2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

මාලිමාවට දුන්න අය දැන් හිතනවා ඇයි දුන්නෙ කියලා

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

හේෂා විතානගේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක - සමගි ජනබලවේගය

  • ආණ්ඩුව ජනතාව රැවැට්ටුවොත් අපි ඒකට විරුද්ධ වෙනවා
  • අනුර කුමාර ජනපති එක්ක වැඩ කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ අපි එක්ක
  • වැඩ නොකළ – හොරා කාපු කට්ටියකට දැන් දේශපාලනය එපා වෙලා

අපි දන්නවා ජනාධිපතිවරණයේදී ඔබ කණ්ඩායම පරාජයට පත් වුණා. දැන් මහ මැතිවරණය. මේ මහ මැතිවරණය ගැන සමගි ජනබලවේගයට තියෙන විශ්වාසය මොන වගේද?

අපිට වගේම ජනතාවට විශ්වාසයක් තියෙනවා. මොකද පහුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්දවලින් 57% කට ආසන්න සංඛ්‍යාවක් විරුද්ධ කණ්ඩායමට ලැබුණේ. එතකොට විපක්ෂව විශාල බහුතරයක් තියෙද්දි තමයි ජනාධිපති පත් වුණේ. ඒ වගේම අපිට පේනවා, වර්තමාන ජනාධිපතිවරයා වේදිකාවේ කිව්ව දේවල් තියා ඒවා කරන්න උත්සාහ ගන්න බවක්වත් පේන්න නෑ. ඔවුන් පසුගිය ආණ්ඩුවලට කරපු චෝදනා දැන් දැන් ඔවුන් විසින්ම කරන්න අරන්.

ඒ මොනවද?

දැන් බලන්නකෝ ඉහළ ඉඳලා පහළ දක්වා කට්ටිය පත් කරද්දි පත් කරන්නේ පරණ සුපුරුදු විදිහට එයාලා දන්න, එයාලට වැඩ කළ අයව. බලන්න රාජපක්ෂ ජනාධිපතිවරයගේ ක්‍රියාදාමය. අපි හිතනවා අනුර කුමාර ජනාධිපතිතුමා ඒක තේරුම් අරගෙන ඇති කියලා. අපි සමගි ජනබලවේගය හැටියට ජනතාවට රටට ඒ දේවල් සද්භාවයෙන් කරනවද කියලා බලාගෙන ඉන්නවා. අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයත්, අපේ කණ්ඩායමත් ජනතාව වෙනුවෙන් යහපත් දෙයක් කරනවා නම් ඒ වෙනුවෙන් උදව් කරනවා.

ඒ කියන්නේ ආණ්ඩුවට විපක්ෂයෙන් සහය ලැබෙනවද?

නෑ.. ජනතාවට හොඳ දේවල් කරනවා නම් අපි උදව් කරනවා. හැබැයි ජනතාව රවට්ටනවා නම් අපි ඒකට විරුද්ධව කටයුතු කරනවා. රටට අනතුරක් වෙනවා නම්, ජනතාවට අනතුරක් වෙනවා නම්, ඊට විරුද්ධව කටයුතු කරන පළවෙනි කණ්ඩායම අපි.

දැන් මොනවා කිව්වත් ජාතික ජනබලවේගය දිනලා ඉවරනේ. සමගි ජනබලවේගයට ඉඩක් තියෙනවද?

ඇත්තටම මාලිමාවට ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ එක්ක තිබුණු තරහට. ඒ තරහා තමයි පිට කළේ. කොහොම වුණත් මේ මැතිවරණයෙදී ජනතාව දන්නවා, ජනතාවට දැනෙන විශ්වාස කණ්ඩායමක් පත්කර ගන්න. ඒ සඳහා වැඩ කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ අපි ගාව. ඒ නිසා අනුර කුමාර ජනාධිපතිවරයා එක්ක වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් හැටියට අපි ගැන විශ්වාසයක් තියෙනවා.

ජනාධිපති වෙන පක්ෂයක, අගමැති වෙන පක්ෂයක තියාගෙන වැඩ කරන්න පුළුවන්ද?මතකනේ යහපාලනය?

යහපාලනය කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයට රට ගැන උවමනාවක් තිබුණට මෛත්‍රීපාල මහත්තයට ඕනෑ වුණේ එයාගේ අනාගතය හදාගන්න. ඇත්තටම අනුර කුමාර දිසානායක මහත්තයා වේදිකාවල කිව්ව විදිහට පොහොසත් රටක් හදන්න කැමති නම් මේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න හොඳම කෙනා තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. එතුමට දූෂණ චෝදනා නෑ, විපක්ෂයේ ඉඳලා වැඩ කරපු කෙනෙක්. එහෙම නායකයො එකතු වුණා නම් මේ රට හදන්න පුළුවන්.

මේ පාර ගොඩක් පරණ දේශපාලනඥයෝ ඡන්දය ඉල්ලන එක අතහැරලා. මාලිමාව දිනුවම දේශපාලනය එපා වෙලාද?

මට හිතෙන්නේ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාවය දැන් ඉහළ මට්ටමක තියෙන්නේ. ඒක ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒ නිසා වැඩ කරපු නැති ජනතාවගේ මුදල් හොරා කාපු මිනිස්සු දේශපාලනය අතහරිමින් ඉන්නේ. ඒ වගේම අලු‍ත් පරම්පරාවට ඉඩ දෙන්න ඕනෑ. දැන් අලු‍ත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන්න ඕනෑ කාලයක්. ඒ නිසා මේක මාලිමාව නිසා ඇතිවුණු දෙයක් නෙමේ. ඒක ඔය අරගලයත් එක්ක ආපු දෙයක්. ජනතාව ඉල්ලු‍වේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. තාරුණ්‍යය කිව්ව දේ තමයි මේ  වෙමින් ඉන්නේ.

ඔබේ පක්ෂයෙත් ඉන්නවා ඉල්ලන්නේ නැති අය. ඒ අයත් අර උඩ කිව්ව ජාතියේ අයද?

අපේ පක්ෂය කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු ඉන්න පක්ෂයක්. ඒ අයටත් ඒක අදාළයි. තමන් වැරදි කරලා නම්, ජනතාව එක්ක හිටියේ නැත්නම්, ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම්, එහෙම ඉන්න එක තමයි හොඳම. අපේ පක්ෂයෙත් එහෙම තීන්දුවක් අරන් තියෙනවා නම් කවුරු හරි එහෙම කෙනෙක් වෙන්න ඕනෑ.

ඔබේ කණ්ඩායමට දමිතා අබේරත්නත් ඉන්නවනේ. කොහොමද කණ්ඩායමේ ශක්තිය?

දමිතා අබේරත්න මැතිනියව තෝරගෙන තිබුණේ නාමයෝජනා මණ්ඩලයෙන්. එතුමිය අපේ පක්ෂයට ජාතික වශයෙන් විශාල සහයක් ලබා දුන්නා. මම රත්නපුර දිස්ත්‍රික් නායකයා හැටියට එතුමිය රත්නපුර දිස්ත්‍රික්කයට තරග කළ යුතු නෑ කියලා තීරණයක හිටියා.

ඒ මොකද?

මොකද එතුමියට රත්නපුර දිස්ත්‍රික්කය තුළ දේශපාලන සම්බන්ධතාවයක් නැති නිසා.

එහෙම ඡන්ද පදනමක් නැති කෙනෙක් දැම්මේ කොහොමද?

ඡන්ද පදනමක් නැති කට්ටිය ඉල්ලනවා. දැන් රන්ජන් රාමනායක රත්නපුරෙන් ඉල්ලලා දිනුවේ. කලාකාරයන්ට එහෙම ඡන්ද දෙනවා අපේ රටේ. සමහර විට අපේ නාමයෝජනා මණ්ඩලයත් එහෙම හිතන්න ඇති. ඒත් රත්නපුරේ ජනතාව වෙනුවෙන් මම දිස්ත්‍රික් නායකයා හැටියට පැහැදිලි කිරීමක් කළා. ඒ පැහැදිලි කිරීම හරහා අපේ වෙනත් පළාත් පාලන  අපේක්ෂිකාවට ඒ අවස්ථාව ලබා දුන්නා.

එකට ජනාධිපතිවරණයේදී වැඩ කරපු පාඨලී චම්පික රණවකට කරපු අසාධාරණය මොකක්ද?  

එතුමා අපිත් එක්ක හිටියේ. පස්සේ 41 වැනි සේනාංකය හදා ගත්තා. ඊට පස්සේ පක්ෂයක් හදා ගත්තා, ජනරජ පක්ෂය කියලා. පස්සේ අපි එක්ක ජනාධිපතිවරණයේදී කටයුතු කළා. ඒත් නාමයෝජනා ප්‍රශ්නයක් ඇතිවෙලා එතුමා ඉවත් වෙලා ගියා.

ඔබ විශ්වාස කරනවද ඔහුට අසාධාරණයක් වුණා කියලා?

අපි මේ වෙලාවේ පරාජය වෙලා ඉන්නේ. ඒ නිසා හැම තැනටම තරගකාරී කණ්ඩායමක් ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ සඳහා ආධුනික අය ඕනෑ. හැබැයි සමහර තැන්වලට ආධුනික වගේම ප්‍රවීණ අයත් ඕනෑ. ඒ සඳහා අවස්ථාව දෙන්න ඕනෑ. මෙතැන අවුල වුණේ ආධුනික අය සහ ප්‍රවීණ අය එක්ක ඇතිවුණු ප්‍රශ්නයක්. අපි හිතනවා ඉදිරියේදී එතුමා එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි කියලා.

දැන් අවසාන වශයෙන් අහන්නේ, පසුගිය පරාජය ගැන කියැවීමක් තියෙනවද?

මම ඉස්සෙල්ලා කිව්වේ. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ලොකු වෛරයක් තිබුණා. ඒ වෛරයේ හිටිය ගොඩක් අයට තෝරගන්න තැනක් තිබුණේ නෑ. ඒ සඳහා ඔවුන් තෝරගත්තේ මාලිමාව. ඒ දුන්න අය දැන් හිතනවා ඇයි ඒ අයට දුන්නේ කියලා. ඒ නිසා මේ පාර අපිට හැරෙනවා. අපි හිතනවා සජබ ආණ්ඩුවක් අනුර කුමාර දිසානායක මහතා යටතේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න බිහිවෙයි කියලා.

•  ගයාන් ගාල්ලගේ