උස ගොඩනැගිල්ලකින් බිමට පැන දිවි නසාගත් සිසුවියක පිළිබඳ යළිත් වරක් අසන්නට ලැබීම කාගේත් සිත් කම්පා කරවන සිද්ධියකි. මේ සිසුවිය මීට කලින් මේ ආකාරයටම උස ගොඩනැගිල්ලකින් බිමට පැන දිවි නසාගත් සිසුවිය සහ සිසුවාගේ මිතුරියක වීමත් මේ තිදෙනාම එකම පාසලක එකම පන්තියක ඉගෙනුම ලැබූ සිසු දරුවන් වීමත් විශාල ඛේදවාචකයක පෙරනිමිති පහළ කර ඇති බවද ඒ සමඟ පෙනී යයි. එම පාසල ද බොහොමයක් ධනවත් බලවත් මවුපියන්ගේ දරුවන් ඉගෙනුම ලබන ජාත්‍යන්තර පාසලක් වීමද මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුතු කරුණකි.
17 හැවිරිදි තරම් කුඩා වයසකදී මේ දැරිය දිවි නසා ගැනීමට හේතු වූ කාරණා කුමක් වුවද දැන් මේ දැරියට ජීවිතය අහිමි වී තිබේ. මාපියන්ට තම දෙවැනි දියණිය අහිමිය. පිටරටක ඉගෙනුම ලබන මේ දැරියගේ වැඩිමහල් සොහොයුරියට ද ඇයගේ එකම සොහොයුරිය යළි හමුවන්නේ නැත. සැබෑ තත්වය මෙයයි.
පාසලක මෙතරම් කුඩා වියේ පසුවන දරුවන් තම දිවි නසා ගන්නා අවස්ථා මේ රටින් වාර්තා වෙන්නේ කලාතුරකිනි. එසේම ඈත පිටිසර පළාත්වල බේබදු පියවරුන්ගේ කරදර සහ මානසික ගැටලු ඇතුළු උසුලාගත නොහැකි ජීවන ප්‍රශ්න හේතුවෙන් සිදුකර ගන්නා දිවි හානිකර ගැනීම් වාර්තා වුවද කොළඹ වැනි ප්‍රධාන නගරයක පාසලකින් මේ ආකාරයේ සිදුවීම් වාර්තා වීම ඉතා විරලය. නමුත් මෙවර මාස කිහිපයක කාල පරාසයක් තුළ එකම වයසේ සිසුන් තිදෙනකුම දිවි තොර කර ගැනීම අධ්‍යාපන බලධාරීන්ගේ දැඩි අවධානයට පාත්‍ර විය යුතුය. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කපන තැනට වැඩ සිද්ධ වනතුරු බලා සිටිය යුතු නැත.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අතිරේක ලේකම්වරුන් තිදෙනකු සහ අධ්යක්ෂවරුන් දෙදෙනකුගෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කිරීම ඒ අර්ථයෙන් ගත් කල වැදගත් පියවරකි. කෙසේ වුවද අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කර තිබුණේ මෙරට ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වීමක් හෝ නියාමනය වීමක් සිදු නොවන බැවින් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නීතිමය පියවර ගැනීමට බලයක් නොමැති බවය. මේ නිසා අධ්‍යාපන පනත සංශෝධනය කර ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීම අවශ්‍ය බවද ඇය සඳහන් කර තිබිණි. එය හොඳ අදහසකි. නමුත් සමාගම් පනත යටතේ එම පාසල් ලියාපදිංචි වී සිටින බැවින් රටේ පොදු නීතියට අනුව හෝ කිසියම් නීතිමය පියවරක් ගැනීමට හැකියාවක් තිබිය යුතු යැයි අපි සිතමු. කෙටි කාලයක් තුළ දී එකම වයසේ දරු දැරියන් තිදෙනකු එකම ආකාරයකට සියදිවි හානිකර ගැනීම ගැඹුරින් සලකා බැලිය යුතු සිද්ධියක් බැවිනි.
මියගිය දැරියගේ පියා ලබාදුන් සාක්ෂිවල සඳහන් ආකාරයට ඇය තම මිතුරිය දිවිනසා ගැනීම හේතුවෙන් ප්‍රබල කම්පනයකට පත්ව සිටි බවක් හැඟී යයි. ඇය මානසික ආතතියකින් පෙළෙමින් සිටි බවත් ඒ සඳහා ප්‍රතිකාර පවා ලබාගෙන ඇති බවත් සඳහන්ය. එය එසේ නම් එවැනි දියණියකගේ එදිනෙදා හැසිරීම් සම්බන්ධයෙන් මේ මවත් පියාත් මීට වඩා දැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබූ බව කෙනකුට හැඟී යයි. දැරිය පාසලට ඇරලවීමත් ආපසු ගෙන ඒමත් පමණක් ප්‍රමාණවත් නැත. විශේෂයෙන් සිද්ධිය වූ දින තම දියණිය අමතර පන්තියකට යන බව කියද්දීත් ඒ ගැන වැඩිදුර විශේෂයෙන් සොයා බැලීමක් නොකිරීම කනගාටුවට කරුණකි.
මේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කර තිබුණේ නව යොවුන් වියේ පසුවන දරුවන් මානසික පීඩනයකින් සිටින බව හඳුනා ගතහොත් කළ යුතු පහසුම දේ රජයේ වෛද්‍යවරයකු හමුවී උපදේශ ලබාගැනීම බවයි. දරුවා වෛද්‍යවරයකු හමුවීමට අකැමැති නම් ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යා ආයතනයේ සතියේ දින 07 ම පැය 24 ම වැඩ කරන 1926 දුරකතන අංකයට කතා කර පුහුණු හෙද නිලධාරිනියකගෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීම කළ හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා කියා තිබිණි.
මේ තරම් පහසුකම් තිබියදීත් නව යොවුන් දැරියක් අකාලයේ මිය යාම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ විශාල කනගාටුවකි. මින් ඉදිරියට හෝ මෙවැනි අවස්ථා වළක්වා ගැනීමට මවුපියන් සහ ගුරුවරුන් ඉහත උපදෙස් මත ක්‍රියා කළ යුතු යැයි පෙන්වා දීමට කැමැත්තෙමු.