්ම ක්‍රියා කරන බවට දැනුම් දී තිබූ අතර ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට පවා පසුබට නොවන බවද පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එහිදී කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඡන්දදායකයන්ට දැනුම් දී තිබුණේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට මහජනතාවට අයිතියක් තිබෙන බවය. මැතිවරණ ක්‍රියාදාමයේ විනිවිදභාවය සහ වගවීම් සම්බන්ධයෙන් එම අයිතිය ක්‍රියාවට නැංවීම වැදගත් බවද ඔහු සඳහන් කර තිබිණි.
එහෙත් මැතිවරණ වියදම් සම්බන්ධයෙන් නිවැරදි ගණන් බැලීමක් සිදුකිරීමට තිබෙන ප්‍රායෝගික ගැටලු ඉතා සංකීර්ණය. එය මේ නීතිය ක්‍රියාත්මක කරවීමට එරෙහිව ක්‍රියා කරන බව වටහා ගැනීම අසීරු නැත. ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ට ආධාර උපකාර කරන විශාල පිරිසක් සිටින අතර ඔවුන් මේ ජනාධිපතිවරණයට කරන වියදම් සිදුවෙන්නේ ඉතා රහසිගත මට්ටමිනි. එසේම ජනාධිපතිවරණය ජයගනු ඇති බවට සැලකෙන අපේක්ෂකයන් වෙනුවෙන් දේශීය මට්ටමින් පමණක් නොව විදේශීය මට්ටමින් ද මුදල් ගලා එන බවද ප්‍රසිද්ධ රහසකි. ඇතැම් තානාපති කාර්යාල මගින් සල්ලි මලු පිටින් ප්‍රධාන අපේක්ෂකයන්ට ලබාදෙන බවත් විදෙස්ගත ආධාරකරුවන්ගෙන් ද මුදල් ලැබෙන බවත් සඳහන්ය. මේ කිසිදු මුදලක් ලේඛනගත වන්නේ නැත. ඒවා ගණන් බලන කෙනකුත් නැත. වරක් එක් ජනාධිපතිවරණ අපේක්ෂකයකුට ලැබුණු කෝටි ගාණක විදෙස් ආධාර මුදල් තොගයක් මහ බැංකුවේ සේප්පුවක් තුළ වේයන් කා දැමූ පුවතක් ද පසුගිය කාලයේ වාර්තා විය.
එසේම බලයේ සිටින ආණ්ඩුව නියෝජනය කරන අපේක්ෂකයා නාමයෝජනා බාරදීමෙන් පසුව රාජ්‍ය සම්පත් සහ මුදල් තමන්ට රිසි සේ වැය කිරීමට තිබෙන අවස්ථා ද අදාළ අපේක්ෂකයා සිදු කරන මැතිවරණ වියදම් යටතට වැටෙයි. නමුත් විවිධ සංවර්ධන යෝජනා මුවාවෙන් එම වියදම් දරණ විට එය වැළැක්වීමට කොමිසමට ප්‍රායෝගිකව ගත හැකි පියවර ද සීමාසහිතය. රජය සතු යාන වාහන භාවිතය පමණක් නොව රාජ්‍ය සේවකයන් විවිධ රාජ්‍ය කටයුතු සඳහා යොදවා ගැනීමේ වියදම් ද මැතිවරණ වියදම් යටතට පත්විය යුතුය. නමුත් එය සිදුවන්නේ නැත. මේ වැරැද්ද සෑම රජයක් යටතේම මීට පෙර සිදුවිය. අඩුම තරමින් මෙවර හෝ එම ක්‍රියාව වැළැක්විය හැකි නම් එය මැතිවරණ කොමිසමේ ජයග්‍රහණයක් වනු ඇත.
බැලූ බැල්මට නොපෙනුණත් මැතිවරණ නීති ක්‍රියාත්මක වන කාලය තුළදී ආණ්ඩුවේ අපේක්ෂකයා සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට යොදවන පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදාවල සාමාජිකයන් වෙනුවෙන් සිදුකෙරෙන වියදම් ද අපේක්ෂකයකුගේ වියදම් වශයෙන් ගිණිය යුතුය. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී, විශේෂ ආරක්ෂාවක් තිබිය යුතු අපේක්ෂකයන් හැර සියලු අපේක්ෂකයන්ට ලැබිය යුත්තේ සමාන සැලකීම්ය. නමුත් අපේ රටේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් මැතිවරණ නීතිවලට අනුකූල ලෙස සිදුවන්නේ නැත. මේ වැරැද්ද නිවැරදි කර ගැනීමට හැකියාවක් නැති බවත් මැතිවරණ වියදම පාලනයට ගනු ලැබූ පියවර යහපත් පූර්වාදර්ශයක් වුවද එය ක්‍රියාත්මක කිරීම සියලු අපේක්ෂකයන්ගේ සහාය නැතුව සිදු කළ නොහැකි බවත් යන්න යථාර්ථයයි.