2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

පුංචි පහේ ශිෂ්‍යත්ව යුද්ධය!

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

පහේ ශිෂ්‍යත්වයට මාපියන්ගේ සූදානම විභාගයකට වඩා යුද්ධයකට වන සූදානමක් තරමට බැරෑරුම් වෙමින් තිබේ. මෙවර ප්‍රශ්න කලින් පිටවීම මහ සටනක් වීමෙන් එය පැහැදිලි වෙයි. විභාගයේ ප්‍රශ්න කලින් පිටවීම බරපතළ සිද්ධියක් බව සැබෑය. එයින් දහස් ගණනක් සිසුන්ට විශාල අගතියක් සිදුවිය හැකි බවත් තේරුම් ගත හැක. නමුත් මේ ගැටලුව විසඳා ගැනීමට මාපියන් සංවිධානය වී පාර පුරා පෙළපාළි යමින් සටන් පාඨ වලින් සන්නද්ධව සටනට බැසීම පෙන්වන්නේ සිසුන්ගේ පහේ ශිෂ්‍යත්වය මාපියන් පුංචි පහේ යුද්ධයක් බවට පෙරළාගෙන ඇති බවකි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මාපියන් සටන් කිරීම වරදක් නුවූවද ප්‍රශ්න කිහිපයක් හේතුවෙන් මුළු ප්‍රශ්න පත්‍රයම අවලංගු කළ යුතු බවට හඬ නැගීම පෙන්වන්නේ පහේ ශිෂ්‍යත්වය මාපියන්ට යුද්ධයක් වී ඇති බව නොවේද?

විභාගයට පෙර ප්‍රශ්න කිහිපයක් හෝ මුළු ප්‍රශ්න පත්‍රයම හෝ ලීක් කර තිබේ නම් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැඩි පියවර ගැනීම අවශ්‍යය. මීට පෙර ද පහේ ශිෂ්‍යත්වයේ පමණක් නොව අපොස (සා.පෙ.) සහ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ද කලින් ලීක් කළ බවට චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් මාපියන් පමණක් නොව අමාත්‍යාංශය ද දැඩිව අවධානය යොමුකළ අතර අවශ්‍ය වූ විට ලීක් වූ ප්‍රශ්න පත්‍රය වෙනුවට අලුතින් ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය පැවැත්වීමට ද සිදුවිය. පසුගිය වසරේ උසස් පෙළ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය මුහුණ දුන්නේ ද එම ඉරණමටයි.

තරගකාරී විභාගයක ප්‍රශ්න පත්‍ර ලීක් වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිරූපයට එකතු කරන්නේ කළු පැල්ලමකි. එය ආණ්ඩුවේ බල පරාක්‍රමයට ද වදින පහරකි. මේ වැරැද්ද නිවැරදි කිරීමට නම් වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදීම සිදුවිය යුතුය. අමාත්‍යාංශ මට්ටමින් විනය පියවර ගැනීමට අමතරව විභාග වංචා චෝදනා යටතේ වැරදිකරුවන් උසාවිය හමුවට පමුණුවා නීතියෙන් දඬුවම් ලබාදීම ද අවශ්‍යය. මාපියන් පාරට බැස කෑගසන තත්වයට වැටෙන්නේ වැරදිකරුවන්ට එරෙහිව දැඩිව ක්‍රියා කිරීමට අමාත්‍යාංශය පැකිලීම හේතුවෙනි. ප්‍රශ්න පත්‍ර ලීක් කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමකින් තොරව නැතහොත් ඔවුන්ට සුළු දඬුවමක් ලබා දී ඔවුන් බේරා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇතැම් උසස් නිලධාරීන් ක්‍රියා කරන බවට දැඩි සැකයක් මාපියන් තුළ පවතී. මේ සැකය දුරු කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුව අතේ බවද කිව යුතුය.

පහේ ශිෂ්‍යත්වය තම දරුවාගේ අධ්‍යාපනයේ ලොකුම ගැලවුම්කරු වශයෙන් බොහොමයක් මාපියන් සලකන බව පැහැදිලිය. තම දරුවාට ජනප්‍රිය වශයෙන් ලේබල් වැදී ඇති ලොකු විදුහලකට ඇතුළු කර අධ්‍යාපනය ලබාදීමට තිබෙන එකම අවස්ථාව පහේ ශිෂ්‍යත්වය වශයෙන් මාපියන් තුළ මුල් බැසගෙන තිබෙන විශ්වාසය මේ බොහොමයක් ගැටලුවලට හේතු වී තිබේ. නමුත් අඩු පහසුකම් සහිත විදුහලක අධ්‍යාපනය ලැබීම දරුවකුගේ අනාගතයට සිදු කරන බලපෑම ඉතාම අවම බව යථාර්ථයයි. ඇතැම් විට පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ලබා උසස් පාසලකට ඇතුළු වී අධ්‍යාපනය හදාරණ සිසුවකුට වඩා පහේ ශිෂ්‍යත්වය සාමාන්‍ය මට්ටමින් සමත් වී එම විදුහලේම අධ්‍යාපනය ලබන සිසුන් උසස් විදුහලට ගිය සිසුන්ට වඩා ඉහළ මට්ටමින් උසස් පෙළ විභාගය සමත් වී ඇති බවට සාක්ෂි බොහෝ තිබේ. ඒවා එකින් එක ගෙනහැර දැක්වීම එම සිසු දරුවන්ට සිදු කරන අසාධාරණයකි. නමුත් බොහොමයක් මාපියෝ මේ යථාර්ථය පිළිගැනීමට මැලි වෙති. එසේ වෙමින් ශිෂ්‍යත්ව විභාගයෙන් අඩු ලකුණු ලබාගත් තම දරුවන්ට දැඩිව දඬුවම් ලබාදෙන මාපියෝ ද සිටිති. පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසු දරුවන්ට සිදු කරන ලොකුම හානිය එය බව ඇතැම් මාපියන් වටහා ගන්නා විට හානිය සිදු වී හමාරය. පහේ ශිෂ්‍යත්වය විභාගයක් නොව යුද්ධයක් බවට පෙරළා ගන්නේ එවැනි ආකල්ප සහිත මාපියන් බව නොරහසකි.

එසේම පහේ ශිෂ්‍යත්වය තමන්ගේ බඩගෝස්තරය සොයා ගැනීමේ මාර්ගයක් හැටියට යොදවා ගන්නා ගුරුවරු පිරිසක් ද රටේ වෙසෙති. ඔවුන් තමන්ගේ අතිරේක පන්තිවලට මුදල් ගෙවා සහභාගිවෙන දරුවන්ට දක්වන්නේ විශේෂ සැලකිල්ලකි. තමන්ගේ පන්තිවලට දරුවන් එවිය යුතු බවට මාපියන්ට බල කරන ගුරුවරුන් පිළිබඳව ද අමාත්‍යාංශය සොයා බැලිය යුතුය. ඇතැම් ගුරුවරුන් පහේ ශිෂ්‍යත්වයට සූදානම් වෙන දරුවන්ට පාසල් කාලය තුළ දී නිසි පරිදි උගන්වන්නේ නැතිව අතිරේක පන්තිවලට එන ළමුන්ට පමණක් නියම පාඩම් කියා දෙන බවට ද පිළිතුරු සැපයීමේ විවිධ උපක්‍රම කියා දෙන බවට ද චෝදනා එල්ල වෙන බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.

ප්‍රශ්න පත්‍ර ලීක් වීම මුළුමනින්ම නවත්වා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය වහාම ප්‍රමුඛත්වය ලබාදීම අවශ්‍යය. එසේම ලීක් වූ ප්‍රශ්න කිහිපයක් වෙනුවට මුළු විභාගයම යළි පැවැත්වීමට බල කෙරෙන මාපියන් ද එමගින් කලින් විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට සිදුවන අසාධාරණය පිළිබඳ සැලකිලිමත් වීමත් අවශ්‍යය.

 

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00