කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බලවේගය ජනක නන්දකුමාර
ගොඩක් ප්‍රබලයන් මේ වෙද්දී දේශපාලනය අත්හැරලා. එහෙම මොහොතක ඔබ දේශපාලනය කරන අභියෝගය කොළඹින් බාර ගන්නවා. මොකද ඒ ගැන හිතන්නේ?
ඕනෑම පොඩි ළමයෙක්ගෙ ඉඳන් දැන් කියන දෙයක් තියෙනවා. දේශපාලනඥයෝ හොරු කියනවා, දූෂිතයි කියනවා. හැබැයි හැම දේශපාලනඥයෙක්ම හොරු, දූෂිතයෝ නෙවෙයි. ඒ වගේම සමහර අය කියනවා උගත් බුද්ධිමත් පිරිස පාර්ලිමේන්තු එවන්න ඕනෑ කියලා. මතකනේ උගත් බුද්ධිමත් පිරිස පාර්ලිමේන්තු යවලා වුණු දේ. ගෝඨාභය මහත්තයගේ ආණ්ඩුවේ වැඩියෙන්ම ගියේ ඒ අයනේ. ඒ නිසා හොරු, දූෂණය නොවන අය වගේම, උගත් බුද්ධිමත් අයම පමණක් පාර්ලිමේන්තු නියෝජනය කරන්න බෑ. ඉන්න ඕනෑ ප්‍රායෝගික මිනිස්සු. පොළොවේ පය ගහලා වැඩක් කරන්න පුළුවන් මිනිස්සු තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනෑ. මම එහෙම කෙනෙක්. මම බිම් මට්ටමේ ඉඳලා ව්‍යාපාර කරලා තමයි මේ තත්වයට ආවේ. ඒ නිසා දේශපාලනය වගේම කළමනාකරණයත් හොඳට දන්නවා.
ජනතා සේවය සඳහා මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඕනෑ නෑ කියලා ජන මතයක් තියෙනවා. ඇත්තටම ඕනෑද, ඕනෑ නැද්ද?
මම පිළිගන්න දෙයක් තමයි මන්ත්‍රීවරුන්ට පැන්ෂන් එක නම් අවශ්‍ය නෑ. අවුරුදු පහක් හිටිය ගමන් පැන්ෂන් ලැබෙන එක රාජ්‍ය සේවයටම කරන අපහාසයක්. හැබැයි අපි දන්නවා සමහර දේශපාලනඥයන් ඉන්නවා මේ පෙන්ෂන් එකෙන් විතරක් ජීවත් වෙන අය. ඒ නිසා සමහර දේශපාලනඥයන්ට නම් දුන්නට කමක් නෑ. ඒ වගේම ඔය වාහන පර්මිට් කතාවත් එහෙමයි. ගොඩක් මන්ත්‍රීවරුන්ට වාහන නෑ. ඒ අය ඉතාම අමාරුවෙන් තමන්ගේ කටයුතු කරන්නේ. සමහර මන්ත්‍රීවරුන්ට ඉන්න නිවාසයක්වත් නෑ. ඉතින් එහෙම මන්ත්‍රීවරුන්ට යම් සහනයක් දෙන්න ඕනෑ. ඒ නිසා මම කියන්නේ යම් ධනවත් පිරිසක් ඉන්නවා නම් ඒ අයට පුළුවන් රට ගැන හිතලා මන්ත්‍රී වරප්‍රසාද නොගෙන ඉන්න. හැබැයි මම පිළිගන්න දෙයක් තමයි මන්ත්‍රීවරුන්ට නිසි වැටුපක් තියෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් තමයි හොරකම් කරන්නේ. දූෂණය, වංචාව නවත්තන්න නම් ඒ වැටුප තියෙන්නම ඕනේ.
සමගි ජන බලවේගයේ මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක් තමයි නාමයෝජනා ප්‍රශ්නය. මොකක්ද මේ නාමයෝජනා අවුල?
බොරු කියන්න ඕනෑ නෑනේ. අනිත් අයගේ ප්‍රශ්න නම් මම දන්නෙ නෑ. මට සජිත් ප්‍රේමදාස මහත්තයා ආරාධනා කළා. මම ගිහින් නාමයෝජනා භාර ගත්තා. කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩේ සිද්ධ වුණා. මම දන්නෑ අනිත් අයගේ ප්‍රශ්න. ප්‍රශ්න නෑ කියල කියන්නෙ නෑ. සමහර ප්‍රශ්න ඇති. හැබැයි අපේ පක්ෂය සුදුස්සාට සුදුසු තැන දෙනවා.
මේ පාර පාර්ලිමේන්තුවේ ඇතුළේ අලුත් මුහුණුවලට තැන දෙන්න කියලා ලොකු සමාජ කතාබහක් තියෙනවා. ඒක සාධාරණද?
ඕනෑම ආයතනයක බලන්න. හැට පහෙන් පස්සේ මිනිස්සු විශ්‍රාම යනවා. ඒත් මේ දේශපාලනඥයෝ හැට පැනලත් දේශපාලනය කරනවා. මේ රටට අවශ්‍ය දක්ෂ, තරුණ නායකයෝ. ඒ අයට වැඩ කරන්න පුළුවන් කාලේ වැඩ කරන්න දෙන්න ඕනෑ. ඒවා මගහරවලා එක්තරා කල්ලියක් විසින් රට පාලනය කරන එක හරි නෑ.
ඔබ කොළඹ අපේක්ෂකයෙක්. කොළඹ කියන්නේ ලෙහෙසි පහසු තැනක් නෙවෙයි. කොහොමද කොළඹ අත්දැකීම?
මේක වාණිජ නගරය කියලා කිව්වට මිනිස්සු සෑහෙන දුක් විඳිනවා. ඔය එළියට පේන දේවල්වලට වඩා ඇතුළේ ඉතාම ප්‍රශ්න. මිනිස්සුන්ගෙ ජන ජීවිතය නගා සිටුවන්න ඕනෑ. බොරැල්ලේ එක පැත්තකට ගියා. අවුරුදු හයක් තිස්සේ සිමෙන්ති කොට්ට හතරක් ඉල්ලලා තියෙනවා. කිසිම අපේක්ෂකයෙක් දීල නෑ, මේ පාරට කොන්ක්‍රීට් එකක් දාගන්න. ඒ නිසා කොළඹ එළියට පේන දේ නෙවෙයි ඇතුළෙ තියෙන්නෙ. අන්න ඒ වෙනස වෙනස් කරන්නයි මම දේශපාලනය කරන්නේ. කොළඹ මිනිස්සු ගොඩක් මට කැමතියි.
සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වුණොත් වර්තමාන ජනාධිපති එක්ක වැඩ කරන්න පුළුවන්ද?
සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වෙනවට මම කැමතියි. මොකද ඉස්කෝලයක් වගේ. ප්‍රින්සිපල්ට තියෙන්නෙ බලන් ඉන්න. කාර්ය මණ්ඩලය රට හදයි. ඒ නිසා ඒ සුසංයෝගයට මම කැමතියි. මේක ලංකා දේශපාලනය තුළ වෙනස්ම අත්දැකීමක් වෙයි. මම ඒ වෙනස දකින්න ආසාවෙන් ඉන්නේ. අනුර - සජිත් කියන සුසංයෝගය මේ රට හොඳ තැනකට අරගෙන යයි.
• ගයාන් ගාල්ලගේ