දින ගණනාවක් තිස්සේ රටම කැළඹූ කාලගුණය දැන් තරමක් සන්සුන්ව පවතී. ස්ථාන කිහිපයක හැර සෙසු ප්‍රදේශවල ගංවතුර ද බැස ගොසිනි. එහෙත් ගංවතුරට කොටු වූ බොහෝ දෙනකුගේ හදවත්වල ඇවිළුණු ගින්න නිවී ගොස් නැත. එක වසරක් තුළ දෙවරක් යට වූ ගම්පහ තත්වය වඩාත් බරපතළය. මහ වැසි ඇද වැටුණු සෙසු ප්‍රදේශවලද ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ බවද සඳහන් කළ යුතුය.
වැසි, කුණාටු සහ ගංවතුර වැනි ස්වභාවික ආපදා අපට වැළැක්විය නොහැක. නමුත් ඒ අවස්ථා නිසි ලෙස කළමනාකරණය කරගත හැකි නම් සිදුවිය හැකි හානිය ද අවම කරගත හැකිවනු ඇත. එය වඩාත් පහසුවෙන් කළ හැකි ක්‍රමවේද පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කිරීම බලධාරීන්ගේ වගකීමකි. එහෙත් බොහෝ විට සිදුවන්නේ ඇතැම් බලධාරීන් ද ස්වභාවික ආපදා කළමනාකරණය සඳහා වඩාත් උපයෝගී කරගත හැකි නගර සැලසුම්කරණය සම්බන්ධ වගකීම්වලින් කර ඇර සිටීමය.
එයට ප්‍රධාන හේතුව දේශපාලන බලාධිකාරයේ බලපෑම බව පැහැදිලිය.
මේ සඳහා හොඳම උදාහරණය ලැබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ගම්පහට ගංවතුර උවදුර අලුත් දෙයක් නොවන බවද කිව යුතුය. අත්තනගලු ඔය ඇතුළු ජලාශ ගණනාවක් මහ වැසිවලදී උතුරා යාම නිසා ගලන ගංවතුරට මහා මාර්ග පමණක් නොව ගේදොර ඉඩකඩම් ද යටවෙන අවස්ථා අතීතයේ සිට තිබිණි. නමුත් වර්තමානයේ පවතින බලවත්ම ගැටලුව වී ඇත්තේ ගම්පහ නගරයට ගලා එන ගංවතුර ආපසු බැස යාම ඉතා සෙමින් සිදුවීමයි. කාලයකට ඉහතදී එවැනි තත්වයක් නොතිබිණි. නමුත් දැන් තත්වය වෙනස් වී තිබේ. ඒ හේතුවෙන් එම ආපදාවට මුහුණදෙන ජනතාව විඳින්නේ අපා දුකකි.
ඇළ, දොළ, ගංගා උතුරා නගරයට කඩා වදින ගංවතුර ආපසු බැස නොයාමට ප්‍රධාන හේතුවක් වන්නේ මහජනතාවගේම ඇතැම් ක්‍රියාකාරකම් බවද කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. ඒ සඳහා දේශපාලන හිතවතුන්ගේ සහාය ලැබීමෙන් මේ ඇතැම් දෙනාට පායන කාලය තුළදී ගංවතුර උවදුරක් ගැන සිහියට නැගෙන්නේම නැත. මේ සියල්ල මතක් වෙන්නේ දෙගොඩතලා යන ගංවතුර තමන්ගේ දේපළ ද යට කරගෙන ගැලීමේදීය. එසේම ගංවතුර බැස යාම ඉක්මනින් සිදු නොවීම මේ තත්වය තවත් උග්‍ර කරවයි.
මේ ව්‍යසනකාරී තත්වය උදාවීමට ප්‍රධාන හේතුව ජනතාව විසින්ම සිදු කරන අනවසර ඉදිකිරීම්ය. මේ ඇතැම් ඉදිකිරීම් සිකුරාදා දිනවල සවස් යාමයේ ආරම්භ කර ඉරිදා රාත්‍රී කාලයේදී අවසන් කෙරෙයි. අවහිරයක් නැත්නම් ඊළඟ සති අන්තයත් මේ ආකාරයටම අනවසර ඉදිකිරීම සිදුවෙයි. මෙසේ සිදුවන විට ප්‍රාදේශීය සභා, නගර සභා බලපෑම්වලින් වැළකී සිටිය හැක. නමුත් මේ කාර්යය සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමැති සහ මහ ඇමැති දක්වා වන දේශපාලනඥයන්ගේ සහාය ද ලැබිය යුතුය. තමන්ට තිබෙන දේශපාලන වාසිය වෙනුවෙන් ප්‍රදේශයේ ජලය බැස යන ඉඩම් පමණක් නොව කාණු පද්ධති පවා ආවරණය කරමින් අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ හරින දේශපාලනඥයන් මේ ගංවතුර ව්‍යසනයට වගකිව යුතුය. අද ගම්පහ නගරයේ බොහෝ දෙනකු මහ වැස්සකදී පීඩාවට පත් වන්නේ මේ දේශපාලකයන්ගේ වැරැද්දෙනි. වෙනත් පළාත්වල වුවද අනවසර ඉදිකිරීම් සිදුවන්නේ ද දේශපාලන බලාධිකාරියේ සහාය ඇතිව බව නොරහසකි. කරුමය වී ඇත්තේ දේශපාලනයට කිසිදු සබඳතාවක් නැති අහිංසක නගර වැසියන්ට ද මේ පාප කර්මයේ ප්‍රතිවිපාකවලට කරගැසීමට සිදු වීමයි.
ගංවතුර තත්වය බැස යාමෙන් පසුව ඒ ගැන අමතක කර දැමීමෙන් මේ ගැටලුව විසඳෙන්නේ නැත. ස්වභාවික ආපදා කළමනාකරණයට විධිමත් නාගරික ඉදිකිරීම් සැලැස්මක් තිබීම අවශ්‍යමය. එවැනි සැලසුම් පොත්පත්වල පමණක් සඳහන් වීමෙන් පළක් නොවේ. වැසි ජලය ක්‍රමානුකූලව බැස යාමට හැකිවන සේ එම සැලසුම් ක්‍රියාවට නැංවිය යුතුය. දැනට හෝ එවැනි ඉදිකිරීම් පවතී නම් ඒවා ඉවත් කිරීමට වහා පියවර ගත යුතුය. එවිට මහ වැසි සහ ගංවතුර ගැලීම් අපට නැවැත්විය නොහැකි වුවද එයින් සිදුවන හානිය අවම කර ගැනීමට හැකිවනු ඇත. ගංවතුර ආපසු බැස යාමට ද වඩාත් පහසු වීමෙන් වැසි නැවතී පැය කිහිපයක් ඇතුළත ජනතාවට සහනයක් ලැබෙනු ඇත.