2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

සංදර්ශනවලින් ආණ්ඩුවක් ගෙනියන්න බැහැ

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සුගීෂ්වර බණ්ඩාර

  • මම නායකයා එක්කම ඉන්න චරිතයක්
  • අලුත් ආණ්ඩුවක් යටතේ අලුත් නායකයෙක් බිහිවේවි
  • ජනාධිපතිතුමා ජනතාවට දුන්න පොරොන්දු ඉටුකළ යුතුයි

මේ මොහොතේ හුඟ දෙනෙක් දේශපාලනය අත්හැරලා යනවා. විශ්‍රාම ගන්නවා. සමහර අය දේශපාලනය ගැන කලකිරිලා. ඒත් ඔබ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා?

මම ජීවිතේ අභියෝග භාරගන්න කෙනෙක්. මගේ තාත්තව භීෂණ කාලේ ජවිපෙ විසින් ඝාතනය කළා. තාත්තගේ මරණයත් එක්ක මං සෙල්ලම් කළේ පොඩි එකා හැටියට. තාත්තගේ මරණයත් එක්ක මට පිය සෙනෙහස අහිමි වුණා. මගේ ජීවිතේ අභියෝග පටන් ගත්තේ එතැන ඉඳන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සිදුවීමේදීත් මම ඔහු ළඟින්ම හිටියා. ඔහුව අත්හැරලා ගියේ නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධවත් එහෙමයි. එතුමා මේ රටේ ආර්ථිකය හදපු එකම මනුස්සයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ගෝලීය ආර්ථික අර්බුදයට විසඳුමක් දෙන්න පුළුවන් නායකයෙක්. ඒ නිසයි ඔහුගේ නායකත්වයෙන් මං ඡන්දෙට එන්නේ. ඇත්තටම අපිට අවශ්‍ය ප්‍රබල විපක්ෂයක් නෙවෙයි. අපිට අවශ්‍ය බලය සහිත ආණ්ඩුවක් ගොඩනගන්න. ඒක අපි ගොඩනගනවා.

මේ වෙනකොට පක්ෂ කඩා වැටිලා තියෙනවා. ජ්‍යෙෂ්ඨයෝ සන්ධාන අත්හැරලා තියෙනවා. සමහර විට පත්වෙන්න පුළුවන් අලු‍ත්ම පාර්ලිමේන්තුවක්. මේක කොහොමද අනාගත දේශපාලනයට බලපාන්නේ?

මිනිස්සු සිස්ටම් චේන්ජ් කරන දෙවැනි වතාව. ජාතික ජනබලවේගය බලයට එන්නේ සිස්ටම් එක වෙනස් කරන්න. මේ නිසා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ යම් අර්බුදයකට ලක්වෙලා තියෙනවා. මේ වෙලාව අභියෝගාත්මකයි. ඒත් මේ අභියෝගය ජයගන්න එක තමයි අපිට තියෙන එකම අරමුණ. පරිණත දේශපාලන නායකයන් නැතිකොට යම් අර්බුදවලට ලක්වෙන්න පුළුවන්. ඒ නිසා තරුණ පරිණත දෙගොල්ලම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනෑ.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. ඇත්තටම ඔහු නැතුව දේශපාලනයක් කරන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔහු වෙලාවට කරළියට එයිද?

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ අපි කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ඉන්නවා. අපේ කණ්ඩායමේ අභියෝගය තමයි තරුණ අලු‍ත් නායකත්වයක් හොයාගන්න එක. ඒක ඇත්තටම ඉස්මතු කරගන්න ඕනෑ. ඒ නිසා එතුමා මේ හැමදේම පිටිපස්සෙ ඉන්නවා. අපි ආණ්ඩුවක් හදලා බලය ගත්තට පස්සේ ඒ නායකත්වය ඉබේම ගොඩනැගෙයි. හැම පක්ෂයක වගේම අපේ පක්ෂයෙත් පරිණත නායකයෙක් ඉන්න ඕනෑ. ඔය හැමෝම අලු‍ත් නායකයෝ කිව්වට ඒ හැමෝම අවුරුදු ගාණක් පරණ අය.

මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ මාලිමා රජයක්. ජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තුවෙන් තමා මාලිමා රජයක් ගොඩනැගුවේ. ඔබ මේ රජය ගැන මොකද හිතන්නේ?

ඉස්සෙල්ලාම කියන්න ඕනෑ 42% ආණ්ඩුවට 58% අපි සුබ පතනවා. අපි වර්තමාන ජනාධිපතිගෙන් ඉල්ලන්නේ දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්න කියලා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරනවා කිව්වා. දූෂණ වංචා ලිපිගොනු එළියට ගන්නවා කිව්වා. හොරු අල්ලනවා කිව්වා. ඒ දේවල් කරන්න. හැබැයි හුදු දේශපාලන සංදර්ශනයේ තමයි ඒ අයත් ඉන්නෙ. අර වාහන ටිකක් අල්ලගෙන ලොකු මාධ්‍ය සංදර්ශනයක් දැම්මා. ඕවා හැම ආණ්ඩුවම මාරු වෙද්දි වෙන දේවල්. තෙල් මිල එකසිය පනහට දෙන්න පුළුවන් කිව්වනේ. කෝ ඒවා කරන්න. කොමිස් නැති කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන් කිව්වනේ. ඒ නිසා කියන තරම් දේවල් කරන්න බැහැ. දැන් එයාට තේරෙනවා ඇති ආණ්ඩුවක් කරන අමාරුව. ඒ නිසා අපි බලන් ඉන්නවා ඒ ආණ්ඩුව කරන හැටි.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ලක්ෂ විස්සකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත්තා. ඔබ හිතනවද ඒ ඡන්ද ප්‍රමාණය නැවත ලැබෙයි කියලා?

42% කණ්ඩායමට මේ වෙනකොට සැක සංකා මතු වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මාලිමාව සහ ජවිපෙ ගැටුම. ඔය නාමයෝජනා මණ්ඩලවලත් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වුණු මට්ටමේ ප්‍රතිඵල ඔවුන්ගෙ නෑ. උගත් බුද්ධිමත් මධ්‍යස්ථ පිරිස කලකිරීමෙන් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තාම නායකත්වය සම්බන්ධව දැන් අර්බුද ඇතිවෙලා. අජිත් මාන්නප්පෙරුමලා, දමිත අබේරත්නලා දැන් විවේචනය කරගෙන යනවා. අර හිරුණිකා ප්‍රේමචන්ද්‍රත් ඉල්ලා අස්වෙලා. ඒ නිසා අපේ පක්ෂයට යම්කිසි උද්‍යෝගයක් ඇතිවෙලා තියෙනවා. ජනතාවට අපි කෙරෙහි විශ්වාසය ඇතිවෙලා තියෙනවා. මම හිතනවා මේක අපේ ජයග්‍රහණයට හේතු වෙයි කියල. මොකද අපි කළ වැඩපිළිවෙළම තමයි මේ අයත් අරන් යන්නේ.

• ගයාන් ගාල්ලගේ

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00