2017 ජුනි 24 වන සෙනසුරාදා

තිත්ත බෙහෙත් ලෑස්තියි

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

යහපාලන ආණ්ඩුව බලයට පත් වී ටික දිනකදී අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. රට මුහුණදී සිටින අමාරු තත්ත්වයත් එයින් ගොඩඒමට රජය ගන්නා ක්‍රියාමාර්ගත් ඔහුගේ එම කතාවේ වැදගත් කොටසක් විය. රට හොඳටම ලෙඩ වී සිටින බවත් එම ලෙඩ සුවකරගැනීම සඳහා අකැමැත්තෙන් වුවද තිත්ත බෙහෙත් බොන්නට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම තිත්ත බෙහෙත් කතාවට එදා මාධ්‍යයෙන් හොඳ ප්‍රසිද්ධියක් ලැබුණි. රටේ ජනතාවත් ආණ්ඩුව අලුත් නිසා තිත්ත වුණත් දෙන බේත ගැන එතරම් හිතන්නට ගියේ නැත. රටේ ලෙඩ හොඳ වෙනවා නම් බෙහෙත ගැන වද වෙන්නට අවශ්‍යතාවක් තිබුණේ නැත.

එසේ වුවත් ටික දවසක් යන විට ජනතාව තේරැම් ගත්තේ තිත්ත බෙහෙත් බොන්නට සිදු වී ඇත්තේ තමන්ට පමණක් බවය. පටි තද කරගෙන ඉන්නේ තමන් පමණක් බවය. ඡන්දය ඉල්ලා පැරුදී ගෙවල්වල සිටිය යුතු දේශපාලනඥයන් පවා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමැති පදවිත් ලබාගෙන අලුත්ම යාන වාහන ඇතුළු සැප සම්පත් භුක්ති විඳින බවය. දූෂණ චෝදනාවලට ලක්ව සිටි සමහරුත් ඇමැති පදවි ලබාගත් බවය. හිර ගෙවල් ඇතුළේ සිටිය යුතු පුද්ගලයන් යහපාලනයේද කොටස්කරුවන් වන බවය. තිත්ත බෙහෙත් බොන්නේ තමන් පමණක් බව ඔවුන්ට වැඩිකල් යන්නට පෙර වැටහුණේය. එහෙම තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ ඉදිරිය ගැන වැඩිදෙනා බලාපොරොත්තු අතහැර ගත්තේ නැත.

හැබැයි දවසින් දවස ප්‍රශ්න ගොඩගැසෙන විට ආණ්ඩුව මේ යන්නේ හරි පාරේදැයි බොහෝදෙනා ප්‍රශ්න කරන බව පෙනෙන්නට තිබේ. විපක්ෂයේ දේශපාලනඥයන් නොව රටේ පොදු මහජනතාව මෙසේ ප්‍රශ්න නගන බව ආණ්ඩුව නොදැන සිටිය නොහැක. කුණු කෑල්ලේ සිට හැමදෙයම අනාගන්නා ආණ්ඩුවක් තිබීම ගැන සතුටු වන කිසිවකුත් නැත. සයිටම් ප්‍රශ්නය නහයටත් උඩින් ගලන්නට ඉඩදීම මීට එක් උදාහරණයක් පමණය.

ආණ්ඩුවට මෙහෙම වෙන්නෙ ඇයි? අඩුම තරමින් ප්‍රශ්නයකට දෙකකට හෝ හරි විසඳුමක් ලබා දී බර අඩු කරගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැද්ද? මේ ගැන සොයන්න ආණ්ඩුව ප්‍රශ්නවලට මුහුණදෙන ආකාරය ගැන මඳක් විමසිල්ලෙන් සිටීම පමණක් ප්‍රමාණවත්ය.

මැති ඇමැතිවරුන් කිහිපදෙනකුගේ විෂයයන් වෙනස් වීමෙන් පසුව ඇති වූ තත්ත්වය මීට හොඳම උදාහරණයක් සපයයි. විදේශ අමාත්‍යවරයාට ලොතරුයි මණ්ඩල දෙක පැවැරීම මෙහිදී සැලකිය හැකිය. විෂයයන් පැවැරීම ජනාධිපතිවරයා සතු කාර්යයක් වුවත් විදේශ ඇමැතිවරයාට ලොතරැයි විෂය පවරා දීම ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට සිදු වූ දෙයක් නොවන බව පැහැදිලිය. එම අමාත්‍ය ධුරය ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වයට අයත් එකකි. මුදල් අමාත්‍ය ධුරයද අයිති යූ.එන්.පීයටමය. මේ නිසා එහි විෂයයන් දෙකක් විදේශ අමාත්‍යංශයට ගැටගැසීම යූ.එන්.පීයේ උවමනාවට සිදු වූ දෙයක් විය යුතුය. නමුත් රටේ ජනතාව හිනාවෙන්නේ යූ.එන්.පීයට නොව ආණ්ඩුවටය. විෂයයන් පවරාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු කාර්යයක් වන අතර ව්‍යවස්ථාවේ 44—(3) වගන්තියේ ඒ බව දැක්වෙන්නේ මෙසේය.

ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය.

මේ අනුව විදේශ ඇමැතිවරයාට ලොතරුයි විෂයය පැවැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙයි. එසේ වුවද ඇතැම් දේශපාලන විචාරකයන් තර්ක කරන්නේ මේ රටේ ලොතරැයි පවත්වාගෙන යාම පාලනය වන්නේ 1963 අංක 11 දරන ජාතික ලොතරැයි මණ්ඩල පනත සහ 1997 අංක 20 දරන සංවර්ධන ලොතරුයි පනතට අනුව බැවින් එම විෂයය මුදල් අමාත්‍යාංශය යටතේ නොතිබීම අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකි නිමිත්තක් වශයෙන් සැලකිය හැකි බවය.

කෙසේ වුවත් තවත් පිරිසක් තර්ක කරන්නේ රාජපක්ෂ පාලන සමයේදී නීතිපති දෙපාර්තමේන්තුව පවා ජනාධිපතිවරයාගේ විෂයක් වශයෙන් පවරාගනු ලැබූ අවස්ථාවේ කිසිවකුත් ඊට විරුද්ධව උසාවි නොගිය බවය. එසේ නොගියා පමණක් නොව ඒ ගැන එළියට පැමිණ එය වැරැද්දක් බව පැවැසීමට තරම්වත් කිසිවකුට හැකියාවක් නොතිබූ බවය. තමන් ලබා දී ඇති භාෂණයේ නිදහස යොදවාගෙන අද තමන්ටම පහරදෙන තත්ත්වයක් උදා වී ඇතැයි ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පවසන්නේ මේ නිසා විය හැකිය.

මේ ආකාරයේම තවත් උදාහරණයක් ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් අප සමඟ පැවැසුවේය. ඔහු පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පවරාගැනීමය. එම අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයා වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. නාගරික සංවර්ධන අධිකාරිය ඒ වන තෙක් පළාත් පාලන අමාත්‍යාංශය හා අනුබද්ධව තිබූ විෂයක් විය. ආරක්ෂක අමාත්‍යවරයාද වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාගරික සංවර්ධන අධිකාරියක් කුමකටදැයි කිසිවකු හෝ විමසීමක් නොකළත් එහි වැඩ කටයුතු පැවැරෙන්නේ ගෝඨාභයට බව මේ සියලුදෙනා දැන සිටියහ. ඒ බව ප්‍රශ්න නොකළේ ගෞරවය හෝ බිය හෝ නිසාදැයි හරිහැටි පැහැදිලි නුවූවද නාගරික සංවර්ධන අධිකාරිය හරහා ගෝඨාභය මේ රටේ සිදුකළ පෙරුළිය නිසා ඒ සැමගේ සියලු විවේචනවලට අගුලු වැටුණේය. විදේශ අමාත්‍යාංශයට ලොතරැයි පවරාගෙන සිටින රවි කරුණානායක ඇමැතිවරයාද එවැනි ප්‍රාතිහාර්යයක් සිදුකරනු ඇතිදැයි අනාගතයේදී බලාගත හැකිවනු ඇත. 

මීළඟට රටේ අධික ණය බරට එක් හේතුවක් වශයෙන් දිගින් දිගටම සඳහන් වූ ශ්‍රීලංකන් ආයතනය තවදුරටත් එම බර එලෙසම රටේ ආර්ථිකය මතට පටවා තිබීම ආණ්ඩුවේ කාර්යක්ෂමභාවය කෙළින්ම ප්‍රශ්න කිරීමකට ලක් කරමින් තිබේ. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම ශ්‍රීලංකන් ආයතනය ලොකු මාතෘකාවක් වී තිබුණේය. වාර්ෂිකව රුපියල් කෝටි 1600ක පමණ අලාභයක් එම ආයතනය හරහා රටට සිදුවන බවද එම අලාභය රටේ බදු ගෙවන පුරවැසියන් මත පටවා තිබීම මහත් අපරාධයක් බවද ඒ කාලයේ දිගටම සඳහන් විය. එය ප්‍රතිව්‍යුහකරණය කොට ලොවේ වෙනත් ආයතනයක් සමඟ ඒකාබද්ධව පවත්වාගෙන යමින් එම අලාභය නැති කර දමන බවද සහතික කෙරුණි. ශ්‍රීලංකන් සමඟ එකතු වීමට කැමැති ගුවන් යානා සමාගම් පිළිබඳව සොයා බැලීමට කමිටුද පත් කෙරිණි. එහෙම වුණත් දැන් පෙනෙන්නට තිබෙන්නේ ශ්‍රීලංකන් ආයතනය සම්බන්ධයෙන් කිසිවක්ම සිදු වී නැති බවය. ආයතනය පවසන ආකාරයට අලාභය දැන් අඩු වී තිබේ. එහෙත් අලාභ වීම නැවැතී නැත.

පසුගිය කාලය තුළ ප්‍රතිව්‍යුහකරණය කෙසේ වෙතත් ශ්‍රීලංකන් සමාගම විසින් ඇනවුම් කර තිබූ අලුත් ගුවන් යානා කිහිපයක ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කිරීමේදී ඒ සඳහා අතිවිශාල මුදලක් ගෙවීමට සිදු වූ බව හෙළි විය. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දී ඇනවුම් කරන ලද එම ගුවන් යානා තොගය මෙරටට පැමිණියේ නම් ඒ සඳහා ඊට වඩා විශාල මුදලක් ගෙවීමට සිදුවන බව ප්‍රකාශ විය. මෙවැනි ශ්‍රී ලංකාවට මහත් බරක් වන, ආර්ථිකයට දැරිය නොහැකි ගුවන් යානා තොගයක් ගෙන්වීම පිටුපස විශාල කොමිස් ගනුදෙනුවක්ද සිදු වී ඇති බවට සැකයක් තිබිය නොහැක. හරිනම් ගිවිසුම් අවලංගු කිරීමට පෙර යහපාලන රජය මගින් සිදුකළ යුතුව තිබුණේ එම ගනුදෙනුවේ සුලමුල සොයා රටට අලාභයක්, අවාසියක් වන ආකාරයේ ගිවිසුමකට ගිය වගකිවයුතු පිරිස නීතිය හමුවට කැඳවීමය. ඒ වෙනුවෙන් යහපාලන ආණ්ඩුව කළේ ඒ කිසිවක් සොයා බැලීමකින් තොරව අතිවිශාල මුදලක් ගෙවා ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කිරීමය. 

දැන් රටේ ජනතාව මහින්ද රාජපක්ෂ රජය රුපියල් බිලියන ගණන් වැයකොට ගුවන් යානා ඇනවුම් කළ බවක් කියන්නේ නැත. ඔවුන් කියන්නේ ගිවිසුම අවලංගු කිරීම හරහා යහපාලන ආණ්ඩුව රටට විශාල පාඩුවක් සිදුකර ඇති බවය. එම ගනුදෙනුවද විනිවිද පෙනෙන ආකාරයට සිදුකර නැති බවට ආණ්ඩුවේසේම විපක්ෂයේ දේශපාලනඥයෝ අවස්ථා ගණනාවකදී චෝදනා නැගූහ. මේ කිසිවක් ආණ්ඩුවේ සෞඛ්‍යයට හොඳ නැත. එක් විචාරකයෙක් ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව ශ්‍රීලංකන් ආයතන ප්‍රශ්නයේදී නිකම් ඉල්ලන් කන බවය. මහින්දගේ ආණ්ඩුවේ වැරැදි තමන්ගේ ඔඩොක්කුවේ දාගන්නා බවය.

ශ්‍රීලංකන් ආයතන විෂයය පසුගිය කැබිනට්ටුවේද දීර්ඝව සාකච්ඡා වී තිබිණි. විෂය භාර කබීර් හෂීම් ඇමැතිවරයාද ආයතනය දැඩිව විවේචනය කළේය. එකී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයද ප්‍රධාන විධායක නිලධාරියාද කැබිනට් සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ. ඉන් පසුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නව රාජ්‍ය ඇමැති වශයෙන් පත්ව සිටින ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩ බාරගත් අවස්ථාවේදීද ශ්‍රීලංකන් ආයතනය මාතෘකාවක් වී තිබුණි. පෙනෙන්නට තිබෙන්නේ මෙතෙක් යූ.එන්.පී. ඇමැතිවරයකු යටතේ තිබූ ශ්‍රීලංකන් තවදුරටත් එසේ නොවන බවය. අධ්‍යක්ෂ මණ්ඩලයේත් ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඉහළ නිලධාරීන්ගේත් වැටුප් තල පවා ඉදිරි දිනවලදී පරීක්ෂා කිරීමට නියමිතය. වෙනකක් තබා ශ්‍රීලංකන් ආයතනය සම්බන්ධයෙන් සිදුකර ඇති වැලිඅමුණ පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්ද සිදු කෙරී තිබේ. යහපාලන ආණ්ඩුවේ මෑත කාලයේ දකින්නට තිබූ මතවාදී හැලහැප්පීම් සමඟ බලන විට ශ්‍රීලංකන් ආයතනයේ ගැටලුවද ආණ්ඩුව තුළ බරපතළ විරසකයක් ඇති කළොත් ඒ ගැන පුදුම වීමට දෙයක් නැත.

මේ සමඟ ඇමැතිවරුන්ගේ විෂයයන් මාරැවෙන් පසුව ලේකම්වරැන් පත් කිරීමද අර්බුදයට ගියේය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ලේකම්වරුන් තිදෙනකුටම අදාළ ඇමැතිවරැන්ගේ කැමැත්ත හිමිවූයේ නැත. ඒ ප්‍රශ්නය එතරම් දුරදිග යා නොදී බේරාගැනීමට හැකි වුවද ජනාධිපතිවරයකුගේ පත් කිරීමක් ඇමැතිවරැන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමක් සිදුවූයේ පළමු වතාවට බව සමහරු කියති.

ඥානසාර හිමියන්ගේ අත්අඩංගුවට ගැනීම රටේ ලොකු මාතෘකාවක් බවට පත්වූයේ මේ සමඟය. ඥානසාර හිමියන් උසාවියට ඉදිරිපත් නොවී සිටියදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ප්‍රමුඛ අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව මගින් නිකුත් කරන ලද නිවේදනය හේතුවෙන් රජය මහත් අපහසුතාවයකට පත්විය. ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස් ප්‍රකාශන ශෛලිය කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බව එම නිවේදනයේ සඳහන් විය. ඥානසාර හිමිට මුවාවී සංඝ සමාජයට ගැරහීම හෙළ දකින බවද එහි සඳහන් විය. 

මෙම නිවේදනයේ නම් සඳහන් නොකරන ලද නමුත් වත්මන් රජයේ ඇමැතිවරැන් කිහිප දෙනකුටම චෝදනා එල්ල වී තිබුණේය. වාමාංශිකයයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු දේශපාලනඥයන්ද යනුවෙන් සඳහන් වූයේ වත්මන් ඇමැතිවරැන් කිහිප දෙනකුටය. පුරාවිද්‍යා විෂභාර අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරන බවද එහි සඳහන්ව තිබුණේය.

මෙම නිවේදනය නිකුත් වූ වහාම එස්.බී. දිසානායක ඇමැතිවරයා මහා සඟරුවණින් සමාව ඉල්ලා සිටියේ ඥානසාර හිමිගේ සමහර මතවලට තමාත් එකඟ බව ප්‍රකාශ කරමිනි. අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාවේ විශේෂ ප්‍රකාශයේ ඇතැම් කරුණු තමන්ට එල්ල කරන ලද බවක් පෙනී යන බවද ඔහු සඳහන් කර තිබිණි. කැබිනට් සම ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළේ අස්ගරි මහා විහාරයේ නිවේදනය අධ්‍යයනය කොට අද හෙටම රජය මගින් ඊට පිළිතුරක් ලබාදෙන බවය. ඇතැම් භික්ෂූන් වහන්සේලා භික්ෂු පරපුරේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්නේද යන්න පිළිබඳවත් නිවේදන නිකුත් කරන ආයතන වගබලා ගත යුතු යැයිද රාජිත ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ අස්ගිරි මහා විහාර නිවේදනය සම්බන්ධයෙන් රජය තරමක කැළඹීමට පත්ව සිටින බවය. රජය ලබාදෙන පිළිතුර කුමක් වුවත් එය මහ සඟරුවන අපහසුතාවට පත් කරවන ආකාරයේ පිළිතුරක් නොවනු ඇත. එසේ වුවද දේශපාලනයට පිවිස සිටින හිමිවරුන් සම්බන්ධයෙන් එහි යම් යම් කරැණු සඳහන් වීමට ඉඩකඩක් පවතින බව පෙනෙන්නට තිබේ. 

කෙසේ වුවද පුරාවිද්‍යා විෂයය භාර අධ්‍යපාන ඇමැති අකිල විරාජ් මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුරා විද්‍යා පතන සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආඥාපනත යටතේ පුරාවිද්‍යා ස්ථාන රැකීමට රජයට පූර්ණ බලතල ලැබී තිබෙන බවය විහාරධිපති හිමිවරැන් දඹුල්ල ලෙන් විහාරය පිළිබඳව අනුගමනය කළ අත්තනෝමතික ක්‍රියා කලාපය කිසි ලෙසකින්වත් අනුමත නොකරන බවද අකිල ඇමැතිවරයා සඳහන් කළේය. එම ලෝක උරුම විහාරයේ ආදායම රජයට ගෙන වෙහෙර විහාර සංරක්ෂණය සඳහා යොදවන බවත් ඔහු සඳහන් කර තිබුණි.

මේ වටින් ගොඩින් පෙනෙන්නට තිබෙන්නේ රජයත් අස්ගිරිය මහා විහාරයක් අතර කිසියම් නොසන්සුන් බවක් වර්ධනය වෙමින් තිබෙන බවය. කෙසේ වුවද මේ සියලු කාරණා පිළිතුරැ දීම් සම්බන්ධයෙන් අවසන් තීරණ ගනු ඇත්තේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විසිනි. පවතින සියලු තත්ත්වයන් අධ්‍යයනය කිරීමෙන් පසුව පමණක් ඔවුන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව නම් සහතිකය.

සෞඛ්‍ය අමාත්‍යංශයට සයිටම් විරෝධී අරගලයේ නියමුවන් වන අන්තරයේත් භික්ෂු බල මණ්ඩලයේත් ශිෂ්‍ය ක්‍රිකාරි කමිටුවේත් සිසුන්ගේ කඩා පැනීම සිදුවූයේ ඒ සමඟය. ආණ්ඩුව කිසියම් ආකාරයකින් ප්‍රකෝප කරවාගැනීමේ උවමනාවක් එම සිදුවීමේ තිබෙන බව පැහැදිලිය. මෙම අරගලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලැබීමත් හේතුවෙන් මේ වනවිට වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයක් ආරම්භ වී තිබේ. සයිටම් වසන තුරු අරගලය ගෙන යන බව ශිෂ්‍යයෝ කියති. 
ජනාධිපතිවරයා එම සිද්ධියෙන් පසුව කියා තිබුණේ අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන කුමන්ත්‍රණවලට තමා සරසවි සිසුන්ට දොස් නොකියන බවය. රාජ්‍ය විශ්ව විද්‍යාලසේම ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්ව විද්‍යාල ද බිහිවිය යුතු බවත් ඔහු සඳහන් කර තිබිණි. සරසරවි සිසුන්ගේ ඉල්ලීම පරිදි මාලබේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සංශෝධන රුසක් සිදුකළ බවද ඔහු සඳහන් කළේය. මේ කතාවේ අර්ථය රටේ ඉහළ ප්‍රමිතියේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීමට රජය විරැද්ධ නොවන බවය.

කෙසේ වුවද ඇමැති රාජිත නම් කිව්වේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයක් වශයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ ක්‍රියාමාර්ග ආණ්ඩුව බලයට පත් වූ ගමන් පැවැසූ තිත්ත බෙහෙත් වෛද්‍යවරුන්ට පෙවීමක්දැයි ඉදිරියේදී බලාගත හැකි වනු ඇත. 


ශශින්ද්‍ර

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00