2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ජනාධිපතිතුමාට විරුද්ධවයි බහුතරය ඡන්දය දුන්නෙ

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බලවේගය එස්.එම්. මරික්කාර්

  • පාස්කුව විකුණගෙන කෑවා ඇති
  • අනුර කුමාර ජනාධිපතිතුමාගෙ පොරොන්දු තවම ඉටුවෙලා නැහැ
  • පාක්ෂිකයන්ගෙ උනන්දුව අඩු වුණාට අපිට ඡන්දය වැටෙනව

අපි දැක්කා ඔබේ පක්ෂයෙ නායකයත් ඔබලත් කියනවා, අනුර කුමාර ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුව කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන්ද?

වර්තමාන ජනාධිපතිවරයා 42% ක් ඡන්දෙ අරගෙන රට පාලනය කරමින් ඉන්නෙ. අපි ව්‍යවස්ථාවට ගරු කරන පක්ෂයක්. ජනාධිපතිතුමාට නොලැබුණු ඡන්ද ටිකත් රනිල් වික්‍රමසිංහ මහත්තයට ලැබුණු ඡන්ද ටිකත් එකතු වෙලා අපිට ලැබුණොත් බහුතරය අරගෙන ආණ්ඩුව කරන්න වෙන්නේ අපිට. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඒක සරල තර්කයක්.

අපි දන්නවා ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය තමයි බලයට එන්නෙ. අන්න ඒක කොහොමද සමගි ජන බලවේගයට ලැබෙයි කියලා විශ්වාස කරන්නේ?

දැන් ජනාධිපතිතුමා ලබාගත්තෙ 42% යිනෙ. ඔහුට විරුද්ධව බහුතර ඡන්ද ගොඩාක් තියෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත දේශපාලනය නොකරන නිසා එතැන විශාල ප්‍රමාණයකුත් තියෙනවා.

ඉතින් එක්සත් ජාතික පක්ෂය ගෑස් සිලින්ඩරයෙන් මේ පාරත් ඉල්ලනවනෙ. එතකොට ඒ ඡන්ද හම්බවෙයි කියලා කොහොමද විශ්වාස කරන්නෙ?

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දය ඉල්ලු‍වාට පස්සෙ පාක්ෂිකයෝ ඡන්දය දුන්නෙ දිනයි කියල බලාපොරොත්තුවෙන්. නමුත් ඔහු පරාජයට පත්වෙලා මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ. ඒ නිසා එජාපය එක්ක යන්න පුළුවන් එකම මුහුණුවරක් තියෙන එකම පක්ෂය අපේ පක්ෂය. ඒ නිසයි පාක්ෂිකයන්ට අපිව තෝරගන්න වෙන්නෙ. අපි උත්සාහ ගන්නවා. ඒ ඡන්ද ටික ලැබෙන්නෙ අපිට.

දැන් ජනාධිපතිවරයාත් ඔබලගේ අගමැති අපේක්ෂකයාත් අතර වෙනස අහස පොළොව වගේ. ඔය කියන දේවල් කරන්න පුළුවන් වෙයිද?

මිනිස්සු බලාපොරොත්තු වුණා කාරණා දෙකක්. එකක් හොරු අල්ලයි කියන එක. ඒක ජනාධිපතිට කරන්න පුළුවන්. අනෙක් කාරණය තමයි බඩු මිල අඩු කරලා රටේ ආර්ථිකය හදන එක. අන්න ඒක පුළුවන් අපිට කරන්න.

ජනාධිපතිවරණය පැරදිලා මහ මැතිවරණයක් කරනවා කියන්නෙ පාක්ෂිකයෝ නැවත කෙළින් කරලා ගන්න ඕනෑ. කොහොමද පාක්ෂිකයන්ගෙ උනන්දුව?

ජනතාවගේ උනන්දුව ටිකක් අඩුවෙලා තියෙනවා. ඒකෙන් කියන්නෙ නෑ ඡන්දෙ දාන්න යන්නෙ නෑ කියලා. වැඩිපුරම ගෙයින් ගෙට ගිහිල්ල තමයි ඡන්ද ව්‍යාපාරය අරගෙන යන්නෙ.

පහුගිය දවසක ගම්මන්පිල මහත්තයා පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව්වක් කළා. මන්ත්‍රීවරයෙක් හැටියට ඔබට ඒ අනාවරණය ගැන මොකද හිතෙන්නෙ?

ඕක එළි දක්වනවා නම් කලින් එළි දක්වන්න තිබුණා. ඡන්දය කට ළඟට එනකම් ඉන්න ඕනෙ නෑ.

වාර්තාව ඉදිරිපත් වෙලා තියෙන්නෙ සැප්තැම්බර් මාසෙනෙ?

මම නම් කියන්නෙ මේ පාස්කු සිද්ධිය දේශපාලනඥයෝ විකුණගෙන කෑවා ඇති. මඩේ දාල දාලා විනාශ කරලා තියෙන්නෙ. මිනිස්සුන්ට කිසිම සෙතක් නෑ. ඒ නිසා මේක දේශපාලන වේදිකාවේ මාතෘකාවක් කර ගන්න එපා.

මේ ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අඩි පාරෙම යන්නෙ කියලා ගොඩක් අය කියනවා. ඔබ හිතනවද ඒක ඇත්ත කියල?

මෙහෙමනේ. අනුර කුමාර මහත්තයා කිව්වා බඩු මිල අඩු කරනවා කියලා. වැට් අඩු කරනවා කිව්වා. පඩි වැඩි කරනවා කිව්වා. ඒ කිව්ව කිසි දෙයක් මාසයක් ඇතුළත වෙලා නෑ. අයි.එම්.එෆ් එක එක්ක සාකච්ඡා කළාට බදු අඩු වුණෙත් නෑ. ඒ නිසා කරන දෙයක් නම් පේන්නෙ නෑ.

ඇත්තටම කොළඹින් සමගි ජන බලවේගයට ඉඩක් ලැබෙන පාටක් නෑ නේද? මොකද කවදාවත් නැතුව එජාපයේ බල කොටුවක් වුණු කොළඹ මාලිමාවට ගියා?

 කොළඹ දිස්ත්‍රික්කයේ 282000 ක් ඡන්දය දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයට. එතුමා දිනයි කියලා දුන්නෙ. දැන් මේ පාර එතුමා ඉල්ලන්නෙ නැති නිසා අපිට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ දුන්න ඡන්ද ටිකෙන් බහුතරයක් ලැබෙන්නෙ අපිට.

මේ පාර කීයක් විතර සමගි ජන බලවේගයෙන් යයිද පාර්ලිමේන්තුවට?

ඒක කියන්න බෑ. ඒක තීරණය වෙන්නෙ ජනතාවගේ ඡන්දය එක්ක.