2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

පළමු සති තුන

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 107

මාලිමාව ජයග්‍රහණය කරලා අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති වුණොත් රටට වෙන්න පුළුවන් දේ ගැන පුරෝකථන බොහොමයක් ඡන්ද වේදිකාවේ රැව් දුන්නේය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නත් කලින්ම මේ කරුණුවලට පියාපත් ලැබී තිබුණි. ආණ්ඩුවේ හිටපු ජනාධිපති, මැති ඇමැතින් පමණක් නොව, ඇතැම් රජයේ උසස් නිලධාරීහු ද මේ අනාවැකිවලට පණ පෙවූහ.

අනුර කුමාර යටතේ රටට වෙන්න පුළුවන් දේ ගැන කියැවුණු අනාවැකි අතර තිබූ සමහර කරුණු සංක්ෂිප්තව කිව්වොත් මෙහෙම දැක්විය හැකිය. 

• අනුර ජනාධිපති වුණොත් ඩොලර් එක රුපියල් 400 ටත් එහා ගිහින් රුපියල බාල්දු වේවි...
• අයි.එම්.එෆ්. එක රට එක්ක ගහපු ගිවිසුම අහෝසි වෙලා ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ ඇණහිටලා ආර්ථිකය යළිත් ආපස්සට කරකැවේවි...
• මේ රටට ලැබෙන ලෝක බැංකු, ආසියානු බැංකු ආධාර නවතිනවා...
• ජාත්‍යන්තර සබඳතා ඉදිරියට පවත්වාගෙන යාම වැළකී රට හුදෙකලා වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විවිධ බලපෑම් කරන්නත් ඉඩ තිබෙනවා...
• රටේ කැරලි කෝලහාල යළි ඇතිවෙන්න පුළුවන්, ඡන්දය ඉවර වුණාම...
• රනිල් කෙළින් කරපු ආර්ථිකය ආපහු කඩා වැටී පෝලිම් යුගයක් ආපසු ඒවි...
• අනුර කුමාරලා එක්ක වැඩ කරන්න පුළුවන් උගත් පළපුරුදු නිලධාරී සෙට් එකක් නෑ...

මේ ලිස්ට් එක තවත් දිගු කළ හැකිය. සාමාන්‍යයෙන් ඡන්ද වේදිකාවල කියන කතාවලට කවුරුවත් වැඩි බරක් දමන්නේ නැත. ඒ කතා බොහොමයක් ඡන්දය දවසෙන් පස්සේ අවසන් වෙන බවත් ඊට පස්සේ පරණ බෝතලේ අලුත් වුණත් බොන්න වෙන්නේ පරණ වයින් බවත් රටේ වැඩි පිරිසකගේ අත්දැකීම වී ඇති බැවිනි. හැබැයි මෙවර නම් මැතිවරණ වේදිකාව මාලිමාව රටේ “අලුත් බෝතලේ පරණ වයින්’” දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ප්‍රබල පොරොන්දුවක් දුන්නේය. ඒක ඔවුන් පටන් ගත්තේත් ඡන්ද ප්‍රචාරයට කලින්මය.

මාස ගණනක් තිස්සේ ඔවුන් කියූ මේ නව දේශපාලන සංස්කෘතිය ගැන රටේ බහුතරයක් විශ්වාසය තබා ඇති බව ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේය. එතෙක් වත්මන් මාලිමාවේ කලින් ජවිපෙ ප්‍රතිපත්ති වැළඳගත් 3% ක පමණ ප්‍රතිශතයක් වූ ජවිපෙ කාඩර් එක හැරෙන්න මැතිවරණයකදී වෙනත් කිසිදු නිදහස්ව සිතන ඡන්දදායකයකු ආකර්ශනය කරගන්න බැරුව සිටි ජවිපෙ ඒ නම අලුතෙන් ජා.ජ.බ. වශයෙන් නම් කරගෙන සීනුව ලකුණු වෙනුවට මාලිමාව අරගෙන සිදු කළ වෙනස 3% ජවිපෙ ඡන්දදායක සංඛ්‍යාව 42% ක ජා.ජ.බ. ඡන්දදායක සංඛ්‍යාවක් දක්වා වැඩි කරගන්න සමත් විය. එහෙම කරන්න අවශ්‍ය නායකත්වය පක්ෂයට ලබා දුන්නේ අනුර කුමාර දිසානායක බවත් රටේ ඡන්දදායකයන් බහුතරයක් විශ්වාසය තැබුවේ ඔහු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුව බවත් තේරුම් ගැනීම අපහසු නැත. පැවති දේශපාලන තත්වය ගැන දැඩි ලෙස කලකිරී සිටි ඡන්දදායකයන් ඉදිරියේදී සිදුවිය හැකි ඕනෑම දේකට මුහුණ දීමේ අපේක්ෂාවෙන් “අපි මේ පාර මාලිමාවට දීලා බලමු” යන පීල්ලට මාරු වීම 42% ක් ලබා ගැනීමට මාලිමාවට ආධාරකයක් විය. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කතාව ඇතුළේ එසේ පීල්ල මාරු කළ මිලියන ගාණක් වන ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු රැඳී තිබේ. මුලින් සඳහන් කළ “මාලිමාව යටතේ රටට වෙන්න පුළුවන් දේ” වශයෙන් ජනගත කළ අනාවැකි කියවාගත යුත්තේ ඒ අනුවය.

අනුර කුමාර දිසානායක ජනාධිපති වී පසුගිය සිකුරාදා (11) ට දවස් 18 කි. හරියට ගත්තොත් මේ ගෙවෙන්නේ නව ජනාධිපතිගේ තුන්වැනි සතියයි. මේ තරම් කෙටි දවස් ගණනක් ජනාධිපතිගේ කාර්යභාරය කොතරම් ධනාත්මකදැයි ගැන තීන්දුවක් ගැනීමට ප්‍රමාණවත් නැත. එහෙම වුණත් අනුර කුමාරගේ පාලනයේ දිශානතිය සොයා ගැනීමට ඒ දින ගණන උපයෝගී කරගත හැක. ඒ අනුව අර කලින් කියූ අනාවැකි ගොන්නට උත්තර සොයා ගැනීම ද අපහසු නැත.
ඩොලර් එක රුපියල් 400 ඉක්මවා ගියේ නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ රුපියලේ අගය තවත් ශක්තිමත් වෙමින් ඩොලරය රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණීමය. අයි.එම්.එෆ්. සමඟ ගිවිසුමට ආණ්ඩුව පිටුපෑවේ නැත. ඡන්දයට පෙර ප්‍රකාශ කළ පරිදි අයි.එම්.එෆ්. සමඟ සාකච්ඡා කරමින් ඉදිරියට යාමට පියවර ගෙන තිබේ. ඒ ගැන අයි.එම්.එෆ්. කණ්ඩායම සතුට පළ කර තිබේ. එම පියවර හේතුවෙන් රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය දිනා ගැනීමට ද ජනපති අනුර සමත්ව සිටී.

රටට ලැබෙමින් තිබූ ලෝක බැංකු සහ ආසියානු බැංකු ආධාර නැවතුණේ නැත. ඒ වෙනුවට එම බැංකුවල නියෝජිතයෝ මෙරටට පැමිණ ජනාධිපති හමුවී ඔවුන්ගේ සහාය දිගටම ලබාදෙන බව ප්‍රතිඥාවක් දී තිබේ. ඒ සමඟ ආධාර මුදලක් ද ලබා දීමට ක්‍රියා කළහ. ජාත්‍යන්තර සබඳතා ඇණහිටියේ නැත. ඒ වෙනුවට ඉන්දියාව, චීනය, ඇමෙරිකාව මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය ඇතුළු ලොවේ බොහොමයක් ප්‍රබල රටවල තානාපතිවරුන් සහ නියෝජිතයන් පැමිණ අනුර කුමාර ජනාධිපති හමුවී ඔවුන්ගේ සහාය පළ කරනු පසුගිය සති දෙක පුරාම දැකගත හැකි විය. ඉන්දීය විදේශ ඇමැති ජය ශංකර් පැමිණ ජනාධිපතිවරයාට එරට සංචාරයක යෙදෙන්නැයි නිල වශයෙන් ඇරියුම් කළේය. චීනය ද රුසියාව ද ජනාධිපතිට මේ ආකාරයටම ඇරියුම් කර තිබෙන බවද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

රටේ කැරලි කෝලහාල තත්වයක් ඡන්දයෙන් පස්සේ ඇති නොවුණා පමණක් නොව මෙවර පැවති ජනාධිපතිවරණය එම මැතිවරණ ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය බවට පත් විය. එය ජනාධිපතිගේ ක්‍රියාවක් නොව ඔහුගේ ප්‍රතිඥාවක් වූ දේශපාලන සංස්කෘතියේ ඇති කරන වෙනසට ඡන්දදායකයන් දැක්වූ ධනාත්මක ප්‍රතිචාරයකි.

රනිල් කෙළින් කළ ආර්ථිකය ආපසු කඩා වැටෙන බවට අවදානමක් දැනට නැත. ඒ බව අයි.එම්.එෆ්. සහ ෆිච් රේටිංග්ස් ආයතනය ප්‍රකාශ කර තිබිණි. (ෆිච් රේටිංග්ස් ප්‍රකාශය වෙනම පළ වෙයි.) තෙල් ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව බෙදා හරින බවත් ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය තොග රට සතුව තිබෙන බවත් ප්‍රකාශයට පත්ව තිබේ. ඒ වගේම ආණ්ඩුවේ ආයතනවලට පත් කළ නිලධාරීන් බහුතරයක් රට පිළිගන්නා පිරිසක් බවද පැහැදිලිය. නමුත් රටේ විශ්වාසය ඒ අයුරින්ම රැක ගැනීමට අසමත් පත්වීම් ද සිදු කර ඇති බවද සඳහන් කළ යුතුය. මහ මැතිවරණයෙන් පසුව මේ බොහොමයක් පදවි වෙනස් කෙරෙනු ඇති බවත් දැනට සිදු කර ඇත්තේ තාවකාලික පත් කිරීම් බවත් පෙනෙන්නට තිබේ.
මේ සති තුනේ තත්වය මෙසේ වුණත් ආණ්ඩුව එරෙහිව දැඩි විවේචන ද එසේම සිදුවෙමින් පවතී. දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් නොඉවසන විශාල ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිටින බවද පැහැදිලිය. ජනාධිපතිවරණයේ පාවිච්චි කළ ඇඟිල්ලේ තීන්ත වේලෙන්නත් පෙර පැවැත්වෙන මහ මැතිවරණයට දැඩි සැලකිල්ලක් යොමු නොකළහොත් මහ මැතිවරණයේදී අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නත් ඉඩ තිබේ. නමුත් ආණ්ඩුව කරගෙන යාමට අවශ්‍ය කරන පාර්ලිමේන්තුවක් ලබා දීමට ඡන්දදායකයන් බහුතරයක් ක්‍රියා කරනු ඇතැයි යන්න ආණ්ඩුවේ මතයයි. ජනතාවට දැනෙන ලෙසට නාස්තිකාර වියදම් කැපී පෙනෙන ලෙසට අඩුකර තිබීමත් වංචාව සහ දූෂණය අවම කිරීමට තිබෙන කැපවීමත් අනුර කුමාරලාට “බෝනස්” එකකි. විපක්ෂය සීසීකඩව යමින් තිබීම එයට තවත් “දීමනාවක්” එකතු කිරීමකි.

ශෂීන්ද්‍ර