ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එරංග සේනානායක
මේක ඉතාම අසීරු තරගකාරී අවස්ථාවක්. ප්‍රධාන පක්ෂ සියල්ල කඩා වැටිලා. ඔබේ පොහොට්ටුව පවා. සමහර අය දේශපාලනය අත්හැරලා. ඒත් ඔබ තරුණ දේශපාලනඥයෙක් හැටියට පොහොට්ටුව වෙනුවෙන් බෙල්ල තියනවා. මොකක්ද ඒකට හේතුව?
මම කැමතියි බෙල්ල තියෙනවා කියනවට වඩා හිටපු ස්ථාවරයේම ඉන්න එක ගැන අගය කරනවට. මොකද අපි දන්නවා පහුගිය කාලෙම තරුණ තරුණියන් ගොඩක් බලාපොරොත්තු වුණේ මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක්. අන්න ඒ දේශපාලන සංස්කෘතිය අපි රකින්න ඕනෑ. මට පක්ෂ ගණනාවකින් ආරාධනා ලැබුණා මෙවර ඡන්දයට ඉල්ලන්න කියලා. හැබැයි මට ඕනෑ වුණේ තරුණ දේශපාලනඥයෙක් හැටියට ස්ථාවරයක ඉන්න. මොකද තරුණ දේශපාලනඥයෙක් හැටියට ආදර්ශමත් දේශපාලන ගමනක් තියෙන්න ඕනෑ.
ඔය ස්ථාවරය රැකගත්තට ඔබේ ජ්‍යෙෂ්ඨයෝ පාර්ලිමේන්තුව ආපුවම පක්ෂ මාරු කරනවා. පේනවනෙ ගම්පහ හිටිය සමහර අය පක්ෂ අත්හැරලා වෙන පක්ෂවල ඉන්නේ?
ඇත්තටම මට තනතුරු වරප්‍රසාදවලට පක්ෂය මාරු කරන්න අවශ්‍ය නෑ. මොකද අපේ පාක්ෂිකයෝ අපිත් එක්කමයි හිටියේ. අපි හැමෝම දන්න දෙයක් තමයි මාලිමාවට ඡන්දේ දුන්නේ අපේම කට්ටිය. ඒ දුන්න මිනිස්සු හිතන දෙයක් තියෙනවා, පක්ෂය අවසාන මොහොතේ තරුණයන්ට අයිති වෙයි කියලා. මොකද ඒ අයට ඕනෑ අභිමානවත් දේශපාලනයක්. පහුගිය මැතිවරණ කාලෙදි තරුණයෝ වගේම ජ්‍යෙෂ්ඨයොත් පක්ෂවලට පැන පැන යනවා. ගම්පහ කියන්නෙ අභිමානවත් නගරයක්. මම තුන් වතාවක් නගරාධිපති ලෙස කටයුතු කළා. මං පළවෙනි වතාවට තමයි ජාතික දේශපාලනයට යන්නෙ. දෙවතාවක් උත්සාහ කළා. යන්න දුන්නේ නෑ. නමුත් මේ අසීරු මොහොතේ මම මේ අභියෝගය භාර ගත්තා. ඒකට ස්තූතිවන්ත වෙන්න ඕනෑ, ගම්පහ මිනිස්සුන්ට. මම සූදානම් වෙලා හිටියේ නෑ. හැබැයි ගම්පහ මිනිස්සු තමයි මාව ඒකට සූදානම් කළේ. ඒ ජනතාවගේ විශ්වාසය මං දිගටම රකිනවා.
පොහොට්ටුවට පුළුවන්ද ඔළුව උස්සන්න ඉදිරියෙදී?
සීයට තුනේ තිබුණු සහ ගොඩක් අඩුපාඩු තිබුණු ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව බවට පරිවර්තනය වෙලා අද රටේ බලය අල්ලලා තියෙනවා. ඉතින් ඇයි අපිට බැරි අපේ වැරදි අඩුපාඩු හදාගෙන උඩට එන්න. යම්කිසි නරක නාමයක් වැදිලා තියෙනවා නම් අන්න ඒක වෙනස් කිරීමේ වගකීම තරුණ නායකයන්ට තියෙනවා. ඒක හදාගෙන පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයක් හදන එක තමයි අපේ අරමුණ.
විපක්ෂයේ කියලා ගියාට පස්සේ ආණ්ඩුවෙන් නවතින්නෙ. ඒක දැන් ලෙඩක් වෙලා තියෙන්නෙ?
තනතුරු වරප්‍රසාදවලට, එහෙම නැත්නම් යාන වාහනවලට යටවෙලා අපි පක්ෂ මාරු කළා නම් අද අපිට වෙන්නෙ ඒ අය කියන දේ කරගෙන ඉන්න. මම උදාහරණයක් කියන්නම්කො. කාලෙන් කාලෙට ගම්පහට එක එක අය එනවා. කාලයක් නළුවෝ ආවා, වියත්තු ආවා. ඒ කිසිම කෙනෙක් ගම්පහ හතර මායිම දන්නෙ නෑ. අන්තිමේ සියල්ල දාලා යනවා. හේතුව ගම්පහ මිනිස්සුන්ව ඒ අය අඳුරන්නෙ නෑ. ඒ අය ගම්පහ මිනිස්සුන්ගේ වේදනාව දන්නෙ නෑ. මම ඇත්තටම ජනතා ප්‍රශ්න අරගෙන පාර්ලිමේන්තු යන්න ඉන්නෙ. පහුගිය කාලේ කිසි කෙනෙක් නෑ ගම්පහ මනුස්සයගේ ප්‍රශ්නයක් අරගෙන යන්න.
දැන් ඔහොම දරදිය ඇදලා තමයි පක්ෂය ලොකු තැනකට ආපු ගමන් වැඩ කරපු මිනිස්සු කැපිලා වෙන අය ලොකු වෙන්නෙ. එරංගටත් ඒක වෙයිද?
මට අතීතයයි වර්තමානය ගැනයි නම් කියන්න පුළුවන්. ඒත් අනාගතය ගැන නම් කියන්න බෑ. හැබැයි එහෙම දෙයක් වුණොත් මම ස්වාධීන වෙලා හරි අපි විශ්වාස කරපු ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කරනවා. විශේෂයෙන් ගම්පහ මිනිස්සු මාව විශ්වාස කරලා පාර්ලිමේන්තු ඇරියොත් ඒ මිනිස්සුන්ගේ ඡන්ද වෙනුවෙන් මම වග කියනවා. ඇත්තටම පක්ෂ මාරු කළා නම් දිනන එකත් ලේසි වෙන්න තිබුණා. ඒත් මට ජනතාව සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයට මම වගකියන්න ඕනෑ.
ගම්පහ කියන්නෙ තීරණාත්මක ඡන්ද තියෙන දිස්ත්‍රික්කයක්. පක්ෂ ගණනාවක් ඡන්දෙ කරනවා. ලේසි වෙයිද දිනන්න?
ඕක තමයි කට්ටියට වැරදුණු තැන. අභියෝගයක් වෙන්නෙ මිනිස්සුන්ට වැඩ කරපු නැති අය. අපි ජනතාව වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. අදටත් කරදරයක් වුණාම එරංග සේනානායක නම මතක් වෙනවා. මොකද අපි ජනතාවට එතරම් සේවය කරලා තියෙනවා. එහෙම නැතුව බඩු මලු බෙදන්නයි, කෑම බීම දෙන්නයි අපි දේශපාලනය කරන්නෙ නෑ. විශේෂයෙන් ඡන්ද කාලයේ ඒ දේවල් කරන්නෙම නෑ. සමහර දේශපාලනඥයන් නිසා මමත් කලකිරීමෙන් ඉන්නෙ. හැබැයි මම දන්නවා මේ රට හදන්න පුළුවන් කියලා. තවමත් මිනිස්සුන්ට බොරු කියලා බඩු මලු බෙදලා ඡන්දෙ ලබාගන්න උත්සාහ කරනවා. බලය ගත්තාම පස්සෙ පේන්නවත් නෑ.
කොහොමද මේ කඩා වැටුණු පොහොට්ටුව නැවත ශක්තිමත් පක්ෂයක් බවට පත් කරන්නෙ?
ඇත්තටම වැරදි අඩුපාඩු ගොඩක් සිද්ධ වුණා. අපිට හම්බවුණු බලය ගැන අපි කියැවීමක් කළේ නෑ. ජාතික දේශපාලනය තුළ තරුණ දේශපාලනඥයෝ හැටියට අපිට ලොකු දෙයක් තියෙනවා කරන්න. ඒක තමයි තරුණ කට්ටිය බලාපොරොත්තු වෙන්නෙ. එහෙම නැතුව වතුර බෝතල් අදින්නයි, මඩු මලු බෙදන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඕනෑ නෑ. පාර්ලිමේන්තුවෙදි මන්ත්‍රී කෙනෙක් කියන්නෙ ව්‍යවස්ථාදායක නියෝජනයක්. ව්‍යවස්ථාදායකය කියන්නෙ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් නීති සම්පාදනය කරන ආයතනය. අන්න එතැනට ගිහිල්ලා අපේ වගකීම හරියට ඉෂ්ඨ කළොත් ජනතාව අපි වටා එකතු වෙනවා. එතකොට ඉබේම පක්ෂය ගොඩනැගෙනවා. ආයෙ නැවතත් බලය අල්ලගන්න පුළුවන් වෙනවා. අපි යන්නේ රට ගොඩනගන්නයි. ඒකට ඕනෑ. කෙනෙක්ට උදව් වෙන්න පුළුවන්.
• ගයාන් ගාල්ලගේ