2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ඡන්දදායකයාගේ යුතුකම් සහ වගකීම

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

ලබන සතියේ සෙනසුරාදා (21) මේ රටේ ජනතාව මීළඟ වසර 05 සඳහා ජනාධිපතිවරයකු තෝරා ගැනීමට ඡන්ද පොළට යනු ඇත. එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයකට අධික ඡන්දදායකයන් සංඛ්‍යාවක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර විදෙස්ගතව සිටින මිලියන දෙකකට ආසන්න ඡන්දදායකයන් පිරිසක් හැර සෙසු සියලු දෙනා ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂිතය.

මෙවර ජනාධිපතිවරණය වඩාත් සුවිශේෂී වන්නේ 2022 ජන අරගලයට පසුව පවත්වන ප්‍රථම මැතිවරණය වීමයි. එකී අරගලයට පසුව පැවැත්වීමට නියමිතව තිබුණේ කල් දැමූ පළාත් පාලන මැතිවරණය වුවද මතභේදකාරී අදහස් මැදින් එම මැතිවරණය යළිත් කල් දමනු ලැබීය. ඒ අනුව ජනාධිපතිවරණය අරගලයෙන් පසුව පවත්වන ප්‍රථම මැතිවරණය වශයෙන් ඉතිහාස ගතවනු ඇත.

එවැනි ඓතිහාසික තත්වයක් මෙවර ජනාධිපතිවරණය ලැබෙන්නේ පවතින දේශපාලන ක්‍රමයට දැඩි ලෙස විරෝධය දැක්වූ ජනතාවක් යළිත් වතාවක් තමන්ගේ ඡන්දය භාවිත කිරීමට ඉදිරිපත් වීම හේතුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ මොනම ගැටලුවකට වුවද විසඳුමක් සොයාගත යුතු වන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය ඔස්සේම පමණි. ඒ කෙරෙහි තබන විශ්වාසය ප්‍රකාශ වෙන්නේ ඡන්දය භාවිත කිරීමෙනි. රටේ පුරවැසියකු වශයෙන් ලොකුම වගකීමක් වන්නේ තමන් විශ්වාසය තබන දේශපාලන දර්ශනයට අනුව කටයුතු කරන අපේක්ෂකයාට ඡන්දය ලබා දීමයි. රටේ අනාගතය හැඩ ගැසෙන්නේ තමන් තෝරා ගන්නා අපේක්ෂකයාගේ හැඩරුව අනුව නොව කෙරුවාව අනුව බවද ඒ සමඟ සිතට ගත යුතුය.

මෙවර තැපැල් ඡන්දය භාවිත කර තිබූ ප්‍රතිශතය අනුව ද පෙනී යන්නේ ලබන 21 වැනිදා ඡන්දය ලබා දෙන සංඛ්‍යාව ඉහළම අගයක් ගනු ඇති බවය. එහිදී මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඔවුන් තුළ නිසි අවබෝධයක් තිබීම ද අවශ්‍යය. ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් මූලික දැනුමක් හෝ ඇතුව ඡන්ද පොළට යාම වඩාත් උචිත වනු ඇත.

අවසන් වරට පැවති ජනාධිපතිවරණය සහ ඉන්පසුව ඇතිවූ තත්වය ද මේ අවස්ථාවේ දී සිහිපත් කිරීම ද අවශ්‍යය. එම මැතිවරණයේ දී කල් තබාම ජය ගන්නා අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත බවක් තිබිණි. ඒ අනුවම ගෝඨාභය රාජපක්ෂ මහතා විශාල ජයග්‍රහණයක් ලැබීය. එයින් ඔහු බලයට පත් කළ සියලු දෙනා ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ. රටේ ගැටලුවලට ක්‍රමානුකූලව හෝ විසඳුම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිත පාර්ලිමේන්තුවක් ද ඔහුට ලබාදීමට ජනතාව ක්‍රියා කළහ.

එහෙත් සියල්ල කනපිට හැරීමට ගත වූයේ වසර දෙකක් පමණි. කොවිඩ් වසංගතය ද හෙනහුරා ලැබීමක් විය. තමන් තුළ තිබූ බලාපොරොත්තු බිඳ වැටෙන බව දැකීමෙන් ඇසීමෙන් කලබලයට පත් වූ ජනතාව අතර ඇතිවූ නොසන්සුන්කම මහා අරගලයක් බවට පෙරළුණි. ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම කෙසේ වෙතත් එතෙක් භුක්ති විඳිමින් සිටි ආහාර, තෙල් සහ විදුලිය පවා ජනතාවට අහිමි විය. අපේ රටට දෙවැනි අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ලැබීම එම සිද්ධීන්වල අවසන් ප්‍රතිඵලය විය.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට සූදානම් වන සියලු දෙනා තුළ එකී සිද්ධීන් සමුදාය පිළිබඳ හොඳින් මතක තිබිය යුතුය. අපේ රට තවමත් සිටින්නේ බරපතළ ආර්ථික අර්බුදයක සීමාවේ බව අමතක කළ යුතු නැත. කවුරුන් ජනාධිපති ධුරයට පත්වුණත් ඔහුට පැවරෙන රාජකාරිය ඉතා සංකීර්ණ, අවුල් සහගත එකක් වීම වැළැක්විය නොහැක. එම අර්බුදකාරී අවස්ථාවට මුහුණ දීමට බලයට පත්වෙන ජනාධිපතිවරයාට සිදුවනු ඇත.

ජනතාවගේ යුතුකම සහ වගකීම වන්නේ තමන්ගේ ඡන්ද බලය ක්‍රියාවට නැංවීමයි. ඡන්ද පොළට නොයා සිටීම කිසිදු ගැටලුවකට විසඳුමක් නොවේ. සියලු ඡන්දදායකයන්ට අප කියන්නේ එම යුතුකම සහ වගකීම ඉටු කරන ලෙසයි.