2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

ගෝඨාභය රාජපක්ෂ මහත්තය අසමත් වුණා නෙවෙයි අසමත් කළා

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 132

සුගීෂ්වර බණ්ඩාර නායක නව ජනතා පෙරමුණ

  • නාමල් තව පරිණත වෙන්න ඕනෑ
  • ප්‍රසන්නලට රමේෂ් පතිරණලට පොහොට්ටුවෙ තැනක් නැතිවුණා
  • රනිල් මහත්තය රට ස්ථාවර කළා
  • පොහොට්ටුවට වැඩපිළිවෙළක් නැහැ

 

ඔබ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයගේ හිටපු ලේකම්. ඒත් එතුමගේ ඉවත්වීමත් සමඟ ඔබ හොයාගන්න බැරි වෙනවා. දැන් ආයෙත් ඉන්නවා. දැන් ඔබ දරන දේශපාලන භූමිකාව මොකක්ද?

ඇත්තටම මම පේන්න නැතිවෙලා හිටියේ නෑ. එතුමා බලයට එද්දිත්, බලයට ආවමත්, ඒ වගේම බලය අත්හැරියාමත් මම ඔහු ළඟින්ම ඉඳගෙන අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒත් මේ අවුරුද්දේ මාර්තු මාසයේ එතුමගේ පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉන් අනතුරුව මම සක්‍රීය දේශපාලනයට ආවා පක්ෂයක් හදාගෙන. ඒ නව ජනතා පෙරමුණ.

කවුද ඒ පක්ෂයේ නායකයා?

මම.

ඔබ දැන් ඉන්නෙ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සමීප වෙලානේ?

පක්ෂයේ දේශපාලන මණ්ඩලයත්, මධ්‍යම කාරක සභාවත් ඒකමතිකව තීරණය කළා මේ වෙලාවේ සහයෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබා දෙන්න ඕනෑ කියලා. ඒ සහායත් ලබා දෙමින් අපි දැන් සක්‍රීය දේශපාලනයේ නියැලෙනවා.

ඔබ රාජපක්ෂවරු එක්ක සමීපව හිටිය නිසා කාට හරි හිතෙන්න පුළුවන් ඇයි සුගීෂ්වර නාමල් රාජපක්ෂ පොහොට්ටු අපේක්ෂකයා තෝරා නොගත්තේ කියලා?

නාමල් රාජපක්ෂ දේශපාලනයෙන් පරිණත දක්ෂ තරුණයෙක්. ඒත් මේ ඔහුගේ වෙලාව නෙවෙයි. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති පුටුවේ වාඩි කළේ දන්න හැඳුනුම්කමට නෙමේ. එතුමගේ වැඩපිළිවෙළට. ඒ බලය ලබා දෙන වෙලාවේ මේ රට පාලනය කළේ අරගලකාරයෝ අනීතිකව. අනික ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම රැක්කා. එතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැක්කා. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයට කලින් සජිත් ප්‍රේමදාස මහත්තයට කතා කළා. ඒත් වැඩේ හරි ගියේ නෑ. ඇතැම් අය කොන්දේසි ඉදිරිපත් කළා. සමහර අය කැමැත්තෙන් ආවා අගමැතිකම ගන්න. ඒත් ඒ කිසිම කෙනෙක්ට ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළක් තිබුණේ නෑ. තිබුණ එකම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා.

දැන් ඒ තෝරගත්ත වැඩේ සාර්ථකයිද?

නැතුව. රටේ උද්ධමනය තනි ඉලක්කමකට ආවා. ඍණට ගිය ආර්ථිකය ධන 2.2 දක්වා වැඩි වුණා. ඒවා අපි නෙමේ කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ. ගෑස්, තෙල් සුලබ කරන්න කටයුතු කළා. අර්බුදය ඉවර නැතිවුණාට, ඒක කළමනාකරණය කරගන්න හැකි වුණා. ඒ නිසා මේ වෙලාවේ තියෙන්නේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්නයි, අවසන් කරන්නයි. අන්න ඒකට හොඳම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා. වෙන කිසිම අපේක්ෂකයෙක් ඒ වෙනුවෙන් සුදුසුකම් සපුරලා නෑ මේ වෙද්දි. ඒ සඳහා නාමල් රාජපක්ෂ මහත්තයා පරිණත වෙන්න ඕනෑ.

හැබැයි පොහොට්ටුවේ අය කියන්නේ පොහොට්ටුව රැකගන්නයි පක්ෂයෙන් අපේක්ෂකයෙක් දැම්මේ කියලා?

දැන් පොහොට්ටුවට 69 ලක්ෂයේ ජනවරම රැකගන්න පුළුවන් වුණාද? නාමල් රාජපක්ෂ තරුණයට බැරි වුණානේ තමන්ගේ බාප්පා, බාප්පගේ ආණ්ඩුව රැකගන්න. ඔවුන්ගේ වැඩපිළිවෙළ අසමත් වුණානේ ඇත්තටම. එහෙම අසමත් වුණු අය කොහොමද අවුරුදු දෙකකින් වැඩපිළිවෙළක් හදන්නේ. මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.

පොහොට්ටුව එහෙම නම් මොකක්ද කරන්න ඕනෑ මේ වෙලාවේ?

මේ වෙලාවේ කරන්න තිබුණේ බුද්ධිමත්ව හිතලා මේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන්න සහාය දෙන එක.

ඒත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එක පොහොට්ටුවේ පිරිසකගේ කැමැත්තනේ?

පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නෙමේ, පවුලක්.

ඒ කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අයිති නැද්ද?

මට කියන්නකෝ පොහොට්ටුවේ නායකයගෙ ඉඳලා ජාතික සංවිධායක දක්වා සියලු තනතුරු තියෙන්නේ රාජපක්ෂ පවුලට. ලේකම් තනතුරත් නාමමාත්‍රිකව විතරයි. පොහොට්ටුව  හැමතිස්සෙම උත්සාහ ගන්නේ පවුල රකින්න.

ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ආවේ ඒක ඉවසගෙන ඉන්න බැරි කට්ටියද?

ඔව්. දිගින් දිගටම පවුල රකින්නනේ උත්සාහ ගන්නේ. ප්‍රසන්නලට, රමේෂ් පතිරණලට කෝ ඉඩක් පොහොට්ටුවේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බලය අහිමි වෙන්න එක සාධකයක්නේ මේ පවුල.

නෑ.. එතැන තියෙන්නේ එතුමගේ පාලනයේ අසමත්කමනේ?

නෑ.. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසමත් වුණා නෙමේ, අසමත් කළා.

කවුද ඒකට වගකියන්න ඕනෑ?

අද ඔය පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයා ඇතුළු කණ්ඩායම වගකියන්න ඕනෑ. ඒ නිසා මේ රට බේරන්න කරන්න තියෙන එකම දේ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් කරන එක. ඒකනේ පොහොට්ටුවේ මධ්‍යස්ථ අය එකතු වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තය වටා.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා නම් කිව්වේ දැන්නම් පක්ෂය පිරිසුදුයි කියලා. ඒ කියන්නෙ ඔබලා ගියාම පිරිසුදු වුණා කියන එකනේ?

එතුමට එහෙම කියන්න පුළුවන්. ඒත් අද එතන ඉතුරු වෙලා ඉන්නේ පවුල රකින කණ්ඩායම. රට ගැන හිතන, රටේ අනාගතය ගැන හිතන අය රනිල් වික්‍රමසිංහ මහත්තයා වටා එකතු වුණා. කොහොම කළත් තිස්ස කුට්ටිආරච්චි මහත්තයගේ සුජාතභාවය ගැන ජනතාව ඉදිරියේ දී දැනගනීවි.

සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් චෝදනා කියන්නේ රනිල් වික්‍රමසිංග මහත්තයට රට කරන්න බෑ, ණය උගුලකට හිර කරන එක තම‍යි එතුමා කරන්නේ කියලා?

ඔය දෙගොල්ලටම හරි වැඩපිළිවෙළක් නෑ. තිබුණා නම් මැයි 9 ඉදිරිපත් වෙනවනේ. අවුරුදු දෙකකට පස්සේ රට ‍යම් ස්ථාවරයකට එනකොට කතා ගොඩක් කියාගෙන බලය ගන්න එනවා. ඒ අය කියන දේවල් කරන්න බෑ. ඕවා ජනතාව රවටන කතා.

• ගයාන් ගාල්ලගේ