2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

අයි.එම්.එෆ්. එකෙන් අපි ඉවත් වෙනවා

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

නීතිඥ නුවන් බෝපගේ ජනාධිපති අපේක්ෂක ජන අරගල සන්ධානය

  • ධන කුවේරයන්ට ඕනෑ විදියට ආර්ථිකය හදලා රට ගොඩගන්න බෑ
  • වැඩ කරන ජනතාව අතර අපි ධනය බෙදනවා
  • ඡන්දය ගන්න කියන බොරුවලට ජනතාව හැමදාම රැවටුණා

 

මිනිස්සු අහන දෙයක් තමයි ප්‍රධාන අපේක්ෂකයෝ ඉන්නකොට ඇයි මේ අපේක්ෂයෝ ඉදිරිපත් වෙන්නේ කියලා. ඇත්තටම මොකක්ද ඒකට තියෙන උත්තරය?

අපේක්ෂකයෝ 38 ක් ඉදිරිපත් වුණාට මේ මැතිවරණයේදී අපේක්ෂකයෙක් කියන්නේ ප්‍රතිපත්තියක ප්‍රකාශකයෙක්. අපි බලන්න ඕනෑ මේ 38 දෙනා අතර ප්‍රතිපත්ති මොනවාද කියලා. ඒ අනුව අපිට තියෙන්නේ ප්‍රතිපත්ති දෙකයි. ප්‍රධාන අපේක්ෂකයෝ තුන්දෙනාම ඒ අයගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා ඉවරයි. මේ ප්‍රතිපත්ති තුනේම තියෙන්නේ එකම කාරණය. එක තමයි කොල්ලකාරී ලාබ උපයන ආර්ථික ක්‍රමවේදයකට එකඟවෙන එක. අයි.එම්.එෆ් කොන්දේසි ඉදිරියට අරගෙන යන එකට එකඟවෙන එක. ඒ වගේම ඉන්දියානු ඇමෙරිකානු මැදිහත් වීමට විරුද්ධ නෑ. ඒ අයගේ තියෙන්නේ එක ප්‍රතිපත්තියක්. මූණවල් තුනක්.

දැන් ඔබලගේ වෙනස් කියලද කියන්නේ?

ඔව් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ජනතාවගේ ප්‍රතිපත්තිය. අපි කියනවා මේ කොල්ලකාරී ආර්ථිකය සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ඕනෑ කියලා. අයි.එම්.එෆ් එකෙන් අපි ඉවත් විය යුතුයි කියනවා. ඉන්දියානු ඇමෙරිකානු මැදිහත් වීම අපි ප්‍රතික්ෂේප කරනවා. එකම විකල්ප ප්‍රතිපත්තිය අපේ. එතකොට ජනතාව තේරුම් ගන්න ඕනෑ අපේක්ෂකයෝ සීයක් හිටියත් වැඩක් නෑ, විපකල්ප ප්‍රතිපත්තිය මොකක්ද කියන එක. අන්න ඒක තමයි ජනතාව විශ්වාස කරන්න ඕනෑ.

දැන් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විරුද්ධ අදහස් දැක්වූ ජවිපෙ පවා මාර්ගය වෙනස් කළා. ඒත් ඔබලා තවම උත්සාහ ගන්නවා හුදෙකලා රටක් බවට පත් කරගන්න. ඇයි විදේශ සබඳතා එපාද?

අපිට තියෙන්නේ ඉන්දියානු විරෝධයක් නෙමේ. අදානි සමාගමට ඉඩ දෙනවා නම් ලංකාවේ ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ වෙන්න, හිඟුරක්ගොඩ, පලාලි, රත්මලාන වගේ ගුවන් තොටුපළවල් ඉන්දියාවට දෙනවා නම්, ත්‍රිකුණාමලයේ වරාය සහ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවා නම් ඒකද විදෙස් සම්බන්ධතා. ඒක කොලනිකරණය. මේ දෙක තේරුම් ගන්න ඕනෑ. දැන් ජාතික ජන බලවේගයත් වෙළෙඳපොළ ආර්ථිකයකට එකඟයි. ඒ සජිත් රනිල්ගේ ආර්ථික ක්‍රමවේදය. මේ උපාය මාර්ගය තමයි ඒ අයගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ.

ඔබේ විදෙස් ප්‍රතිපත්තිය මොකක්ද?

අපේ තියෙන්නේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක්. එතැනදී රටේ ස්වෛරීත්වය, ජනතාවගේ නිදහස ගැන අපි හිතන්න ඕනෑ. ඒ සලකා තමයි අපි ගනුදෙනු කරන්න ඕනෑ.

අද වෙද්දි ජවිපෙ මාලිමාව ලෙස පරිවර්තනය වෙලා යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඉන්නේ නූතන රාජ්‍ය වෙනුවෙන්. ඒත් ඔබලා තවම තදට ක්‍රියාත්මක වෙන්නේ. මොකක්ද මේකට හේතුව?

2015 ජනතාව ඇන්දුවේ යහපාලන කියන කෑල්ල ගෙනල්ලා. හැබැයි හදවතින් යහපාලනයක් නෑ. අන්තිමට වුණේ මාස තුනෙන් මහ බැංකුව කැඩුවා. ඊට පස්සේ 2019 සෞභාග්‍යමත් රටක් ගේනවා කිව්වා. අන්තිමට සෞභාග්‍ය රට වෙනුවට තෙල් ගෑස් පෝලිම් හදලා රට ප්‍රශ්නයක හිර කළා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ඡන්දය ගන්න, ඕනෑ බොරුවක් කියන්න පුළුවන්. ඒ බොරුවට අපි රැවටුණා. ජේ.ආර්. ආවෙත් ධර්මිෂ්ඨ සමාජයක් කරන්න. අන්තිමේ පක්ෂ තහනම් කරලා ප්‍රශ්න හදලා ගියා. ඒ නිසා ජනතාව තෝරගන්න ඕනෑ මැතිවරණය ළං වෙනකොට වෙනස් වෙන ප්‍රතිපත්ති තියෙන අය නෙමෙයි, හැමදාම එකම ප්‍රතිපත්තියේ ඉන්න අය.

මෙවර අපේක්ෂකයට තියෙන ලොකුම ප්‍රතිපත්තිය තමයි ආර්ථිකය ගොඩනගන ප්‍රතිපත්තිය. ඔබලා ඒක පිළිගන්නවද?

ඔව් අනිවාර්යයෙන්. හැබැයි අපි බලන්න ඕනෑ ආර්ථිකය කියන්නේ කාගේ ආර්ථිකය ගොඩනගන්නද කියන එක. ප්‍රධාන පක්ෂ ගන්න, ඒ අයගේ මූලික අරමුණ මේ රටේ ධන කුවේරයන්ගේ වරප්‍රසාද ගොඩනගන එක තමයි ආර්ථික ප්‍රතිපත්තිය.

උදාහරණයක් හැටියට රනිල් වික්‍රමසිංහගේ ණය ප්‍රතිව්‍යුගත කිරීමේදී ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් කප්පාදුවලට ලක්වුණාට බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බැංකුවල ණය ප්‍රතිව්‍යුහගත කළේ නෑ. හර්ෂ ද සිල්වලත් රනිල්ගේ එක අනුමත කරනවා. ඒ වගේම මාලිමාව මේ ළඟදී ඔවුනුත් ඔප්පු කරලා ඉවරයි මේ ආර්ථිකය මෙහෙයවන්නේ මේ ධන කුවේරයන්ට ඕනෑ විදිහට කියලා. අපි ආර්ථිකය කියලා හඳුන්වන්නේ ඒක නෙමේ. ලක්ෂ 85ක් වැඩ කරන ජනතාවගේ ආර්ථිකය. අපි මූලික වෙන්නේ මේ ඒකාධිකාරිය කඩලා දාන්න. අපි හදන්න යන්නේ ජනතාවට තියෙන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය.

දැන් ජවිපෙ මාලිමාව වීමත් එක්ක ඒ අය දේශපාලන මාර්ගය අන්තගාමී නොවී මැද මාවතකට ගෙනාවා. ඔබලා තවමත් වාමවාදී කඳවුරේ අන්තයේ ඉන්නේ. ඔහොම බලය ලබාගන්න පුළුවන්ද?

ලෝකයම අලුත් හීනයක් දකිමින් ඉන්න අවස්ථාවක්. අපි ඉන්නේ ඒ හීනයේ නියෝජිතයෙක් හැටියට. මේ ලෝකය 2100 වෙද්දී විනාශ වෙන්න තියෙනවා කියලා පුරෝකථනය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන ධනවාදී ආර්ථිකය පරිසරය විනාශ වෙනවා කියන එක. ලෝකයේ ලොකු අසමානතාවයක් තියෙනවා. ලෝකයේ ධනය බෙදී යාමේ විෂමතාවයක් තියෙනවා. ඒ නිසා අපි කතා කරන්නේ මේ ධනය වැඩ කරන ජනතාව අතර බෙදන ක්‍රමයක් ගැන. ඒක තමා සරලවම කියන්නේ ජනතා පාලනයක්. අන්න ඒක ඇතුළේ තමා ඔබේ නිදහස තියෙන්නේ. දැන් බලන්න, ඉන්දියාවේ ප්‍රධානියෝ ඇවිල්ලා මැතිවරණ ප්‍රචාරණයට රනිල් සජිත් අනුරට සල්ලි දෙනවා. ඒ සල්ලි තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙන්නේ. ඒ නිසා මේකට රැවටටෙන්න එපා. මේක වෙනස් කරන්න ඕනෑ. ඒක තමා සමාජවාදය කියන්නේ.

• ගයාන් ගාල්ලගේ

 

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00