2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පොරොන්දු වැස්සේ තෙමෙමු!

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ජනාධිපතිවරණය ආසන්න වෙමින් පවතී. ඒ සමඟ පොරොන්දු වැසි වසිමින් තිබේ. පසුගිය දවසක සමාජ මාධ්‍යයේ සැරිසැරූ කතාවක සඳහන්ව තිබුණේ දෙහි සහ දොඩම්, වැල සහ වරකා කර දෙන පොරොන්දුව හැරුණුවිට අන් සියලු පොරොන්දු මේ දවස්වල ලැබෙන බවය. ලබාදෙන පොරොන්දු අනුව අපට නම් දැනෙන්නේ ඒ පොරොන්දුවත් කවුරුන් හෝ දීමට ඉඩ තිබෙන බවකි.

ජයග්‍රහණයෙන් පසුව ලබාදීමට දෙන පොරොන්දු සම්බන්ධයෙන් මේ රටේ ඡන්දදායකයන් තුළ කිසිදු විශ්වාසයක් නැත. ඒ පොරොන්දු අතර තිබෙන ඇතැම් ඒවා සර්ව සම්පූර්ණ රටක නායකයකුට වුවද ඉටුකළ නොහැකි බව සිතා ගැනීමට මහ ලොකු දැනුමක් අවශ්‍ය නොවේ. පැහැදිලි අකුරෙන් ලොකුවට ලියා ජනතාව අතට පත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශවල ද මේ ආකාරයේ කිසි කලෙකත් ඉටුකළ නොහැකි පොරොන්දු තිබේ. ඒ ගැන හොඳින්ම දන්නේ ඡන්දදායකයාම පමණි.

ඡන්දයක දී ලබාදෙන හැම පොරොන්දුවක්ම ඉටුකළ යුතු බවට නියමයක් නැත. රටේ ජනතාව එහෙම බලාපොරොත්තු වෙන්නේත් නැත. නමුත් ලබාදෙන පොරොන්දුවල විශ්වාසනීයත්වය රැකගැනීමට හෝ හැකියාව තිබීම අවශ්‍යය. ඇතැම් පොරොන්දු අපට පෙන්වා දෙන්නේ රටේ සෑම සියලු පුරවැසියකුම සතුටු කිරීමේ අදහසින් පමණක් ඉදිරිපත් කර ඇති ඒවා බවය. ජනතාව මනඃකල්පිත ලෝකයකට තල්ලු කරන එවැනි පොරොන්දු ආපසු කැරකෙන විට ඒවා දේශපාලන සුළි කුණාටු බවට පත්වෙන්නේ නිතැතිනි. එම කුණාටුවල බලපෑම් ගැන රටේ ජනතාවට හොඳ අවබෝධයක් ද තිබෙන බවත් මෙහිදී සඳහන් කළ යුතුය.

ගතවූ දශක හත තිස්සේම මේ රටේ දේශපාලන නායකයන් මැතිවරණවලදී ලබාදුන් පොරොන්දු එකතු කර පොතක් මුද්‍රණය කළොත් එය සුරංගනා කතාවක් ද ලොකුම බොරු ඇතුළත් ග්‍රන්ථයක් ද එසේත් නැත්නම් කෙටිම කාලයක් තුළදී මුළු රටක්ම අමන්දානන්දයට පත් කළ රසවත් ප්‍රබන්ධයක් ද යන්න සිතා ගැනීමට පවා අසීරු වනු ඇත. පසුගිය බොහොමයක් ජාතික මැතිවරණවලදී ද මෙවැනි ඉටුකළ නොහැකි බොරු පොරොන්දු ලබා දී තිබුණද පසුගිය අරගලය සමඟ බැඳුණු සිද්ධීන් මත පිහිටා ඒ තත්ත්වයට මේ අවස්ථාවේ දී හෝ විරාමයක් ලැබෙනු ඇතැයි යමකු තුළ කිසියම් හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් එය මේ වනවිට සුළඟේ ගසාගෙන ගොස් ඇති බව නිසැකය. ඇතැම් පොරොන්දු ඒ තරමට බොරුය. අවිනිශ්චිතය. වචන ගොඩක් පමණි.
අපේ රට දැන් පවතින්නේ ආර්ථික අගාධයක බව නොදන්නා කෙනකු නැත. ඇත්ත වශයෙන්ම රටේ පවතින ප්‍රධානම ගැටලුව ද ආර්ථිකයයි. පසුගිය දෙවසර තුළ ඇතිවූ තාවකාලික ස්ථාවර බව පසෙකට දැම්මොත් තවමත් රටේ පවතින්නේ ආසියාවේ වඩාත්ම නොදියුණු ආර්ථිකයක් බව යථාර්ථයයි. එසේ නොවුණා නම් රටේ පාස්පෝට් එකක් ගන්නත් මේ තරම් කට්ටක් කන්න සිදුවන්නේ නැත. උගත් තරුණ පරපුර රට දමා නාඳුනන රටවලට කුමක් හෝ රැකියාවක් කිරීම සඳහා පැන ගැනීමට උත්සාහ දරන්නේත් නැත. මහ පොළොවේ යථාර්ථය එයයි. පොරොන්දු තිබිය යුත්තේ මේ යථාර්ථය සමඟ ගැලපෙන අයුරිනි. අර්බුදයට මුහුණ නුදුන් කිසිදු ජන කොට්ඨාසයක් මෙරට නැත. ඊළඟට බලය ලබාගැනීමට අපේක්ෂාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින සියලු අපේක්ෂකයන් මේ ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

මේ රටේ ඡන්දදායකයන් සිහින ලෝකවලට ගෙන යාමට මෙවර නම් පහසු නොවනු ඇත. කිසියම් විනිවිදභාවයකින් ජනතාව හමුවේ පොරොන්දු ලබාදීමට ජනාධිපති අපේක්ෂකයන් තුළ පෙළඹීමක් තිබිය යුතුය. ඉර, හඳ, තාරකා පමණක් නොව දිව්‍යලෝක පවා ලබාදීමට පොරොන්දු වෙනවාට වඩා රට වැටී තිබෙන ආර්ථික මඩ ගොහොරුවෙන් ගොඩගැනීමට හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම යුගයේ අවශ්‍යතාව බව සියලු අපේක්ෂකයන් සිහි තබාගත යුතුය.

 

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00