2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයේ ඉන්දියාවේ භූමිකාව

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 99

ලංකාවෙ ජාතික මැතිවරණයක් කිට්ටු වෙද්දී ඉන්දියාවට ද උණ ගැනෙන බව ප්‍රකට කතාවකි. පසුගිය දශක කිහිපය තුළ දී මෙරට ජාතික මැතිවරණ බොහොමයක දී ඉන්දියාව තියුණු නිරීක්ෂකයකුව සිටි බව පැවසීම අසත්‍යයක් නොවේ. කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම සංවේදී සීතල යුද්ධයක නිරතව සිටින ඉන්දියාව ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් අවට රටවල් ගන්නා තීරණ පිළිබඳව ද නිරන්තර විමසිල්ලෙන් පසුවෙයි. “අසල්වැසියා ප්‍රමුඛයා” යන වදන් පෙරටු කර ගනිමින් තම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ඉන්දියාව දකුණු ආසියානු රටවල් කෙරෙහි බලපෑම් සිදු කරන අවස්ථා ද තිබෙන බව යථාර්ථයයි.


ඉන්දියාවේ ඉතාම බලවත් දේශපාලන චරිතයක් වන ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ජාත්‍යන්තර දේශපාලනය ගැන දන්නා ඕනෑම කෙනකුට කුතුහලය දනවන ප්‍රවෘත්තියක් වන්නේ එබැවිනි. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉතාම සමීප උපදේශකයකු වන අජිත් දොවාල් ජාත්‍යන්තරය තුළ ද බලසම්පන්න චරිතයකි. ඔහු කුමන රටක වුවද දේශපාලනඥයකුට පහසුවෙන් මුණගැසිය හැකි නිලධාරියෙක් ද නොවේ.
“ද හින්දු” පුවත්පත අජිත් දොවාල්ගේ ශ්‍රී ලංකා සවාරිය සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්තියේ සඳහන් වූයේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ශ්‍රී ලංකාවට දෙදින සංචාරයක් සඳහා පැමිණි බවත් ඉන්දීය සාගර ආරක්ෂාව පිළිබඳ සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම එහි අරමුණක් වූ බවත්ය. එසේම ඔහු කොළඹ සිටින ශ්‍රී ලාංකික දේශපාලන නායකයන් හමුවීමට නියමිත බවද සඳහන් විය. එහි විශේෂයෙන් සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී (සැප්තැම්බර් 21) සිදුවූ එම සංචාරය ගැන ඉන්දීය රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැති බවය. කොළඹ මූලික කරගත් දේශපාලන ආරංචි මාර්ග හින්දු පුවත්පතට තහවුරු කර තිබුණේ විවිධ දේශපාලන නායකයන්ට දොවාල් හමුවීම සඳහා ඇරියුම් ලැබී තිබෙන බවය.


ඒ කියූ පරිදිම සිකුරාදා (30) දොවාල් ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනකු මුණගැසී තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තිබූ අජිත් දොවාල් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක, බැසිල්, ගෝඨාභය, නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද හමු වී තිබිණි. ඒ හැර ද්‍රවිඩ පක්ෂ නායකයන් ගණනාවක් ද මුණගැසුණු බවද සඳහන්ය.


අජිත් දොවාල් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් ශ්‍රී ලංකාවට ආවේ අත් දෙක වන වනා නොවන බව නියතයකි. මෙරට අනාගත දේශපාලන දිශානතිය ගැන ලංකාවේ ආරක්ෂක ඔත්තු සේවා මෙන්ම ඉන්දියාවේ රෝ ඇතුළු සියලු ඔත්තු සේවා ඇස ගසාගෙන සිටින බව කිව යුතු නැත. මේ නිසා මෙරට දේශපාලනය ජනාධිපතිවරණය දක්වා යන ගමනේ සියලු තොරතුරු අජිත් දොවාල් සතු බවත් ඔහු ශ්‍රී ලංකාවට හදිසියේම ඇවිත් ජනාධිපති අපේක්ෂකයන් ඇතුළු දේශපාලන චරිත මුණගැසුණේ නිකම්ම නොවන බවත් තේරුම් ගැනීම අසීරු නැත.


ඉන්දියාවෙ ඉඳන් ලංකාවට හදිසියේ ඇවිත් අජිත් දොවාල් පැවසුවේ මොනවාදැයි කවදාවත් හෙළි වන්නේ නැත. ඔහු දේශපාලන නායකයන් මුණගැසෙන්නේ පෞද්ගලික මට්ටමින් නිසා පොදු කරුණු පිළිබඳව මාධ්‍යයේ තොරතුරු පළවීමට ඉඩ තිබෙන නමුත් සැබෑ වඩාත් සංවේදී කරුණු ගැන දැනගන්නට ලැබෙනු ඇත්තේ බොහෝ දුරට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ද නිකුත් වීමෙන් පසුව වීමට හොඳටම ඉඩ තිබේ.


2015 දී රාජපක්ෂ පාලනය අවසන් කරමින් යහපාලන ආණ්ඩුව බිහිවන අවස්ථාවේදී ද ඉන්දියාවේ ඇතැම් දේශපාලන බලවතුන්ගේ ආශිර්වාදය එම ආණ්ඩු වෙනසට උදව් වූ බව පුන පුනා පසුව කියනු ලැබීය. මේ චෝදනා එල්ල වූයේ ප්‍රධාන වශයෙන් එවකට හිටපු බලවත් චරිතයක් වූ මංගල සමරවීරටය. එදා විමල් වීරවංසලා එළියට බැස මංගලලාට ගැහැව්වේ ඔහු කුමන්ත්‍රණය කර ඉන්දියාවේ බලපෑම් ද ඇතුව රාජපක්ෂලා පරාජය කළ බව කියමිනි.


එහෙත් ඒ වනවිට රටේ ආර්ථිකය තිබුණේ බලවත් අනතුරකය. අමෙරිකාවෙන් සහ යුරෝපයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඒ වනවිට ජාත්‍යන්තරයේ හුදෙකලා තැනකට තල්ලු වී සිටි අතර විදේශ විනිමය උපයා ගැනීම් පැවතියේ ඉතාම සීමිතවය. කොටින්ම මානව හිමිකම් කඩවීම් ඉදිරියට දාගෙන ලංකාවට සම්බාධක පනවන තරමට වැඩ සිදුවෙමින් පැවතිණි. 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරුණේ ඒ අතරමැදය.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවලදී ඉන්දියාව කවදාවත් ලංකාවට එරෙහිව තම ඡන්දය පාවිච්චි කළේ නැත. ඉන්දියාව ඒ ගැටලු සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව සමඟ සාකච්ඡා කළ අතර නිරතුරුවම ලංකාවේ උතුරේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවීමට කටයුතු කළේය. නමුත් ජාත්‍යන්තර වේදිකාව තුළ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව අඬු විහිදුවේ නැත. හැබැයි 2015 ජනාධිපතිවරණයේ දී ඉන්දියාවේ භූමිකාව බොහොම පැහැදිලි විය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කර මෛත්‍රීපාල – වික්‍රමසිංහ ආණ්ඩුවට රටේ පාලනය බාර කිරීමට ඉන්දියාව පෙනී සිටි බවට චෝදනා එල්ල වූයේ ඒ පසුබිම හේතුවෙනි. එක් අවස්ථාවක දී මංගල සමරවීර ඉන්දියාවේ අමාත්‍යවරියක මුණගැසුණු අවස්ථාවේ ඉතා උණුසුම් ලෙස සුබ පැතුම් පළ කරගත් ඡායාරූප ද ඒ කාලයේ මාධ්‍යයේ පළ විය.


එම ආණ්ඩුව ඉදිරියට ගියේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් වුවත් ජාත්‍යන්තරය බැලන්ස් කර ගැනීමේ කාර්යය හොඳින් ඉටු කළ බව පෙනිණි. හැම වසරකම මාර්තු මාසයේ සහ සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් රැස්වීමේ දී ලංකාව දංගෙඩියට තබා කටයුතු කිරීම අවසන් වී ආණ්ඩුව සමඟ ගිවිසුමකට එළැඹීම යහපාලනය හැඳින්වූයේ ඔවුන් ජාත්‍යන්තර ජයක් ලබාගැනීමක් වශයෙනි. එතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට වැසී තිබූ අමෙරිකාව ඇතැම් බටහිර රටවල ද යුරෝපයේ ද දොරටු යළිත් වරක් විවෘත විය. එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවට ගිය ජනාධිපති මෛත්‍රීපාලට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර රාජ්‍ය නායකයන්ගේ සුබ පැතුම් ද ඔහුට ලැබිණි. එහෙම වුණත් යහපාලන ආණ්ඩුව ජිනීවා සමුළුවේ දී ඇති කරගත් ගිවිසුමට බරපතළ චෝදනා එල්ල විය. එම චෝදනා බොහෝ දුරට රටේ අභ්‍යන්තර දේශපාලනය සමඟ බැඳී තිබිණි. නමුත් ඉන්දියාව එහිදී සිටියේ නිහඬ චරිතයකට පණ පොවමිනි.


ඊට පස්සේ ඒ ආණ්ඩුවේ මෛත්‍රීපාල ජනපති සහ රනිල් අගමැති අතර ඇවිළෙමින් තිබූ ගින්න බුර බුරා නැගී අගමැති රනිල්ට ආණ්ඩුව අහිමි කරනු ලැබීය. නමුත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හරහා එම ආණ්ඩුව යළි ප්‍රතිස්ථාපිත වූ අතර ජනාධිපති මෛත්‍රීපාලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනා ද එල්ල විය. එම පාලන කාලයේ අවසානය වනවිට මෛත්‍රීපාල ජනපති යළිත් මහින්ද රාජපක්ෂලාට එකතු වී සිටීම මේ රටේ දේශපාලනයේ එක් අඳුරු පැතිකඩක් පෙන්වීමක් විය.


එම යුගය අවසන් වෙමින් තිබිය දී පාස්කු බෝම්බය පුපුරා ගියේ 2019 අප්‍රේල් 21 වැනිදාය. ඒ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිංගප්පූරුවේ සිටි අතර රටේ වැඩ බැලීමට නායකයකු පත් කර නොතිබිණි. කෙසේ වුවද පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වීමට සති දෙකකට පමණ පෙර සිට ඉන්දියාවේ ඔත්තු සේවා අංශ ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන්ට මෙවැනි ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට දැනුම්දීම් කර තිබිණි. පසුව හෙළිදරව් වූ ආකාරයට එම දැනුම්දීම්වලදී ප්‍රහාරයට ගොදුරු වන දේවස්ථාන කුමක්ද යන්න පවා ඉඟි කර තිබූ බවද සඳහන්ය. ප්‍රහාරය සිදුවී මහා මිනිස් ඝාතනයක් සිදුවීමෙන් පසුව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් “මට මේ ගැන යන්තම් හෝ දැනුම්දීමක් කර තිබුණා නම් අඩුම තරමින් පල්ලියට එන බැතිමතුන්ට එන්න එපා කියලා පණිවුඩයක් දෙන්න තිබුණා. එහෙම නම් මෙහෙම මිනිස් ඝාතනයක් වෙන එක වළක්වා ගන්න තිබුණා.” යැයි කළ ප්‍රකාශයට මහත් ප්‍රසිද්ධියක් ලැබිණි. මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව ඉන්දියාවේ රෝ ඔත්තු සේවය දැන සිටි බවත් ඒ පණිවුඩය ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් හරහා නිසි ලෙස සන්නිවේදනය වී නොතිබූ බවත් ඉතා පැහැදිලිව ඒ ප්‍රකාශයෙන් කියැවිණි.


කෙසේ වුවද ඒ සමඟම ලංකාවේ බුද්ධි අංශ දුර්වල වී ඇති බවටත් රටේ ජාතික ආරක්ෂාව අනතුරේ බවටත් විශාල ප්‍රචාරයක් ගෙන යාමට විපක්ෂය ක්‍රියා කළේය. ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 18 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ එම පසුබිම සමඟ රටේ ජනතාව තුළ පැවති රජයට එරෙහිව ඇතිවූ බලවත් විරෝධය මූලික වෙමිනි. එහිදී සිදුකෙරුණු ගෝඨාභයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ දැඩි මුස්ලිම් විරෝධී ප්‍රවණතාවක් දකින්නට තිබූ අතර පොදුවේ සුළු ජාතිකයන්ට එරෙහිව ගිය මැතිවරණ ව්‍යාපෘතියක් බවට එය පත් වී තිබිණි. ඡන්ද ප්‍රතිඵල මගින් එය වඩාත් පැහැදිලි විය.


දැන් එළඹෙමින් තිබෙන්නේ අරගලයෙන් පසුව එන පළමු ජනාධිපතිවරණයයි. ඉන්දියාවේ මාධ්‍යවලට ලිපි සපයන ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සුවිශේෂී බවක් දක්වන්නේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු මහජන අරගලයකින් එළවා දැමීමෙන් පසුව පවත්වන ජනාධිපතිවරණයක් වීම හේතුවෙන් බවය. එක් දේශපාලන විචාරකයකු ඍජුවම ප්‍රකාශ කර තිබුණේ වත්මන් ජනාධිපතිවරයා අරගලය තිබූ අවස්ථාවේ පැවති අස්ථාවර දේශපාලන හා ආර්ථික තත්ත්වයෙන් රට ස්ථාවර තත්ත්වයකට පත් කළත් ඔහුට මහජන වරමක් නැති බවය. එසේම ඔහු කොතරම් ස්ථාවර පාලනයක් ගෙන ගියත් මෙවර ජනාධිපතිවරණය වඩාත් උණුසුම් වී ඇත්තේ ඔහු රටේ ජනතාවගේ ජනප්‍රියත්වය ලබා ගැනීමට අසමත් වීම නිසා බවත් ඔහු කියා තිබිණි. මේ නිසා කාලයකට පසුව රටේ ජනාධිපතිවරණය තුන්කොන් සටනක් බවට පත් වී ඇති බවද එහි සඳහන්ය.


රට අර්බුදයට ලක්වූ අවස්ථාවේ ශ්‍රී ලංකාව ගැලවුණේ ඉන්දියාව ලබාදුන් ආර්ථික ආධාර හේතුවෙන් බවද තවත් එක් විචාරකයකු පෙන්වා දී තිබිණි. එසේ වුවද ශ්‍රී ලංකාවේ දේශපාලනය කොයි අතකට යොමුවේ දැයි ප්‍රකාශ කිරීමත් අපහසු තත්ත්වයක් උද්ගතව තිබේ. ඉන්දියාව දේශපාලනික වශයෙන් කොතරම් ශ්‍රී ලංකාවට වැදගත් දැයි කිවහොත් ජනාධිපතිවරණයට වසරකට පමණ පෙර විටම ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් ඉන්දියාව සම්බන්ධයෙන් උනන්දු වීම ඇරඹුණි. අනුර කුමාර දිසානායකට ලැබුණු ඇරියුම මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල කතාබහකට පවා ලක් විය. අද මේ සියලු දෙනා සිටින්නේ තරග බිමේය.


ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ පැමිණීම අප බැලිය යුත්තේ මේ අතීතය සහ පසුබිම සමඟිනි. රටේ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට වඩාත්ම ඉඩ තිබෙන්නේ කාටදැයි යන්න ගැන අජිත් දොවාල් තුළ අදහසක් තිබිය යුතුය. ඒ අපේක්ෂකයාට ඔහු ලබාදුන් පණිවුඩය කුමක්දැයි දැන ගැනීමට තව කලක් යනු ඇත. ලංකාවේ ජනාධිපති වශයෙන් පත්වන්නේ කවුරුන් වුවද ඔහුට ඉන්දියාව පමණක් නොව චීනය සහ අමෙරිකාව ද බැලන්ස් කර ගැනීමට සිදුවනු ඇත. සමහරවිට අජිත් දොවාල් ලබා දුන්නේ ඒ පණිවුඩය දැයි කියන්න දන්නේ නැත.

• ශශීන්ද්‍ර