2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

කරණම් දේශපාලනයට තිත තබමු

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

“පනින රිළවුන්ට ඉනිමං බැන්දා වාගේ” කියන ප්‍රස්ථාව පිරුළට පවා අලුත් අර්ථකථන ලබා දෙමින් පසුගිය දිනවල දේශපාලන පැනිලි සමූහයක් දැකගත හැකි විය. වෙනසක් වුණේ එසේ පැන්නේ රිළවුන් නොව මන්ත්‍රීවරුන් වීමයි. එසේ පැන්න ඇතැම් මන්ත්‍රීලාට ඉනිමං නම් අවශ්‍ය වුණේම නැත. නමුත් බාර් පර්මිට් සහ සල්ලි මිටි ඇතැම් පැන්න මන්ත්‍රීලාට “ඉනිමං” වී තිබූ බවට පැතිර යන කතාවලින් නම් අඩුවක් නැත.

ජාතික මැතිවරණයක් ආසන්න වන විටදී මේ ආකාරයට දේශපාලන පිල් මාරු කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අපේ රටට තිබෙන්නේ අපකීර්තිමත් අතීතයකි. වසර කිහිපයකට පෙර තමන්ගේ දේශපාලන සතුරන් හැටියට හංවඩු ගසා ජනතාව ඉදිරියේ එම සතුරන්ගේ ප්‍රතිපත්ති පරසක්වල ගැසූ මන්ත්‍රීන්ලාම එම සතුරා තමාගේ ගැලවුම්කරු හැටියට පෙන්වා දෙමින් ඔවුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට කියා ඔවුන් සමඟ එකතු වීම ගැලපෙන්නේ මොන දේශපාලනයට දැයි විස්තර කිරීමට පවා නොහැකිය. එය එතරම් පිළිකුල් සහගත ක්‍රියාවකි. රටේ ජනතාවට විශේෂයෙන් තරුණ පරපුරට දේශපාලනය එපා කරවන වෙස් මාරු කිරීමකි.

මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ කොටස් ගැලවී යාම ඇරඹුණි. එසේ ගැලවුණු කොටස් එකට එකතු වී අලුත් අලුත් සන්ධාන පවා පිහිටුවාගනු ලැබීය. ඒ සමහරුන් කිසි කලෙකත් මහජන ඡන්දයකින් තෝරාගනු නොලබන අය බවත් ඔවුන් තමන්ගේ වෙනත් හැකියාවන් මත ජාතික ලැයිස්තුවෙන් ආණ්ඩුව ඇතුළට රිංගාගත් අය බවත් හඳුනාගත හැකිය. තවත් පිරිසක් මහජන ඡන්දයෙන් තේරීපත්වූවෝ වෙති. එහෙත් දේශපාලන ලෝකයේ මංමුළා වී සිටිමින් තමන්ට හොඳයි කියා සිතන නායකයන්ගේ නාඩිය අල්ලා බලමින් ඔවුන් පැය විසි හතරේම උත්සාහ දරන්නේ තමන් සඳහා හොඳම පැත්ත අල්ලා ගැනීමටය.

මේ සමහර මන්ත්‍රීවරුන් පක්ෂය මාරු කරන්නේ වෙන කිසිවක් සඳහා නොව තමන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා කර ගැනීම සඳහා බව ප්‍රසිද්ධ රහසකි. එම අනාගත ආරක්ෂාව සඳහා දහසින් බැඳි පියලි ප්‍රදානය කෙරුණේ කලකට පෙරය. දැන් සිදුවන්නේ මිලියන ගණනින් මුදල්, බාර් පර්මිට්, අනාගත රජයක හොඳට හම්බ කරගත හැකි ඇමැති පදවි, සමීප ඥාතීන්ට රාජ්‍ය තාන්ත්‍රික තනතුරු වැනි පොරොන්දු ලබා දීම්ය. මේ පොරොන්දුවලින් කොටසක් හෝ ලැබුණත් මේ කරණම් ගසන මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත්ය. මේ ආත්මාර්ථකාමී දේශපාලන ගේම්වල කොතැනකින් හෝ තිත තැබිය යුතු බව කිව යුතුය.

තමන් බලයට පත් කළ ජනතාව අමතක කර දමමින් මෙසේ පැත්ත මාරු කරන මන්ත්‍රීලා සිදු කරන එක් පොදු ප්‍රකාශයක් වන්නේ තමන් මේ තීන්දුව ගන්නේ පාක්ෂිකයන්ගේ ඉල්ලීමට බවය. මෙය පට්ටපල් බොරුවකි. තමන්ට ඡන්දය ලබාදුන් දහස් ගණනක් දිස්ත්‍රික්කය පුරා සිටියදී තමන්ගේ ඕනෑම කුණු වැඩක් බාරගෙන එය ඉටුකර දෙන, එසේම විවිධ ජාවාරම් හරහා මන්ත්‍රීවරයාට ගාණ කපා දෙන, පෝස්ටර් අලවන වැනි තමන්ට සමීප දෙතුන් සීයක පිරිසක් ශාලාවකට රැස්කර ඔවුන් ලවා තමන්ගේ මාරු කිරීමේ තීන්දුවට අත ඔසවා සහාය පළ කරවාගෙන පක්ෂය මාරු කරන මේ මන්ත්‍රීවරුන් සිදු කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් නොව තනිකරම බඩගෝස්තරවාදී දේශපාලනයකි. නමුත් එළියට බැස මාධ්‍ය සාකච්ඡා තබමින් ප්‍රකාශ කරන්නේ මෙය තමන් රට ජාතිය ගැන සිතා ගත් අමාරු තීරණයක් බවය. ඇත්ත කුමක්ද යන්න මේ හැම පැත්තටම පනින දේශපාලකයන්ගේ හෘද සාක්ෂිය විමසා බැලුවොත් තේරුම් ගත හැකිවනු ඇත.

මේ පනින පැනිල්ලේ රඟ කොතරම්දැයි කිවහොත් ඇතැම් ඇමැතිලා ගෙවී ගිය දශක කිහිපයේම පිහිටුවූ හැම ආණ්ඩුවකම ඇමැති ධුර දැරූහ. ඔවුන්ට සියලු බලය, ධනය, තේජස, මේ හැම දෙයක්ම තිබුණත් එක් දෙයක් නැත. ඒ බව දැන දැනත් ඔවුන් සිටින්නේ වගේ වගක් නොමැතිවය. ඔවුන්ට නැත්තේ ලැජ්ජාවයි.

මේ ක්‍රමය බොහොමයක් ජනතාව පිළිකුළෙන් යුතුව දැඩිව හෙළා දකිති. එහෙත් එය නැවැත්වීමට හැකියාව ඇත්තේ ඡන්දදායකයා අතේ නොවේ. දේශපාලන පක්ෂ නායකයන් අතේය. මේ සියලු දේශපාලන පක්ෂවල නායකයන්ට පක්ෂ මාරු කරන මන්ත්‍රීන් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණිය හැකි නම් එය නැවැත්වීමට අපහසු නැත. නමුත් බලයේ සිටින කිසිදු ආණ්ඩුවක් එවැනි තීන්දුවකට එළැඹීමට දක්වන අකමැත්ත මේ ගැටලුව විසඳීමට මහත් බාධාවක් බවද පෙන්වා දිය යුතුය.