ජර්මනියේ හිටපු නායකයෙක් වූ හෙල්මුට් කෝල් අවුරුදු අනූවක් පමණ ආයු වළඳා පසුගියදා අභාවප්‍රාප්ත විය. නූතන ලෝක ඉතිහාසයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ කෝල් ලංකාව සමගින්ද සම්බන්ධවීම රසවත් කතාවකි.
2004 දෙසැම්බර් මාසයේ දී සුනාමිය අප රට ගිලගනිද්දී රටේ නායිකාව වූයේ චන්ද්‍රිකා කුමාරණතුංගයි. මම එකල ඇගේ කැබිනෙට්ටුවේ මුදල් ඇමැති වුණෙම්. සුනාමියෙන් සතියක් පමණ ගතවූ පසු දේශපාලන කලබල මැද අපට මෙරට ජර්මන් තානාපති කාර්යාලයෙන් හදිසි පණිවුඩයක් ලැබුණි. එම පණිවිඩය වූයේ ජර්මනියේ හිටපු නායක හෙල්මුට් කෝල් ලංකාවේ හෝටලයක ආයුර්වේද ප්‍රතිකාර ගන්නා අතර අතුරුදහන් වී ඇති බවයි. ඔහු සුනාමියට හසුවී මුහුදට ගසා ගියාදැයි ද සැකයක් ඇතිවිය. කොල් ලංකාවේ සිටියදී සුනාමියට ගසාගෙන ගියානම් එය මුළු ලොවම මවිත කරවන පුවතක් වන බව අපට වැටහුණි.
ගාල්ලේ හික්කඩුව හා දොඩන්දූව ප්‍රදේශවල රජයේ නිලධාරින්ට කෝල් ගැන සොයා බලන ලෙස දන්වන ලදී. ඔහුව සොයා ගතහොත් හෙළිකොප්ටරයක් යවා ඉක්මණින් ආපසු කොළඹට ගෙන්වා ගැනීමට අප ජර්මන් තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කළෙමු. අපට පිළිතුරු වශයෙන් දකුණෙන් ලැබුණේ සුන්දර පුවතකි. සුනාමිය ගොඩ ගලනවාත් සමඟම ඔහු සිටි කුඩා හෝටලයේ සේවකයන් කෝල්ව කන්දක් උඩ පිහිටා තිබුණ නිවසකට ගෙනගොස් තිබුණි. එහි ඔහු නිරුපද්‍රිතව සිටිනා බව පමණක් නොව ගෙදර අය ඔහුව හොඳින් බලා ගන්නා බව ද අපට දන්වන ලදී. තමා සුරක්ෂිතව ගමේ ගෙදරක සිටින නිසා ඔහුට හෙළිකොප්ටරයක් අවශ්‍ය නැති බව ජර්මන් නායකයා කියා සිටියේය. ඊට දින කිහිපයකට පසුවය ඔහු කොළඹට පැමිණියේ. ඉන් පසුව ජනාධිපතිතුමියට ස්තූති කිරීමට කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට ඔහු පැමිණියේය. මමද ඒ වෙලාවේ එම හමුවට සහභාගී වුණෙමි. පොඩිවෙච්ච සුදු ලිනන් සූට් එකක් ඇඳ පන් කොළ තොප්පියක් ද හිස පැළඳ ආ ජර්මන් නායකයා ඔහුව රුකගත් ලාංකික සේවකයන්ට මුව නොසෑහෙන සේ ප්‍රශංසා කළේය.
ඉන්පසුව සිය මවු රටට ගිය කෝල් ලංකාව අමතක කළේ නැත. ඔහු සහ ඔහුගේ මිතුරන් තම පෞද්ගලික ධනයෙන් ගාල්ලේ මහමෝදර රෝහලක් ඉදි කිරීමට සැලසුම්කර එයට මුදල් ද ලබා දුන්නේය. අවාසනාවකට මෙන් සුපුරැදු කම්මැලිකමින් අප රජයේ සේවකයන් කටයුතු කළ නිසා කෝල් මියයන තෙක්ම එසේ ඉදි කෙරෙන රෝහල සම්පූර්ණ කිරීමට අප රට අසමත් විය. ඔවුන් විසින් සකසන ලද ඇස්තමේන්තු අනුව එවන ලද මුදල් ප්‍රමාණවත් නැතැයි කියමින් කල් මැරූහ. දැන් නැවතත් එම රෝහල ඉදි කිරීම අරඹා ඇති නිසා ටික කලෙකින් මෙය විවෘත කිරීමට හැකිවේ යැයි ජර්මන් තානාපතිතුමා පසුගිය සතියේ මට දැන්වීය. කෝල්ගේ මෙරට මිතුරන්ට ඔහුව සමරමින් සටහන් තැබීමට අවශ්‍ය සැමරුම් පොතක් තම තනාපති කාර්යාලයේ තබන ලෙස මම තනාපතිතුමාට යෝජනා කළෙමි.
මෙය රසවත් කථාවට තවත් කෑල්ලක් එක්කළ හැක. හෙල්මුට් කෝල් තමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ඇන්ජලා මර්කල් පත්කොට විශ්‍රාම ගියේය. ඇන්ජලා මර්කල් කෝල් හැදින්වූයේ “මගේ පුංචි කෙල්ල” නමිනි. ඇයව එම තැනට ගෙන ඒමට කෝල් තම පක්ෂය තුළ හිමිකරගත් අධිපති බලය යොදා ගත්තේය. එසේ පත්වූ මර්කල් මැතිනිය ටික කලෙකින් සිය ත්‍යාගවන්ත නායකයා වූ කෝල් සමඟ ගැටුණි. එයට හේතුව වූයේ තම පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට විශාල ධනයක් පිරිනැමූ පරිත්‍යාගශීලීන්ගේ නම් හෙළිදරව් කිරීමට කෝල් මැලි වීමයි. ජර්මනියේ විගණකාධිපතිවරයා මේ ගැන මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය. පක්ෂයේ නාමයෙන් එම නම් හෙළිදරව් කරන ලෙස මර්කල් ඉල්ලා සිටියද කෝල් අවසානය දක්වා එම නම් හෙළි නොකළා පමණක් නොව තමාගේ නිර්මාණයක් වූ ඇන්ජලා මර්කල් සමඟ විරසකද විය. එසේ වූවද කෝල්ගේ මළගමට කළු ඇඳුමින් සැරසී සහභාගී වූ මර්කල් ඇගේ දේශපාලන ගුරැතුමාව මුව නොසෑහෙන ලෙස වර්ණනා කළාය. කෝල් ජර්මනිය ඒකාබද්ධ කළ වීරයා වශයෙන් ඇය ඔහුව හඳුන්වා දුන්නීය. මේ සිද්ධින් රෑපවාහීනිය මඟින් නැරඹූ මා සිතතුළ සුවිශේෂ පැනයක් මතු විය. එදා කෝල්ගේ මරණය දක්වාම සැඟවී සිටි කෝටි ප්‍රකෝටි ධනවතුන් වූ ඔහුගේ මිතුරන් අතර මහමෝදර ගොඩනැගෙන රෝහලට මුදල් පරිත්‍යාග කළ අය ද ඇතුළත් විය යුතුය. හෙල්මුට් කෝල් ඉතිහාසගත වන්නේ නැගෙනහිර හා බටහිර ජර්මනිය එක්කාසු කළ ජන නායකයා හැටියටය. ඔහුට පෙර එවැනිම වැඩක් කිරීමට තරම් පන්නරය තිබුනේ “යකඩ චාන්සලර්වරයා” යැයි නම් කරන ලද ජර්මනියේ සදාතනික වීරයා වන බිස්මාර්ක් පමණි.
හෙල්මුට් කෝල් බටහිර ජර්මනියේ නායකයා හෙවත් චාන්සලර්වරයා වනවිට රට බටහිර හා නැගෙනහිර රාජ්‍යයන් ලෙස දෙකට බෙදී තිබුණේය. එය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජයග්‍රාහක ජාතීන් විසින් ගන්නා ලද තීරණවල ප්‍රතිඵලයකි. නැගෙනහිර ජර්මනිය කොමියුනිස්ට් රාජ්‍යයක් වශයෙනුත්, බටහිර ජර්මනිය බටහිරට ගැති රාජ්‍යයක් වශයෙනුත් බෙදී තිබුණි. හිට්ලර්ගේ අගනුවර වූ බර්ලින් මේ දෙකොටස අනුව හරි මැදින් බෙදා වෙන් කරන ලදී. සිය ගණන් ජනයා දිනපතා කොමියුනිට්ස් කොටසින් බටහිර පැත්තට පැන යන නිසා කෘෂෙප් නමැති සෝවියට් නායකයා බර්ලින් නගරයේ දෙකොටස බෙදා වෙන් කරන තාප්පයක් බැන්දේය. ඒ අනුව නැගෙනහිර ජර්මන් ජාතිකයන්ට බටහිරට පැනයාමට තැත් කිරීම මරණීය දඬුවම ලැබීමට තරම් වදරක් බවට පත් කරන ලදී. ස්වදේශී ජර්මන් ජාතිකයන්ට එසේ මරණීය තර්ජනය එල්ල වූවද බර්ලින් ගිය අපට නිදහසේ එම දෙකොටසටම යෑමට අවසරය තිබුණේය. එයට අවශ්‍ය වූයේ ලංකා ගමන් බලපත්‍රයක් පමණි. බටහිර බර්ලිනයේ සු සටේශන් නමැති උමං දුම්රිය පොළින් දුම්රියට නගින අපට නැගෙනහිර බර්ලීනයේ පිහිටි ප්‍රෙඩ්රික්ස්ට්‍රාස් දුම්රියපොළට යෑමට ගතවූයේ විනාඩි කිහිපයකි. එසේ නැගෙනහිර බර්ලීනයේ පිහිටන ලද බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යාගාරයට කිහිපවිටක්ම මා ගොස් තිබේ.
කොමියුනිස්ට්ස් තරුණයන් තම සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් කොටු කරගත් බිත්තිය එක දවසකින් ගඩොලින් ගඩොල කඩා දැම්මෝය. සමාජ ක්‍රම දෙකකට ඇබ්බැහි වූ රටවල් දෙකක් එක්කාසු කරන්නේ කෙසේද? එම අභියෝගය භාරගත්තේ හෙල්මුට් කෝල්ය. ඔහු ලෝකයේ ප්‍රබලම මෙන්ම ධනවත් රාජ්‍යයක් වූ බටහිර ජර්මනියේ සම්පත් කැපකොට නැගෙනහිර ජර්මනිය බටහිර සමඟ බද්ධ කළේය. බටහිර මුදල් ණයබරින් පෙළුන කොමියුනිට්ස් නැගෙනහිර වෙනුවෙන් යට කරන ලදී. එමගින් තාවකාලිකව බටහිරට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවුණත් අවසානයේ දී ප්‍රබල ඒකාබද්ධ ජර්මනියක් බිහිවිය. අද එය යුරෝපයේ තීරක බලවේගයයි.