2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

මම ඡන්දෙ ඉල්ලන්නේ පට්ටපල් හොරුන්ගෙන් රට බේරගන්නයි

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 82

බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපති අපේක්ෂක ජනසෙත පෙරමුණ

  • ඊළඟ පාර්ලිමේන්තුවට තරග කරනවා
  • කෝටි ගණන් දෙන්නම් කියා මගේ පක්ෂය ඉල්ලුවා
  • ගංජා කොහොමද මත්ද්‍රව්‍යයක් වෙන්නේ?
  • මගේ පක්ෂය විකුණනවද කියලා කී දෙනෙක් ඇහුවද?

 

 

අපි දන්නවා ඔබවහන්සේ ඉතිහාසයේ ඉඳලම ජනාධිපතිවරණයක් අත්හරින්නේ නෑ කියලා. ඒත් මෙවර මොකක්ද අරමුණ මැතිවරණයට ඉදිරිපත් වෙන්න?

අපේ බෞද්ධයන්ට කිසිම දේශපාලන පක්ෂයක් නෑ. බෞද්ධයා අතරමං වෙලා ඉන්නේ. උන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ. පාලකයෝ බලය බෙදන්න යනවා. ලෝකයේ බලන්න, භාෂා දෙකකින් ජාතික ගීයක් තියෙන්නේ කොහෙද? මේ අපේ රටේ විතරයි. ජාතික ගීයවත් ආරක්ෂා කරගන්න බැරි පාලකයෝ ඉන්න රටක්නේ මේක.

ඔබවහන්සේ රටේම ජනාධිපති වෙන්න ඉන්නේ. කොහොමද මේ එක ජාතියක් විතරක් නියෝජනය කරන්නේ?

අපි සිංහල ජාතිය වශයෙන් අනෙකුත් ආගම් ජාතීන්ට සලකනවා. ඒත් ප්‍රමුඛතාවය තියෙන්නේ සිංහල බෞද්ධයට. බලන්නකෝ, බෞද්ධයට ගහනවනෙ හැමෝම. නැගෙනහිර පළාතට ගිහින් ඉඩමක් කඩමක් ගන්න බෑනේ. 

ඔබවහන්සේ ඔහොම කිව්වට වෙන ජාතියක කෙනෙක් ඡන්දය නම් දෙන්නේ නෑ?

විශේෂයෙන් මරක්කල මිනිස්සුන්ගේ ඡන්දය නම් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. සිංහල දමිළ මිනිස්සුන්ගේ ඡන්දය මම අනිවාර්‌යෙන් බලාපොරොත්තු වෙනවා. සිංහල කතෝලික වුණත් දෙනවා.

ඔබවහන්සේ මේ කියන දේට ජාතිවාදියෙක් කියලා අත්අඩංගුවට ගන්න පුළුවන්?

නෑ. මම ජාතිවාදියෙක් නෙමේ. මම ජාතිවාදය ගැන කතා කරන මිනිස්සු එක්ක තරහයි. ජාතිවාදය ඇති කරලා තමා මේ රට විනාශ කළේ. දෙමළ පක්ෂ ඒ අයගේ ජාතියේ නමින් පක්ෂ හදලා තියෙනවා. ඉස්ලාම් පක්ෂ ඒ අයගේ ජාතියේ නමින් පක්ෂ හදලා තියෙනවා. ඒවා ජාතිවාදී නැද්ද? නැගෙනහිර පළාතට යන්න අමාරුයි. ඒක ජාතිවාදය නෙමේද? අපි අපේ ජනතාව වෙනුවෙන් කතා කරපු ගමන් අපි ජාතිවාදීයි. අපි ජාතිවාදී වෙන්නෙ නෑ. හැබැයි ප්‍රමුඛතාවය තියෙන්නේ සිංහල බෞද්ධ ජනතාවට.

ඔබවහන්සේ සිංහල බෞද්ධකම කියනවා. භික්ෂූන් වහන්සේල මත්ද්‍රව්‍යවලට විරුද්ධයි. ඒත් ඔබවහන්සේ කියන්නේ කොල්ලෝ කංසා චුට්ටක් ගැහුවට කමක් නෑ කියලා?

මගේ මහත්තයා කියන්නකෝ ගංජා මත්ද්‍රව්‍යයක් වුණේ කොහොමද?

හාමුදුරුවනේ කංසා ශාකය වවන්න, විකුණන්න, භාවිතයට ගන්න නීතියෙන් තහනම්. ඒක මත්ද්‍රව්‍යයක් හැටියට නීතියේ තියෙන්නේ?

ඒක ගෙනාවේ කවුද? සුද්දනේ ගෙනාවේ. අපේ රට බේරගන්න සිංහල ජනතාවට මොරාල් එකක් ආවේ මේ ගංජා ටික නිසා. සුද්දා බැලුවා මුන්ට මේ ශක්තිය කොහෙන්ද එන්නේ කියලා. ඒ අනුව තමයි මේක තහනම් කළේ.

ඔබවහන්සේ කිව්වට කංසා නීතිගත කරන්න ගියාම ඒකට එපා කියන්නේ ස්වාමීන් වහන්සේලනේ?

හාමුදුරුවෝ නම් මේක නීතිගත කරන එකට විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ නෑ. අනික හාමුදුරුවන්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද මේකෙන්. අනික ඒක හරහා රටට එන ආදායම හාමුදුරුවෝ දෙනවද?

හරි මට කියන්නකෝ ඔබවහන්සේට ඡන්ද කරන්න සල්ලි කොහෙන්ද? එන්ජීඕ සල්ලි කියලා සමහර අය කියනවා. ඇත්තද?

ඕක මහත්තයෝ හැමෝම අහනවා. ඒත් ඇත්ත දැනගන්න පුළුවන් මගේ දායකාරකාදීන්ගෙන්. ඒ අය තමයි මාව ආරක්ෂා කරන්නේ. ඊට අමතරව ධර්ම දේශනාවලට ගියාම මුදල් ලැබෙනවා. ඒවා අපි අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ නෑ.

විදෙස් මුදල් ලැබෙන්නෙම නැද්ද?

මට විදෙස් මුදල් ලැබෙනවා නම් අනුර කුමාරට, සජිත්ට, රනිල්ට, නාමල්ට වඩා ඉදිරියෙන් මම කැම්පේන් එක කරනවා. අපිට එහෙම ලැබෙන්නේ නෑ. මේ අයට කොහෙන්ද සල්ලි ලැබෙන්නේ. විගණකාධිපතිට මම ලියනවා මේ අයට සල්ලි එන්නේ කොහෙන්ද කියලා හොයන්න කියලා.

දිනන්න බැරි බව දැන දැන ඉල්ලන්නේ ඇයි?

මම කිව්වේ මුල ඉඳලම මම ඉල්ලන්නේ මේ රට පට්ටපල් හොරුන්ගෙන් මුදවාගෙන රට බේරගන්න. හොරකම් කරපු සල්ලි ටික හොයා ගන්නවා.

ඒ කියන්නේ ඔබවහන්සේ ජනාධිපති වුණොත් මේ අයට විරුද්ධව ක්‍රියාත්මක වෙනවද?

ඒක නීතිය හරහා කරනවා මහත්තයා. මට කරන්න බෑනේ.

දැන් ඇයි මේ ජනාධිපති වෙන්නම උත්සාහ කරන්නේ. තව මැතිවරණ තියෙනවනේ මේ රටේ. ඒත් මේකට විතරමයි ඉල්ලන්නේ?

අපි ඉදිරි කාලේ සියලුම මැතිවරණ නියෝජනය කරනවා. ඊළඟ පාර මම පා‍ර්ලිමේන්තු ඉල්ලනවා.

පාර්ලිමේන්තු යයි නේ?

ගියොත් මහත්තයලට බලාගන්න පුළුවන් මම ජනතාවට කරන සේවය. හැබැයි මහත්තයෝ හොර නඩේට නම් ගැලවිල්ලක් නෑ

ඒ කියන්නේ එහෙම ගියාම ආණ්ඩුවට ජැක් එක ගහනවා?

අනේ මහත්තයො එහෙම ගියා නම් මෙලහකට ගිහින්. කී දෙනෙක් මේ පක්ෂය ඉල්ලලා තියෙනවද?

පක්ෂයට ආපු ලංසුව කීයද?

නාමයෝජනා දෙන්න කලින් කිව්වා කෝටි තුනක් දෙන්නම් කියලා. ඊට කලින් පහක් ආවා. එංගලන්තයේ කාන්තාවක් කතා කරලා කිව්වා ගෙඩිය පිටින් දෙනවා නම් කෝටි 15ක් දෙන්නම් කියලා.

සියල්ල අත්හරින්න ඕන ඔබවහන්සේලා ඇයි මේ බලය බදාගන්න යන්නේ?

මහත්තයා සියලු දේ අත්හරින්න කිව්වට මේ රටට වෙන හානිය, ඔබගේ වරිග පරම්පරාවට වෙන හානිය නැති කරන්නේ කවුද? අපි වනයට වෙලා භාවනා කරලා හරියනවද? එදත් රට බේරගත්තා නම් අදත් ඒ මැදිහත් වීම භික්ෂූන් වහන්සේලාගෙන් අවශ්‍යයි.

• ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00