2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයේදී තිබුණු ජනතා විරෝධය දැන් වෙනස් වෙලා

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

සංජීව එදිරිමාන්න කළුතර දිස්ත්‍රික් අපේක්ෂක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • දැන් ඉන්න සමහර දේශපාලනඥයන් උදේට හා කියලා හවසට ෆෝන් ඕෆ් කරනවා
  • නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් එන්නේ පක්ෂයේ ඉල්ලීම නිසා
  • මිනිස්සු දැන් හොයන්නේ බාර් පර්මිට් නොගත් හොරකම් වංචා නොකරන වැරදි නොකරන අයයි

අපි දන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම අභියෝගාත්මක අවස්ථාවක ඉන්නෙ කියල. ඔබලා කොහොමද ඒ අභියෝගය ජය ගන්නෙ?

මම හිතනවා ඕනෑම පක්ෂයකට හෝ ව්‍යාපාරයකට අභියෝගාත්මක මොහොතක මෙවැනි නායකත්වයක් අවශ්‍යයි කියලා. මම නායකයෙක් හැටියට මගේ පක්ෂයටත් මගේ දිස්ත්‍රික්කයටත් ශක්තිය ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. දේශපාලනය වෙනුවෙන් බැඳිච්ච මිනිස්සුන්ට මම කරන්නෙ අන්න ඒ වගකීම සහ යුතුකම. මේ අභියෝගාත්මක මොහොතක ඉතාම ඍජුව, අවංකව අපේ කණ්ඩායමට මම නායකත්වය දෙනවා. දිස්ත්‍රික්කය වගේම රටක් හැටියටත් අපේ පක්ෂය වෙනුවෙන් මම ඒ වගකීම ගන්නවා.

අපි දන්නවා මේ වෙනකොට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයො මැතිවරණය අතහැරලා විශ්‍රාම යනවා. මේක කොහොමද ඔබ දකින්නෙ?

දේශපාලන ව්‍යාපාරයක් හිනිපෙත්තෙ ඉන්නකොට තරග කරන්න පොර කනවා. ඉන්න මිනිස්සු පෙරළගෙන හරි නොමිනේෂන් පෝලිමේ ඉන්නවා. හැබැයි ඒ දේශපාලන ව්‍යාපාරය පොඩ්ඩක් හෙල්ලෙනවා ගැස්සෙනවා දැක්ක ගමන් එක්කො අතහැරලා යනවා. නැත්නම් විශ්‍රාම යනවා. එක්කො බෑ කියනවා. සමහර වෙලාවට උදේ හා කියලා, හවස කෝල් කරද්දි ෆෝන් ඕෆ් කරලා. ඒත් මම මුලදි කිව්ව කතාව නැවත කියනවා. ඒ තමයි ශක්තිමත් මිනිස්සු පක්ෂයකට අවශ්‍ය කරන්නෙ මේ වගේ වෙලාවක. අන්න ඒ කැපවීම කරන පුද්ගලයන් වෙනුවෙන් ජනතාව නියමිත අගය ලබා දෙනවා.

හැම පාරම රාජපක්ෂවරු ඡන්දෙට ආවා. හැබැයි මේ පාර රාජපක්ෂවරු ඔක්කොම දේශපාලනය අතහැරලා. හිතෙන්නෙ නැද්ද ඒක පොහොට්ටුවට අවාසියි කියලා?

අපි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට යෝජනා කළේ එක දිස්ත්‍රික්කයකට සීමා නොවී සමස්ත මැතිවරණ ව්‍යාපාරයටම නායකත්වය සපයන්න කියලා. දිස්ත්‍රික්කයකට කොටු වෙනවට වඩා සමස්තයට නායකත්වය සපයන එක මේ වෙලාවෙ අවශ්‍ය දෙයක්.

ඒ වුණාට නාමල් රාජපක්ෂ නේද ඉල්ලන්න බෑ කිව්වෙ?

ඒක පක්ෂයෙ යෝජනාවක්. පක්ෂයෙ හැමෝගෙම සාමූහික යෝජනාවක්.

පොහොට්ටුවට ඇත්තටම කොහොමද ජනතාවගෙ කැමැත්ත?

ජනතාවට පහුගිය සමයෙ තිබුණු තමන්ගෙ විරෝධාකල්පය මේ වෙනකොට ඔවුන් පිට කරලා අවසන්. ඔබට මතක ඇති 2015 මැතිවරණයෙදි මහින්ද රාජපක්ෂ මහත්තයට තිබුණු විරෝධාකල්පය නිසා මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වෙනුවෙන් ඡන්දය ලබා දීලා ඒ විරෝධය පෙන්නුවා. හැබැයි ඊළඟ පැයේ ඉඳලා ජනතාව හිතන්න ගත්තා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයෙ සියයට 4.5 ක අප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයක් තිබුණා. අන්න ඒ අප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය මෙවර ප්‍රකාශයට පත් වෙනවා. ඒ අය සියලු දෙනා පොහොට්ටුවෙ අය.

හැබැයි අපි කවදාවත් අහලා නෑ, වෙනත් පක්ෂයක ඡන්ද එළියට ගිහින් තව පක්ෂයකට යනවා. හැබැයි හැටනම ලක්ෂයට එහෙම වුණා. මොකද ඒ ගැන හිතන්නෙ?

සමහර මැතිවරණවලට බලපාන ප්‍රධාන සාධකය තමයි විරෝධාකල්පය. 2015 දිත් එහෙමයි. හැම වසරකදිම එහෙමයි. එවැනි විරෝධාකල්ප ගොඩනැගෙන්නෙ දේශපාලන දැනීමක් මත නෙවෙයි, හැඟීමක් මත. ඒ හැඟීම් කියන දේවල් නිතර උච්චාවචනයට ලක් වෙනවා. ඒ නිසා මෙවර මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලයට සමගාමී වෙන්නෙ නෑ. ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා.

අපි දන්නවා සංජීව එදිරිමාන්න ඉතාම පහළ තැන ඉඳලා තමයි දේශපාලනය පටන් ගත්තෙ. දැන් විශාල වගකීමක් දරනවා. ඔබට හිතෙන්නෙ නැද්ද ආයි දරදිය ඇදලා වෙන කට්ටියකට භාර දෙන්න වෙයි කියලා?

අපේ වෘත්තිය ජීවිතයෙත් ඕවා සාමාන්‍ය දේවල්. අහිමිවීම්, අසාධාරණකම් නිතර අපට විඳින්න වෙන දේවල්. මට ඒ දේවල් දරාගැනීමේ වෘත්තියභාවයක් තියෙනවා. ඒ නිසා මම සද්භාවයෙන් කරන දේවල් සම්බන්ධයෙන් විශාල වශයෙන් කම්පාවට පත්වෙන්නෙ නෑ. හැබැයි මම ඉවසීම ඇතුළෙ විශාල දේවල් ලබා ගත්තා. ඒවා දේශපාලනය ඇතුළෙන් මම ලබා ගත්තා.

දැන් පොහොට්ටුවෙ හිටපු නායකයන් ගොඩක් කළුතර නෑ. දැන් ඔබ තමයි නායකත්වය දෙන්නෙ. ඔබ හිතනවද කළුතර ජනතාව ඔබට සාධාරණය ඉෂ්ඨ කරයි කියලා?

මේ වෙලාවෙ ජනතාව මනින මිනුමක් තියෙනවා. අන්න ඒ මිනුමට මම අදාළ වෙනවා. මම හොරෙක්, වංචාකාරයෙක් නෙවෙයි. ඇත්තටම මිනිස්සු හොයන්නෙ වැරදි කරලා නැති, වංචා කරලා නැති, බාර් පර්මිට් නොගත්ත අයනෙ. ඉතින් එහෙනම් ඉන්නවනෙ ඒ වගේ මිනිහෙක්, මේ මම.

පොහොට්ටුව කඩා වැටෙනකොට ගොඩක් අය පීල්ල මාරු කළා වරදාන වරප්‍රසාදවලට. ඔබට එහෙම ආරාධනාවක් ලැබුණෙ නැද්ද?

පහුගිය ජනාධිපතිවරණයෙදි මට ඒ ඉල්ලීම තදින්ම ආවා.

කීයක් මිල නියම වුණාද?

නෑ.. මිල නියම වුණේ නෑ. මට එන්න කිව්වා. හැබැයි මම ගියා නම් මට ලැබෙන දේවල් මම දන්නවා. නමුත් මම එහෙම මගේ ප්‍රතිපත්ති පාවා දෙන්නෙ නෑ. මොකද මට මේ ජීවිතේ සැනසිල්ලයි. ඒ නිසා මට බොහෝ වෙලාවට ඔය කියන කෝල් එන්නෙ නෑ. මොකද මම එක තැන කකුල් දෙක තද කරගෙන ඉන්න මනුස්සයෙක්. නැවත යනවනම් යන්නෙ මගෙ වෘත්තිය ජීවිතයට.

•  ගයාන් ගාල්ලගේ