කාලයකට පසු ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුව තිබේ. මුලින්ම මේ අනතුරු ඇඟවීම සිදු කෙරුණේ අමෙරිකාවෙනි. ඊළඟට මහා බ්‍රිතාන්‍යයෙනි. ඊට පසුව වැල නොකැඩී නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ රුසියාව මේ අනතුරු ඇඟවීම යාවත්කාලීන කර තිබිණි. මේ සියලු රටවල් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සංචාරයේ යෙදෙන විට දැඩිව සැලකිලිමත් විය යුතු බවය.
මේ එළඹෙමින් තිබෙන්නේ සංචාරකයන්ගේ පැමිණීම වේගවත් වන කාලසීමාවයි. ආරුගම්බේ යනු විදෙස් සංචාරකයන් අතර අතිශය ආකර්ශනයට ලක්වන ගමනාන්තයකි. මේ ගමනාන්තයේ රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට ඉඩ ඇති බවද එකී ආරක්ෂක නිවේදනවල සඳහන් වෙයි. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සිය කාර්ය මණ්ඩලයට ආරුගම්බේ සංචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගැනීමෙන් මේ අනතුරු ඇඟවීම කොතරම් බරපතළ ද යන්න තේරුම් ගැනීමට ප්‍රබල සාක්ෂියක් සපයයි.
ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් අනතුරු ඇඟවීම් සිදුකෙරෙන විට ඒ සම්බන්ධයෙන් රටේ ආරක්ෂක අංශවල උපරිම සූදානමක් ඇතිවිය යුතුය. එසේ නොවීම තුළ සිදුවිය හැක්කේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අප කළ යුත්තේ 2019 අප්‍රේල් 21 වැනිදා කෙරෙහි අවධානය යොමු කිරීම පමණි. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දින වකවානු සහ ස්ථාන ද සමඟ සවිස්තරාත්මකව ඉන්දියාව මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් තොරතුරු කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වීමෙන් සිදු වූ මහා වින්නැහියේ දෝංකාරය තවම අවසන් නැත. ඒ බව වත්මන් ආණ්ඩුව මෙන්ම ආරක්ෂක සේවා ප්‍රධානීන් ද දැන සිටිය යුතුය.
පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබුණේ අදාළ තොරතුරු ලැබීමෙන් පසුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කළ බවය. ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් වැඩි වශයෙන් පැමිණෙන බවත් ඔවුන් සඳහාම ප්‍රදේශයේ වෙනම ගොඩනැගිල්ලක් ද තිබෙන බවත්ය. එවැනි ගොඩනැගිල්ලක් පැවතීම පවා ත්‍රස්ත ප්‍රහාරකයන්ට පහසු ඉලක්කයකි. එසේම ආරුගම්බේ දෙසට අවධානය යොමුවන සේ තොරතුරු ලබා දී වෙනත් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීම ද සිදුවිය හැකිය. මේ හැම පැත්තක් කෙරෙහිම දැඩිව අවධානය යොමු කිරීම ආරක්ෂක අංශවලට පැවරෙන වගකීමකි.
ශ්‍රී ලංකාවට මේ “පරිප්පුව” කන්න සිදුවී ඇත්තේ රටේ වරදක් නිසා නොව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇවිලී ගිය යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ වනවිට එම යුද්ධය ගාසා තීරයෙන් ඔබ්බට ගොස් ඉරානය, යේමනය, ලෙබනනය දක්වාම පැතිර ගොස් තිබේ. මේ යුද්ධයේදී භාවිත වෙන්නේ ඉතා දරුණු සහ නවීන පන්නයේ ආයුධය. යුද්ධයේ යෙදී සිටින කිසිදු පාර්ශ්වයක් මිනිස් ජීවිතයක වටිනාකම හඳුනන්නේ නැත. ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරවලින් මියයන කුඩා දරුවන් සහ කාන්තාවන් සංඛ්‍යාව ඒ තත්වය පෙන්වා දෙන හොඳම උදාහරණයයි. මේ නිසා ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ද එල්ල විය හැක්කේ එවැනිම ම්ලේච්ඡ ප්‍රහාරයක් බව වටහා ගැනීම අසීරු නැත.
ජාත්‍යන්තර ගැටුම්වලදී අතරමැදියන් වීම ඉල්ලාගෙන කෑමකි. ඊශ්‍රායල ජාතිකයන් ලංකාවට සංචාරකයන් ලෙස පැමිණීම වැළැක්විය නොහැක. නමුත් ජාත්‍යන්තරයේ දරුණු ගැටුමක එක් පාර්ශ්වයක් වන ඊශ්‍රායලයේ සංචාරකයන් ආරුගම්බේ වැනි එකම තැනකට යොමු වී සිටීමේ අනතුර ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් ද වටහා ගත යුතුය. පාස්කු ප්‍රහාරය වැනි තවත් ම්ලේච්ඡ ප්‍රහාරයකට මේ රටේ තවත් අවස්ථාවක් දිය යුතු නැත.