මාතර දිස්ත්‍රික් අපේක්ෂක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පසඳ යාපා අබේවර්ධන
දේශපාලන වශයෙන් ඉතාම සංකීර්ණ මොහොතක්. ඔබත් ඔබේ පියාත් කාලයක් මේ රටේ දේශපාලනය කරපු අය. ඒත් ඔබලා කරපු දේශපාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු මොහොතක්. එවන් අවස්ථාවක දේශපාලනය කරන්න තෝරගත්තේ ඇයි?
මම ඔබ කියන දේ පිළිගන්නවා. මේක ඉතාම අසීරු මැතිවරණයක්. මේක මගේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය. මේ රටේ තුන්වැනි බලවේගයක් ආණ්ඩු කරන මොහොතක්. අපි උත්සාහ ගන්නේ විපක්ෂය හැටියට පාර්ලිමේන්තුවට යන්න.
මම අහන්නේ ඔබ මේ පාර ඉල්ලන්නේ ඇයි?
මං වගේ තරුණයෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනෑ. මම හිතන්නේ මේ වෙලාවේ පාර්ලිමේන්තුවට වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ඇති කරන්න අපි වගේ අය පාර්ලිමේන්තු යන්න ඕනෑ.
දැන් ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කළොත් මොකක්ද ඇතිවන වෙනස?
අපි දන්නවා පහුගිය කාලේ පුරාම පත්වුණු මැති ඇමතිවරු කිසිම කෙනෙක් ජනතාවට වග කිව්වේ නෑ. මේ නිසා ජනතාවට දේශපාලනඥයන් කෙරෙහි දැඩි වෛරයක් තිබුණේ. ඒ ඇතිවුණු වෛරය 2024 සැප්තැම්බර් 21 දා මිනිස්සු පිට කළා.
ඒ කියන්නේ ඔබලා එක්ක තිබුණු වෛරය නිසානේ?
වෛරයෙන් හිටිය ජනතාවට මාලිමාව හොඳ පාරක් පෙන්නුවා. ඒ තමයි වංචාව දූෂණය නතර කරනවා කියලා. ඒ නිසා ජනතාව කැමති වුණා. මාලිමාවට ඡන්දෙ දුන්නා. ඒක පහුගිය දේශපාලනඥයන් විසින් ඇති කරපු වෛරයක්. කොහොම වුණත් දැන් හොඳ ශක්තිමත් විපක්ෂයක් ඕනෑ. අන්න ඒ විපක්ෂය හදන්න තමයි අපි යන්නේ. අපි පාර්ලිමේන්තු ගිහිල්ලා මාතර විතරක් නෙවෙයි, මේ රටේම දේශපාලනඥයන් කෙරෙහි ඇතිවෙලා තියෙන විරෝධතාවය වෙනස් කරනවා. හොඳ ගෞරවයක් ඇති කරනවා.
ඔබ කියනවා ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕනෑ කියලා. ඒ විපක්ෂය හදන්න ඔය කඳවුර තෝරගත්තේ ඇයි?
අපි හිටිය ජනාධිපතිතුමාට තමයි සහයෝගය දුන්නේ. ඒ සහය දුන්න කඳවුරෙන් ඡන්දය ඉල්ලන එක තමයි මම කරන්නේ. නමුත් අපි හිතනවා විපක්ෂයක් හැටියට අපි එකතු වෙයි කියලා.
ඇයි පොදු විපක්ෂයක් හදාගන්න බැරි වුණේ?
ඒකට හේතුව තමයි ගොඩක් දෙනෙක් පෞද්ගලිකත්වය ඉදිරියට දාගෙන ඉන්නේ. හැබැයි මම විශ්වාස කරන දෙයක් තියෙනවා. දැන් අර ඉස්සර වගේ කඳවුරු නෑ. දැන් බලන්න, මාලිමාවට ඡන්දය දුන්නේ පොහොට්ටුවේ මිනිස්සු. ඒ වගේම ජීවිතයේ කවදාවත් ඡන්දයක් නොදුන්න අය රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්දය දුන්නා. ඒ නිසා දැන් වම සහ දකුණ කියල කඳවුරු දෙකක් නෑ. අපි විපක්ෂයට ගිහිල්ලා මේ කඳවුරු දෙකම එකතු කරලා ශක්තිමත් විපක්ෂයක් හදන එක තමයි එකම අරමුණ.
මාතර දිස්ත්‍රික්කයේ ජනතාව කාලෙන් කාලෙට විවිධ දේශපාලන අත්හදා බැලීම් සිද්ධ කරනවා. හිතනවද ඔබව අත්හදා බලයි කියලා?
ඕක නම් මාතර විතරක් නෙවෙයි, මුළු රටේම ප්‍රශ්නයක්. 2008 න් පස්සේ රටේ දේශපාලනය කණපිට ගැහුවා. 2008 ට කලින් මිනිස්සු ඡන්දය දුන්නේ තමන්ව නියෝජනය කරන, මළ ගෙදරට මඟුල් ගෙදරට එන ගමේ මිනිස්සුත් එක්ක එකට ඉන්න උගත් බුද්ධිමත් මනුස්සයට. ඒත් 2008 න් පස්සේ ජනප්‍රිය පුද්ගලයාට, මාධ්‍ය සංදර්ශන දාන පුද්ගලයාට තැන දුන්නා. ඒ අය පාර්ලිමේන්තු ගියාම කිසි දෙයක් කරන්නේ නෑ. මොකද ඒ අය ණය නැති නිසා. මේ නිසා පාර්ලිමේන්තුව විනාශ වුණා. අනිත් පැත්තෙන් රට විනාශ වුණා. ඇත්තටම මේ මැතිවරණයෙන් පස්සේ එහෙම අයට පාර්ලිමේන්තුවට යන්න වෙන්නෙ නෑ.
බොහෝ දරුවෝ ඉන්නවා, තාත්තගේ හයියෙන් තමයි බලයට ආවේ. පසඳත් එහෙමද?
මම කිසිම දවසක තාත්තව නම් පාවිච්චි කරලා නෑ. මිනිස්සු දන්නවා මම ලක්ෂ්මන් යාපාගේ පුතා කියලා. ඒත් මිනිස්සු ගොඩක් මාව දන්නේ පසඳ යාපා කියලා. මං මගේ අනන්‍යතාවය 2014 ඉඳලා අමාරුවෙන් හදාගෙන ඉන්නේ. එක දෙයක් කියන්න ඕනෑ. ඇමැතිගේ මන්ත්‍රීගේ පුතාට ඡන්දෙ ඉල්ලන්න අයිතිය තියෙනවා. හැබැයි ඔහු උගත් බුද්ධිමත් පුද්ගලයෙක් වෙන්න ඕනෑ. ජනතාවට ආදරය කරන පුද්ගලයෙක් වෙන්න ඕනෑ. අපි එහෙම මිනිස්සු. මේ නිසා මේ පාර මම පාර්ලිමේන්තු යනවාමයි.