2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

පක්ෂයක් ලියාපදිංචි කිරීමත් හොඳ ව්‍යාපාරයක්

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

විධායක අධ්‍යක්ෂ පැෆරල් සංවිධානය රෝහණ හෙට්ටිආරච්චි

  • පොලිස්පති කෙනෙක් නැතුවත් පොලිසිය හොඳට වැඩ කරනවා
  • රටටම පත්වන ජනාධිපතිට කාගෙත් ඡන්ද වැදගත්
  • පක්ෂ විකිණීමත් මිලට ගැනීමත් වැරදියි
  • සමහර අපේක්ෂකයන්ට කාර්යාලයක්වත් නැහැ
  • ඡන්ද කඩනවද නැද්ද කියල තීන්දු කරන්නෙ ජනතාව
  • උතුරේ ජනතාව ස්වාධීන වෙලා වගේ පේනවා
  • දැන් පක්ෂවල කාඩර්වරු නැහැ

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් හැටියට ඔබලට අනුව කොහොමද ජනතාවගේ කැමැත්ත ජනාධිපතිවරණය සඳහා?

මෙවර මැතිවරණය සඳහා මෙරට ඡන්දදායකයෝ එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කරනවා, ඡන්ද මධ්‍යස්ථාන 13400 ක වගේ. අපිට එහිදී නිරීක්ෂණය වුණු දේ තමයි ඡන්දදායකයන් ඉතාම උනන්දුවකින් කැමැත්තකින් ඡන්දය භාවිත කරන්න ඉන්න බව. අපි බලාපොරොත්තු වෙනවා නිල වශයෙන් ඡන්දදායකයෝ 80% කට අධික පිරිසක් ඡන්දය භාවිත කරයි කියලා. මොකද අපේ රටේ ලියාපදිංචි ඡන්දදායකයන්ට අනුපාතිකව. ඒත් අපේ රටේ මිලියන දෙකක් විතර විදෙස් ගතවෙලා ඉන්නවා. අන්න ඒ අයත් ඉන්නවා නම් ඡන්දය භාවිත කරනවා. ඒ නිසා ඇත්තටම මේ පොළොවේ ඉන්න පිරිසගෙන් 95% ක් සාමාන්‍යයෙන් ඡන්දය භාවිත කරයි.

ඉතිහාසයේ කොහොමද?

ඉතිහාසයේ සාමාන්‍යයෙන් 75% ත් 85% ත් අතර සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා කියලා අපි දන්නවා. ඒත් මේ පාර ඒක වැඩි වෙයි කියලා අපි හිතනවා. මොකද ඒ තියෙන උනන්දුව නිසා.

ප්‍රධාන අපේක්ෂකයන්ගේ එක් අරමුණක් තමයි උතුරු නැගෙනහිර ඡන්දය ලබාගැනීම. කොහොමද උතුරු නැගෙනහිර ජනතාවගේ කැමැත්ත මෙවර ඡන්දයෙදී?

රටේ ජනාධිපතිවරයා පත්වෙන්නේ මුළු රටටම. ඒ නිසා සියලු දෙනාගේ සියලු දිස්ත්‍රික්කවල ඡන්දය වැදගත් වෙනවා. සමහර දිස්ත්‍රික්ක තියෙනවා ඉතාම තීරණාත්මක ඡන්ද. කොහොම වුණත් 50% ‍යි එකක් ලබාගත්තොත් ඒ ඡන්දය ජයග්‍රහණය කරනවා. කෙසේ වෙතත් උතුරේ මේ වෙද්දි වෙන අපේක්ෂකයෙක් තරග කරනවා. ඒ අපේක්ෂකයට ඡන්දය ප්‍රකාශ කරන්න කියලා උතුරේ ඇතැම් පක්ෂ සහ දේශපාලනඥයෝ දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම උතුරේ ඡන්දය භාවිත නොකරන ලෙසට කැම්පේන් එකකුත් ගියා. ඒ ගැනත් කියන්න පුළුවන් අපිට. ඒ වගේම උතුරේ දේශපාලන පක්ෂ ප්‍රධාන පක්ෂ අතර බෙදිලා ගිහිල්ලත් තියෙනවා.

ඒ ගැන ඔබලගේ කියැවීම මොන වගේද?

මීට අවුරුදු පහකට දහයකට කලින් උතුරේ ජනතාවගේ ඡන්දය උතුරේ දේශපාලනඥයන් විසින් තීන්දු කරන තැනක තිබුණේ. මේ වෙද්දි ඒ පක්ෂයක් හෝ දේශපාලනඥයන් තීන්දු කළ උතුරේ ජනතාවගේ ඡන්දය ස්වාධීන තීරණයක් බවට පත්වෙලා. යම් ප්‍රතිශතයක් පරණ දේ කරන්න පුළුවන්.

ඒක ප්‍රජාතන්ත්‍රවදයේ හොඳ ලක්ෂණයක් නේද?

ඒක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. උතුරේ විතරක් නෙමේ, දකුණෙත් ඒ තත්ත්වය ඇවිල්ලා. ඒ දවස්වල ඇතැම් පක්ෂ හෝ දේශපාලනඥයෝ තමා තීන්දු කළේ. ඒ අයට වෙනම කණ්ඩායම් හිටියේ. ඒත් දැන් වෙද්දි ඒ සියල්ල කැඩිලා බිඳිලා ගිහින්. කොහොම වුණත් දැන් ඉස්සර වගේ කුලය, ජාතිය, කණ්ඩායම වශයෙන් ඡන්දදායකයන් අඩුයි. නැත්තෙත් නෑ. ඒ වෙනස ඇති වෙන එක හොඳ දෙයක්.

එක්තරා අපේක්ෂකයෙක් කිව්වා, සාමාන්‍යයෙන් කඳවුරු දෙකක් තමා ජනාධිපතිවරණයේදී තියෙන්න ඕනෑ. ඊට වඩා වැඩි වෙනවා නම් ඒක විපක්ෂයේ දුර්වලතාවයක් කියලා?

ඉතිහාසයේ ඉඳලා කඳවුරු දෙකක් අතර තමා තරගය තිබුණේ. ගියපාර ගත්තත් 35 දෙනෙක් හිටියා තරගයේ. හැබැයි ඒ 35න් 33දෙනෙක්ම ලබාගත්තේ 2% කට අඩු ඡන්ද සංඛ්‍යාවක්. කඳවුරු ප්‍රමාණය වැඩිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල් වීමක්. ඒත් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අස්සෙන් වෙන දෙයක්. හැබැයි ජයග්‍රහණය කරන්න බැරි වුණත් දේශපාලන මතවාදයක් සමාජගත කරන්න අරමුණු කරන්න කැමති අපේක්ෂකයෝ ඉන්නවා. ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගත්ත පිරිසකුත් ඉන්නවා. තවත් අය හුදු පෞද්ගලික ජනප්‍රියතාවය සහ පෞද්ගලික ප්‍රතිලාභ අරමුණෙන් ඉදිරිපත් වෙනවා.

ඡන්ද කඩන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා කතා යනවා?

එහෙම ආරංචි තියෙනවා. ඒත් ඒක කියන්න සාක්ෂි නෑ. තාක්ෂණිකව යම් යම් දේවල් කියන්න පුළුවන්. ඒත් ඡන්දය කඩනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාව. අපි පහුගිය කාලයේ දැක්කා එක අපේක්ෂකයකුගේ නමින් හෝ ළඟින් යන නමක් දානවා. අපිට ඒකට විරුද්ධව වෙන්න බෑ. ඒත් නිරීක්ෂණය අනුව පේනවා එහෙම දේවල්.

දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා එහෙම කරන්න පුළුවන්ද? ඕනෑ ගාණකට ඡන්දය ඉල්ලන්න පුළුවන්ද? ඒක විහිළුවක් වෙන්නේ නැද්ද?

එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණක් මේක. හැබැයි තව පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවභාවිත කිරීමක්. මේ පාර වුණත් 10, 15 ක් ඉන්නවා, යම් දේශපාලන අරමුණු ඇතිව ඉදිරිපත් වුණු අය. හැබැයි 50% ක් විතර ඉන්නවා, අරමුණක් නැතිව ඉන්න අය. ඒ අය අපට නිරීක්ෂණය වෙලා තියෙනවා. සමහර අයට කාර්යාලයක් නෑ. ඡන්ද පොළට නියෝජිතයෝ නෑ. ඡන්දයක් නැති කාලෙක ක්‍රියාකාරිත්වයක් නෑ. පළාත් සභා පළාත් පාලන නියෝජනයක් නෑ. ඒත් ජනාධිපතිවරණයට පමණක් ඉදිරිපත් වෙනවා. මහජන පදනමක් නැතුව තරග කරනවා. මේ අය පෞද්ගලික අරමුණු අරභයා කටයුතු කරනවා.

සමහර අපේක්ෂකයෝ තව අපේක්ෂකයන්ට උදව් කරනවා. මොකක්ද ඒ ප්‍රජාතන්ත්‍රවාදය?

ප්‍රජාතන්ත්‍රවාදය අනුවත් වැරදියි. මැතිවරණ නීතිය අනුවත් වැරදියි. මැතිවරණ කොමිසම දැනුම් දීලා තියෙනවා, වෙන අපේක්ෂකයකුට සහාය දක්වන්න බෑ කියලා. සමහර අය පක්ෂයේ ලාංඡනය දන්නේ නෑ. මේ පාර නම් එහෙම නෑ. මේක දැන් හොඳ ව්‍යාපාරයක්. පක්ෂයක් ලියාපදිංචි කිරීමම හොඳ ව්‍යාපාරයක්.

දැන් සමහර පක්ෂවල සාමාජිකයෝ කෙළින්ම කියනවා, පක්ෂය කෝටි ගාණකට ඉල්ලුවා කියලා. මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙහෙම විකුණන්න පුළුවන්ද?

පැහැදිලිවම බෑ. ඒත් ඒක ඔප්පු කරගන්න ලේසි නෑ. මේවා සම්බන්ධයෙන් නඩුවක් ගියොත් හැරෙන්න සාක්ෂි හොයාගන්න අමාරුයි. මේවා කරන්නේ රහසිගතව. මැතිවරණය ළං වෙනකොට මිළ ඉහළ යනවා. මේක මුදල් විතරක් නෙමේ, මන්ත්‍රීකම දෙනවා කියලත් කියනවා. ඒ නිසා දේශපාලන පක්ෂයක් විකිණීමත් වැරදියි. මිලදී ගැනීමත් වැරදියි.

මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල තත්ත්වය කොහොමද?

මෙවර ප්‍රචණ්ඩත්වය අවම මට්ටමක තියෙන්නේ. ඇත්තටම ඒ ගැන සතුටු වෙන්න ඕනෑ.

මේක එහෙම වෙන්න වයස ප්‍රශ්නයක්ද? නැත්නම් මිනිස්සු තේරුම් අරන්ද ඉන්නේ?

මේ දෙකම හේතු වෙනවා. අනික ඉස්සර වගේ දේශපාලන පක්ෂවලට දැන් කාඩර්වරු නෑ. පක්ෂය වෙනුවෙන් දිවි දෙන්න පුළුවන් මිනිස්සු දැන් නෑ. පක්ෂය සහ පාලකයෝ එහෙම නෙමේ කියලා තේරුම් අරන් ඉන්නවා. ඒ වගේම අපේ දැනුවත් කිරීමත් අදාළ වෙනවා. මේකට ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි මැතිවරණ ප්‍රචාරණයේ වෙනසක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර කටවුට් පෝස්ටර් වෙනුවට දැන් වෙනත් වේදිකාවල් භාවිත කරනවා. පරණ ප්‍රචාරණ කටයුතු කරද්දි යම් යම් ගැටුම් ඇති වුණා. ඒත් ඒ ප්‍රචාරණය වෙනස් වීම නිසා ගැටුම් අවම වුණා.

ඒ කියන්නේ සමාජ මාධ්‍ය නිසා ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවෙලා කියලද?

පැහැදිලිවම. ඒකත් බලපානවා. තවත් බලපෑම් තියෙනවා. ඒ නිසා අර ශාරීරික හානි අඩුයි. හැබැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඒ ඒ මාධ්‍ය ඇතුළෙත් සිද්ධ වෙනවා. සමාජ මාධ්‍ය දියුණු වීම නිසා වෛරී ප්‍රකාශන ඉවත් වෙනවා. ඒත් අඩුවීමක් තියෙනවා.


අපි දන්නවා ඡන්දයකදී පාතාලය වගේ කණ්ඩායම් ළං වෙනවා. මෙවර මැතිවරණයේ එහෙම කණ්ඩායම් හිටියද?

ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මේ ඡන්දයේ දී එහෙම පාතාලය සම්බන්ධ වුණා කියලා තොරතුරු ඇවිත් නෑ. ගැටුම් ඇතිවෙලා පහරදීමේ සිදුවීම් වාර්තා වුණා. ඒත් පාතාලය හෝ ගිනි අවි භාවිත කිරීමක් ආරංචි නෑ. එක යුගයක පාතාලයෙන් තමයි ඡන්දය මෙහෙයවුවේ. ඒ නිසා මෙවර නැතිවීම ගැන දේශපාලන පක්ෂවලටත් ස්තූති කරන්න ඕනෑ. විශේෂයෙන් මේ ගැන සඳහන් කරන්න අවශ්‍ය නෑ. ඒත් දේශපාලනයට පාතාලය සම්බන්ධ වුණා. ඒ නිසයි මේක ගැන විශේෂයෙන්ම කියන්නේ. දේශපාලන සංස්කෘතිය පරිවර්තනය වෙමින් තියෙන්නේ.

මැතිවරණයකදී පොලිසියට ඇතැම් අවස්ථාවල පක්ෂග්‍රාහී කියලා චෝදනා එල්ල වෙනවා. මෙවර මොකද පොලිසියේ ක්‍රියාකාරීත්වය?

පොලිසියේ ක්‍රියාකාරිත්වය ඉතාම සාධනීයයි. අපිට තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි පොලිස්පති නැති නිසා මැතිවරණය තියාගන්න බැරි වෙයිද කියන එක. ඒත් පොලිසිය ඔප්පු කරලා තියෙනවා, පොලිස්පති කෙනෙක් නැතුව කාර්යක්ෂමව ස්වාධීනව ඉතා හොඳින් කටයුතු කරනවා කියලා. මැතිවරණය භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ඉතාම හොඳට කටයුතු කරනවා. ඒ වගේම වැඩබලන (පරිපාලන) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්නවද දන්නේ නෑ. මොකද ඔහු ඉතාම ස්වාධීනව කටයුතු කරන කෙනෙක්. ඔහු ඉතිහාසයේ ඉඳලා එහෙමයි. දේශපාලනීකරණය වෙලා නෑ ඔහු. මොකද ගොඩක් අය දේශපාලනඥයෝ එක්ක හිටියේ ඉතිහාසයේ පටන්. ඒත් මොහු අවංක නිලධාරියෙක්. ඒකෙන් කියන්නේ නෑ, සියලුම පොලිස් නිලධාරීන් හොඳයි කියලා. ඇතැම් අය සම්බන්ධයෙන් පොලිස් කොමිසමට අපි පැමිණිලි කරලා තියෙනවා. මේකට එක හේතුවකුත් තියෙනවා. ඒකට හේතුව මේ මැතිවරණය බල හුවමාරුවක් වෙනවා පේනවා. ඒ නිසා මේ බල හුවමාරුව නිසා අවිනිශ්චිත තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා.

එතකොට රාජ්‍ය සේවය සහ රාජ්‍ය දේපළ භාවිතය මොන වගේද?

මම මැතිවරණ නිරීක්ෂණයට ඇවිල්ලා අවුරුදු 20 ක් වෙනවා. ඒත් තවමත් මේ රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය තවමත් සිදු වෙනවා. සාපේක්ෂව අඩුවක් තියෙනවා. ඒත් මේ ආණ්ඩුවත් යම් ආකාරයක රාජ්‍ය දේපළ, බල දේපළ යොදාගෙන තියෙනවා. මම වැඩිය කියන්නේ නෑ. මොකද අපේක්ෂකයකුට අගතියක් වෙන්න පුළුවන් නිසා.

මැතිවරණයෙන් පසු පශ්චාත් සමය කොහොමද ඡන්දදායකයා ගෙවිය යුත්තේ?    

මේ මැතිවරණයෙන් පස්සේ කවුරු හෝ ජයග්‍රහණය කරන්න පුළුවන් මේ 39 දෙනාගෙන්. අපි තෝරන්නේ මේ රටේ ජනාධිපති විධායකය. මුල් පුරවැසියගේ ගෞරවය රැකෙන්නේ සාමකාමීව ඒ ජය සැමරුවොත් විතරයි.

• ගයාන් ගාල්ලගේ