2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

රට ඇන්දූ පොරොන්දු

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ නැත්නම් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවලට දිගු ඉතිහාසයක් තිබේ. ඒ ඉතිහාසය බොහෝ ඈතට දිව ගියත් ලංකාවට නම් ඇත්තේ වසර 76ක පමණ අතීතයක් පමණි. ලංකාවේ ද්විපාර්ශ්වික මැතිවරණ පටන් ගත්තේ නිදහස ලැබීමෙන් පසුවය.

මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ආරම්භ වූයේ එංගලන්තයේ බවද සඳහන් වේ. මේ වසරේ හදිසියේම එංගලන්තයේ ද මහ මැතිවරණයක් පැවැත්වුණි. හිටපු අගමැති රීෂි සුනක් තමන්ගේ ජනප්‍රිය බව පිරිහෙමින් පැවැති බව අවබෝධ වීමත් සමඟ ඉක්මන් මැතිවරණයකට යාමට තීන්දුව ගත්තේ තමා නැත්නම් කොන්සර්වැටිව් පක්ෂයට අලුත් නායකයකු පත් කරගෙන ඉදිරියට යාමට මග සැලැස්වීම සඳහාය. එංගලන්තයේ සම්ප්‍රදාය අනුව අගමැතිවරයාට තනතුර අහිමි වුණොත් ඔහු පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වෙයි. ලිඛිත ව්‍යවස්ථාවක් නැති එංගලන්තය එම සම්ප්‍රදායන් නොබිඳී පවත්වාගෙන ගියත් එරටේ දේශපාලනය ගැන මහ ඉහළින් කතා කරන ආසියාවේ බොහොමයක් නායකයන් නම් කොතරම් පැරදුණත් දේශපාලනයේ දරණ තනතුරුවලින් ඉවත් වෙන්නේ නැත.

එංගලන්තයේ ජූලි 04 වැනිදා පැවැත්වූ හදිසි මැතිවරණයේ දී ප්‍රධාන වශයෙන් සටන් වැදුණේ පාලක කොන්සර්වැටිව් පක්ෂයත් විපක්ෂයේ ලේබර් පක්ෂයත්ය. මේ පක්ෂ දෙකම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කල් තබාම ලබා දී තිබුණි. පාලක කොන්සර්වැටිව් පක්ෂය ‘‘සංක්‍රමණිකයන් අඩු කිරීමට, බදු අඩු කිරීමට සහ විශ්‍රාම වැටුප් ලබන්නන්ට රැකවරණ ලබා දීමට’’ පොරොන්දු විය. විපක්ෂයේ සිටි ලේබර් පක්ෂය බදු වැඩි කිරීමට, පෞද්ගලික පාසල් අධ්‍යාපනයට වැට් ගැසීමට, තෙල් සහ ගෑස් ව්‍යාපාරිකයන්ට තිබූ බදු ජාලය පුළුල් කිරීමට සහ එම ආදායමෙන් ගුරුවරුන්ට සහ සාත්තු සේවයට වැටුප් වැඩි කිරීමට පොරොන්දු විය.

එංගලන්තයේ ජනතාවගේ තේරීම ලේබර් පක්ෂය විය. ඒ නිසා වසර 14ක් එකදිගට විපක්ෂයේ සිටි ලේබර් පක්ෂයට විශිෂ්ට ජයක් ලැබුණු අතර තියර් ස්ටාමර් අගමැති විය. එංගලන්තයේ එහෙම වුණාට ලංකාවේත් එහෙම වෙයි කියලා හිතන එක නම් නිවැරදි නැත. ඇතැම් දේශපාලන විචාරකයන් කියා තිබුණේ එංගලන්තයේ සටන් වැදුණු පක්ෂ දෙකේම ප්‍රතිපත්ති ප්‍රකාශන රටේ ජනතාවගෙන් සම්පූර්ණයෙන් කියවා තිබුණේ ඉතා සුළු පිරිසක් බවය. ඇතැමුන් ඒ මැනිෆෙස්ටෝවල තිබුණේ මොනවා දැයි දැන සිටියේත් නැති බවද ප්‍රකාශ විය. බොහෝ දෙනකුට මතක තිබුණේ එම ප්‍රකාශන දෙකේ සංක්ෂිප්ත සටහනක් පමණක් බවද සඳහන්ය.

ලංකාවේ මැතිවරණ ප්‍රකාශ ගැන ද කිව යුත්තේ මේ ටිකමය. රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් මේ ප්‍රකාශන විස්තර වශයෙන් කියවන්නේ කලාතුරකිනි. මීට කලින් වතාවල පැවැති ජනාධිපතිවරණවලදී මැතිවරණ ප්‍රකාශවල තිබුණේ මොනවා දැයි කෙනකුගෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර බොහෝ විට ඉතා කෙටි විය හැකියි. එහෙත් මේ ප්‍රකාශනවලින් උපුටා ගන්නා ජනතාවගේ සිතට කා වදින පොරොන්දු කිහිපයක් මැතිවරණ කාලයේ දී ජනතාවගේ මතකයේ රැඳෙයි.

මැතිවරණ ප්‍රකාශවල අලුත් ප්‍රවේශයක් ඇතිවුණේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමත් සමඟිනි. ඊට කලින් පැවතුණේ මහ මැතිවරණ බැවින් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සමඟ තමන් ලබා දෙන පොරොන්දු ලියැවිල්ලක් අපේක්ෂකයෝ තම ආසනයට රැගෙන ගියහ. නමුත් ජනාධිපතිවරණයේ දී මුළු රටම ක්‍රියාත්මක වන්නේ තනි ආසනයක් වශයෙනි. මේ නිසා මන්ත්‍රීවරුන් තමන්ගේ ආසනයට ගෙන යන්නේ ද තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි. එහිදී එම ප්‍රතිපත්ති ප්‍රකාශය ආසන මට්ටමින් බෙදා දීම දිරිගැන්වීම සඳහා ඒ ඒ පක්ෂවල මන්ත්‍රීන් ඇතුළු නියෝජිතයන්ට වියදම් සඳහා මුදල් ආධාර ලබා දීම ද සිදුවෙයි. රූපවාහිනී මාධ්‍ය එතරම් පුළුල් නොවූ යුගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ බෙදා දීම ඉතාම වැදගත් වුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ පණිවුඩය ගමට ගෙන යාමට එය හොඳම ක්‍රමය වීම හේතුවෙනි. නමුත් ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් රූපවාහිනී මාධ්‍ය ද පුළුල් වී අන්තර්ජාලය ඉතා සක්‍රිය වී ඒ හරහා සමාජ මාධ්‍ය භූමිකාව මැතිවරණ ක්‍රමය ගිලගන්නා තත්ත්වයක් උදාවීම නිසා ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාව අතට පත් කිරීම පහසු විය. එය කොතරම් පහසු වී දැයි කිව්වොත් අන්තර්ජාලය හරහා මේ මැතිවරණ ප්‍රකාශ කියවා ගත හැකිය.

එහෙම තිබුණත් රටේ ඡන්දදායකයන් මේ මැතිවරණ ප්‍රකාශ කියවා බලා තමන් ඡන්දය ලබා දිය යුත්තේ කාටදැයි තීරණය කරන තත්ත්වයක් තිබෙනවාද යන්න නම් විවාදිතය. ජනතාවට බොහෝ දුරට මතකයේ රැඳෙන්නේ වේදිකාවල පට්ට ගසන සටන් පාඨ මට්ටමේ පොරොන්දු බව පැහැදිලිය. ජේ.ආර්. ගේ මැනිෆෙස්ටෝ එකෙන් ජනතාවට මතක තිබුණේ ධාන්‍ය රාත්තල් අටක් ලබා දීමත් ධර්මිෂ්ඨ සමාජයක් බිහි කරන බවට සහ ආර්ථිකය විවෘත කරන බවට දුන් පොරොන්දුවත් බව ඒ දවස්වල බොහෝ දෙනාගේ මතය විය. ඊළඟට රටේ ඇතිවූ උතුරේ යුදමය වාතාවරණය සහ දකුණේ ත්‍රස්තවාදය මැතිවරණ පොරොන්දු අතරට රිංගා ගත්තේය. මේ තත්ත්වය කොතරම් බැරෑරුම් වුණා දැයි කිව්වොත් පසු කලෙක ප්‍රධානම ඡන්ද පොරොන්දුව යුද්ධය නිම කිරීම බවට පත්වුණි. නමුත් ආර්. ප්‍රේමදාස 1988දී ඉතාම බිහිසුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් මැද පැවති ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා අපූරු පොරොන්දුවක් ලබා දුන්නේය.

රටේ දුප්පත් ජනතාව නගා සිටුවීම සඳහා දිළිඳු පවුලකට රුපියල් 2500ක් මාසිකව ලබා දෙන බවට වූ ඒ පොරොන්දුව හොඳට අල්ලලා ගියේය. ප්‍රේමදාස දිනුවේය. ජනසවියට ආරම්භක පදනම වැටුණේ ඒ පොරොන්දුවත් සමගිනි. ඒ වෙලාවේ මැතිවරණ ප්‍රකාශයක් රටේ බෙදුවා දැයි කියා කාටවත් මතක නොතිබිණි. මතකයේ රැඳුණේ දිළිඳු පවුලකට මාසිකව රුපියල් 2500ක් ලබා දෙන බවට වූ පොරොන්දුව පමණි.

ඊළඟට චන්ද්‍රිකා බලයට එන්නේත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයකට වඩා වේදිකාවේ පට්ට ගැසූ දූෂණය සහ භීෂණය තුරන් කරන බවට ලබාදුන් පොරොන්දුව හරහාය. එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ද පොරොන්දු විය. එසේම පාන් ගෙඩිය රුපියල් 3.50ට ලබා දෙන බවටත් පෙට්රල් මිල 40% කින් අඩු කරන බවටත් වූ ආර්ථික පොරොන්දුවක් ද තිබිණි. මේ අතුරින් පාන් ගෙඩිය රු. 3.50ට වසරක කාලයක් ලබා දුන්නත් පෙට්රල් මිල නම් ඒ කියන විදියට අඩු වුණේ නැත. විධායක ක්‍රමය අහෝසි කරන පොරොන්දුව අදටත් ඉටු වී නැත. හැබැයි රටේ ජනතාව යළිත් වරක් චන්ද්‍රිකාට බලය දුන්හ. ඒ වෙලාවේ නම් යුද්ධය ලොකුම මාතෘකාව විය. 

චන්ද්‍රිකා දෙවැනි වර බලයට පැමිණ තිබූ මහ මැතිවරණයෙන් දිනුවේ විපක්ෂයේ සිටි යූ.එන්.පිය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණය. ඒ වෙලාවේ එයට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ දුන් පොරොන්දු අතරින් ජනතාවගේ මනසට කා වැදුණේ යුද්ධය වෙනුවට සාමය රැගෙන එන බවට ලබාදුන් පොරොන්දුවයි. කොළඹත් බෝම්බ පුපුරණ තත්ත්වයක් තුළ රටේ ජනතාවට ඕනෑ වී තිබුණේ කෙසේ හෝ යුද්ධය නවතා ගැනීමටයි. මේ නිසා චන්ද්‍රිකා ජනාධිපතිව සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතා ඒ මහ මැතිවරණය දිනුවේය. යුද්ධයට ද විරාමයක් ලැබිණි. රට ද වෙනස් විය. නමුත් වසර දෙකක දී ඒ ආණ්ඩුවට දෙදරා යාමට සිදුවුණේ යළිත් යුද්ධය ඇරඹෙන තැනට කටයුතු යෙදීම හේතුවෙනි.

මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයට ආවේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අලුත් ප්‍රවේශයක් ද ලබා දෙමිනි. ඔහුගේ ප්‍රකාශනය නම් කෙරුණේ ‘‘මහින්ද චින්තනය’’ නමිනි. එහි මොනවා තිබුණත් රටේ ජනතාවගේ සිතට වැදුණේ ‘‘මම මේ යුද්ධය ඉවර කරනවා’’ කියා මහින්ද ලබාදුන් පොරොන්දුවය. රනිල් ඒ වෙලාවේ කීවේ ජාත්‍යන්තර සහාය ලබාගෙන යුද්ධයට විසඳුමක් ලබා දෙන බවය. මහජනතාවගේ තේරීම මහින්ද රාජපක්ෂ විය.

මහින්ද දිනුවේය. යුද්ධයත් ඉවර කළේය. ධුර කාල දෙකක් ජනාධිපති වූ ඔහු ද හදිසියේම ජනාධිපතිවරණයක් කැඳවිය. නියමිත කාලයට වඩා වසර එකහමාරකට පමණ පෙර ඒ මැතිවරණය තැබුවේ ඔහුගේ පාලනය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ විරෝධයක් මතුවන බව පැහැදිලි වූ බැවිනි. යුද්ධය දිනා දුන් නායකයා යන ගෞරව නාමයෙන් මහින්ද ඇමතීමට රටේ ජනතාව දිගටම ප්‍රිය කළත් ඔහුගේ පාලනයට එහෙම තත්ත්වයක් ලබා දීමට ජනතාව සූදානම් නොවීය. මේ හේතුවෙන් ඊළඟට ආණ්ඩුව හැදුවේ මෛත්‍රීපාල සිරිසේන සමඟ එකතු වූ රනිල් වික්‍රමසිංහයි.

ඒ වෙලාවෙත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් විය. නමුත් ජනතාවගේ මතකයට ගියේ ‘‘යහපාලනයක් ගෙන එන බවට සහ හොරු අල්ලන බවට’’ වූ පොරොන්දුවයි. ආර්ථිකය පැත්තෙන් ලබා දුන්නේ ආකර්ශනීය පොරොන්දුවකි. රුපියල් 10,000කින් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම ඒ පොරොන්දුව විය. ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් ලියැවිල්ලට වඩා එදා ජනතාවට දැනුණේ වේදිකාවේ ලබා දුන් එකී පොරොන්දුය. ඇත්තටම ඒ වෙලාවේ මහින්දලාට දෙන්න ලොකු පොරොන්දුවක් තිබුණේත් නැත. ජනතාව මෛත්‍රීපාල - වික්‍රමසිංහ සන්ධානය දිනෙව්වෝය. නමුත් යහපාලනයට සහ හොරු ඇල්ලීමට වුණේ කුමක්දැයි වෙනම සොයා බැලිය යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනාධිපතිවරණයට ආවේ එකම පොරොන්දුවක් මතින් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඒ රටේ ජාතික ආරක්ෂාව රකින බවට ගෝඨාභය ලබාදුන් පොරොන්දුවයි. පාස්කු ප්‍රහාරය හේතුවෙන් කම්පනයට පත් වී උතුර දකුණ මාරු වී සිටි ජනතාව ගෝඨාභයගේ පොරොන්දුව හිස් මුදුනින් පිළිගත්හ. ඒ වෙලාවේ ගෝඨාභය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් දුන්නත් ඒක කියවූ ඡන්දදායකයන් නම් ඉන්න ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණි. සියලු දෙනාගේ සිතට වැදුණේ රටේ ජාතික ආරක්ෂාව වළපල්ලට දැමූ ආණ්ඩුව ගෙදර යවා ඒ වැඩේ කළ හැකි පුද්ගලයකු ගෙන ආ යුතු බවට වූ කතාවය. එම ජනාධිපතිවරණයේ දී රටේ ජනතාවට ආර්ථික බලාපොරොත්තුවක් නොතිබූ තරම්ය.

ඉතා ඉහළ ප්‍රතිශතයකින් ජනතාව ගෝඨාභය තෝරා ගත්තේ මැනිෆෙස්ටෝව කියවා නොව වේදිකාවේ දී ලබාදුන් ජාතික ආරක්ෂාව රකින බවට වූ පොරොන්දුව හේතුවෙනි. ඒත් ගෝඨාභය වැඩේ වරද්දා ගත්තේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නොවූ වැඩ ද කරන්න යාමෙනි. ඒකට එක් උදාහරණයක් වන්නේ රසායනික පොහොර තහනමයි. මේවායේ ප්‍රතිඵලය වූයේ වැඩි කල් නොයවාම ගෝඨාභය ඡන්දයක් නැතුවම ගෙදර යාමය. රනිල් වික්‍රමසිංහට ඒ හේතුවෙන් ජනාධිපති ධුරය හිමි විය.

ඉතිහාසයේ කිසිම පොරොන්දු සහිත ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැතුව ජනාධිපති වූ එකම ජනාධිපති වන්නේ රනිල්ය. මීට පෙර ඩී.බී. විජේතුංග ද අනුප්‍රාප්තික ජනාධිපති වූ නමුත් ඔහු එම ආණ්ඩුවේම අගමැතිවරයාව සිටි බැවින් ඔහුට ද මැනිෆෙස්ටෝවක් තිබුණි. නමුත් රනිල් ජනාධිපති ධුරයට ආවේ රට වැටී තිබූ ආර්ථිකය ස්ථාවර කරන බවට ප්‍රතිඥාවක් දෙමිනි. ඔහු තිබෙන තත්ත්වයෙන් රට යහපත් ප්‍රවේශයකට ගෙන ආවේය. මේ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබුණත් නැතත් රනිල්ට එක සටන් පාඨයක් ඉතුරු විය. “මම රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩ ගත්තා. ඉදිරියට රට ගෙනියන්න මා සමඟ එකතු වෙන්න” ඒ සටන් පාඨයයි.

මෙවර ජනාධිපතිවරණයට ලොකු මැනිෆෙස්ටෝ එකක් ඉදිරිපත් කර ඇත්තේ අනුර කුමාර දිසානායකයි. එහි පිටු 233කි. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයේ පිටු 68කි. සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශනයේ පිටු 28කි. මේ පාර ජනතාව ඡන්දය දෙන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා ද නැත්නම් වේදිකාවේ කතා කරන දේවල් අහලද කියන්න තවම හැකියාවක් නැත. ඉතිහාසයේ සිටම ජනාධිපතිවරණයට පෙර ප්‍රතිපත්තිය කියවා ඡන්දය භාවිත කළ බවක් පෙනෙන්නට නැත. කියවලා දෙනවාද අහලා දෙනවාද යන තීන්දුව ඇත්තේ ජනතාවගේ අතේය.

• ශශීන්ද්‍ර