2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

පක්ෂ මාරු කතා මට අදාළ වෙන්නෙ නැහැ

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 74

 

කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය 

  • රට නංවන සැලැස්ම අපි ළඟ තියෙනව
  • ස.ජ.බ.ට අභියෝග නැහැ ජය නියතයි
  • පක්ෂයට කවුරු ආවත් තෝරගන්නෙ ජනතාවයි
  • මාලිමාවට සියයට පනහ ගන්න බැහැ     

කෙළින්ම අහන්නම් කවද්ද යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ දෑත ශක්තිමත් කරන්න?

කවුද එහෙම දෙයක් කියලා තියෙන්නේ.

තැන් තැන්වල කතා වෙනවා?

වගකිව යුතු මාධ්‍යවේදි‍යෙක් හැටියට එක එක තැන්වල කතා වෙන දේවල් මගෙන් අහන එක වැරදියි. මම එහෙම කිසිම දෙයක් කියලා නෑ.

කවදාවත් පනින කට්ටිය කියල පනින්නේ නෑනේ?

නෑ.. සමහර අය ඉඟි දීලා යනවනේ. පක්ෂයේ නායකයා විවේචනය කරනවා. පක්ෂය විවේචනය කරනවා. මම ඒ කිසි දෙයක් කරලා නෑ. ඒ නිසා ඔය ප්‍රශ්නය මට අදාළ වෙන්නේ නෑ.

ඒත් වෙනදා වගේ නෙමේ, දැන් කාවින්ද ජයවර්ධන වැඩිය පේන්නවත් නෑ. මොකද කළේ?

ඒකට හේතුව ඔයාලා අපිව හොයන්නේ නෑ. නිකම් හරි මගේ ආසනයට ආවා නම් මම කරන වැඩපිළිවෙළ පේනවා. මම බිම් මට්ටමින් ඉතාම කාර්යබහුලව ජනතාව එක්ක වැඩ. අපි තරුණ සම්මේලනය ලබන 5 වැනිදා කරනවා. සෞඛ්‍ය සම්මේලනය කරනවා. යූත් ෆෙස්ටිවල් එකක් කරනවා මීගමුවේ. අපි වැඩ කරනවා පේන්න නැති වුණාට.

ඔබේ පක්ෂයේ අනිත් අය වගේ කැපිලා පේන වැඩක් කරන්න කැමති නැද්ද?

මම කැපිලා පේන වැඩ තමයි කරන්නේ. ඒ නිසයි කිව්වේ ඇවිල්ලා බලන්න, අපේ ආසනවල කරන වැඩ. මේ මාසය මගේ පක්ෂය වෙනුවෙන් ගොඩක් වැඩ කරන මාසයක්. ඔබට බලාගන්න පුළුවන් මගේ දේවල්. ඒ නිසා අපේ වැඩ ටික යනවා.

මේ පාර ගම්පහ දිස්ත්‍රික්කය සුවිශේෂී දිස්ත්‍රික්කයක්. වැඩිම ඡන්ද තියෙන දිස්ත්‍රික්කය. කොහොමද සජබයට තියෙන ජනතා කැමැත්ත?

ඇත්තටම ගම්පහ විතරක්ම නෙමේ, මීගමුවෙන් අපි සුවිශේෂී ජයග්‍රණයක් ලබනවා. ඒක බුද්ධි අංශ වාර්තා, දත්ත හරහා තහවුරු වෙලා ඉවරයි. නියත ජයක් තියෙනවා.

දැන් අපිට පේනවා විශාල පිරිසක් සජබයට එකතු වෙනවා. මේ අයත් ඊළඟ මහ මැතිවරණයේ දී ඔබලා එක්ක තරග කරන්නේ. ඒක යම් තර්ජනයක් නෙමේද ඔබලගේ අනාගතයට?

දේශපාලනය එහෙමයි. අලුත් අය පක්ෂයට එකතු වෙන්නේ නැතුව බෑනේ ජයග්‍රහණය කරන්න. ජනතාවගේ කැමැත්ත මත ඊළඟ අය තෝරගනියි. ඒත් මම කැමතියි ඇත්තටම අපේ පක්ෂයට මිනිස්සු එන එකට. මොකද අපේ ජයග්‍රහණය නියතයි. ඒකයි මිනිස්සු එකතු වෙන්නේ. මට විශ්වාසයක් තියෙනවා මගේ ජයග්‍රහණය ගැන. මමත් තාත්තා ගැනත් ජනතාව විශ්වාස කරනවා. ඒ විශ්වාසය අපි රැකලා තියෙනවා.

එනවා වගේම තමයි ලොකු චරිත අයින් වෙලා ආණ්ඩුවටත් යනවා. ඒ මොකද ඒ?

ඒක දේශපාලනයේ හැටි. යනවා එනවා. මහින්ද මහත්තයත් කිව්වේ ඩාං වෙනවා ඩූම් වෙනවා කියල. ඒ නිසා මේ සියල්ල තේරුම් අ‍රන් ගමන යනවා.

ඇත්තටම ඔබලට තියෙන ලොකුම අභියෝගය ජාතික ජන බලවේගය නේද?

ඇත්ත. ජාතික ජන බලවේගයට ජනතා ආකර්ශනයක් ඇවිල්ලා තියෙනවා. ඒක නෑ කියන්න බෑ. අනෙකුත් අපේක්ෂකයොත් මැතිවරණ ව්‍යාපාර ඔය විදිහටම කරනවා. හැබැයි එක දෙයක්. ඒ මොන දේ වුණත් කාටවත් අපි වගේ 50% ගන්න බෑ. ඒක අපිට පුළුවන්. අපේ ඡන්ද ගොඩ වැඩිවෙලා තියෙන්නේ.

වර්තමාන ජනාධිපතිවරයා නැතිවුණොත් මේ රට දුවන්න බෑ කියනවා. ඒ නිසා ඔහු දිනන්නම ඕනෑ කියනවා?

මෙහෙමයි. මේ රටේ ආර්ථික නැගිටීමට අයි.එම්.එෆ් සහනය වැදගත්. ඒක කළමනාකරණය කරගන්න ඕනෑ. ඒක හර්ෂ ද සිල්වා මැතිතුමත් පහදලා කිව්වා. හැබැයි අපිට කියලා ආර්ථික සැලැස්මක් තියෙන්න ඕනෑ. ඒ සැලැස්ම අපි ගාව තියෙනවා.

ඒකට සුදුසු කණ්ඩායමක් ඉන්නවද?

අපේ කණ්ඩායම ඊට සුදුසුම කණ්ඩාම බව අපි දන්නවා.

දිනුවොත් කාවින්ද ජයවර්ධනට මොනවද ලැබෙන්නේ?

මම දේවල් බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නෑ. මම මගේ වගකීම ඉෂ්ඨ කරනවා.

• ගයාන් ගාල්ලගේ

 

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00