කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සර්ව ජන පක්ෂය උදය ගම්මන්පිල
පහුගිය දවසක ඔබ විශේෂ හෙළිදරව්වක් සිද්ධ කළා. ඒත් හැමෝම කිව්වේ ඒක කිසි තේරුමක් නෑ කියලා. ඇත්තටම ඔබ කළේ කැම්පේන් එකක් නේද?
ඒක නම් ඇත්ත. මොකද මගේ කැම්පේන් කළමනාකරු වෙන්නෙ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා. ඔක්තෝබර් 6 වැනිදා කටුවාපිටිය පල්ලියට එතුමා ගිය වෙලාවේ පාස්කු වාර්තා දෙක එතුමාගේ අතේ තිබුණා නම් මට ඒ දෙක එළියට දාන්න කියලා කියන්න බෑ. එතුමා ශුද්ධ වූ ජනතා අයිතියක් ලෙස වාර්තා දෙක ප්‍රසිද්ධ කළා නම් මට කිසිම වෙලාවක ඒක ප්‍රසිද්ධ කරන්න බෑ. ආණ්ඩුව මට මඩ ගසමින්, තර්ජනය කරමින්, වියරුවෙන් හැසිරීම නිසා තමයි මට ඒ වාර්තා දෙක එළියට දාන්න පුළුවන් වුණේ. ඔබ හිතනවා නම් මට මේ හරහා යම්කිසි වාසියක් සිදුවුණා කියලා, ඒකෙ ගෞරවය සම්පූර්ණයෙන් අයිති වෙන්න ඕනෑ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයටයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහත්තයටයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් කතාබහක් සමාජය තුළ ඇතිවෙනකොට කවුරු හරි මොනවා හරි දෙයක් ඇදගෙන එනවා. මේක ඇත්ත හොයා ගැනීමට ලොකු බාධාවක්. ඔබ කළෙත් එවැනි දෙයක් නේද?
කිසිසේත්ම නෑ. ජනාධිපතිවරයාගේ වචනවලින් කියනවා නම් මහජන මුදලින් සකස් කරපු වාර්තා දෙකක් මහජනතාවගේ හිතසුව පිණිස, අයිතිය වෙනුවෙන් ප්‍රසිද්ධ කිරීමක් තමයි මම සිද්ධ කළේ. ඒ නිසා මගේ මේ හෙළිදරව්ව නිසා පරීක්ෂණවලට අගතියක් නෙමෙයි වෙන්නෙ, සහයක් තමයි වෙන්නෙ. දැන් බලන්න පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සිද්ධ කිරීම සඳහා එම ප්‍රහාරයට වගකිය යුතු නිලධාරීන් දෙන්නෙක් ඒ සඳහා යොදා ගැනීම හරහා සිද්ධ වෙන්නෙ පරීක්ෂණවලට අසාධාරණයක්. මොකද, ලෝකයම පිළිගත් කාරණයක් තමයි බැඳියාවන් සමඟ ගැටුම් ඇති අය යම් කාරණාවකදී මැදිහත් නොවිය යුතුයි කියලා. දැන් මෙතැන විත්තිකරුවා තමයි පරීක්ෂණ කරන්නෙ. මේක නිකම් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. නමුත් ඇත්තටම මෙතැන වෙන්නෙ හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්. පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා තිබුණු ලොකුම බාධාව තමයි මං ඉවත් කරන්න උත්සාහ කළේ. මේ වෙද්දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නඩු දාලා තියෙන්නෙ.
මේකට මහ මොළකරුවෙක් ඉන්නවා කියලා කියනවනෙ?
එහෙම කතා තියෙනවා. හැබැයි ඒවා හරියටම වෙලානෙ. රවී සෙනෙවිරත්න මහත්තයට මේ සම්බන්ධයෙන් ලිපියක් ලැබිලා තිබුණෙ අප්‍රේල් නව වැනිදා. නමුත් ඒ ලිපිය දවස් 16 ක් ඔහුගේ මේසය උඩ තියෙනවා. ඒකට ගත්ත ක්‍රියාමාර්ගයක් නෑ. අන්න ඒ ලිපිය වෙනුවෙන් ක්‍රියාමාර්ග නොගන්න, රවී සෙනෙවිරත්න මහත්තයට උපදෙස් දුන්නෙ කවුද කියන කාරණය හොයා ගත්තොත් මේ ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු හොයා ගන්න පුළුවන්.
ඡන්දෙන් පස්සෙ කැම්පේන් එක ඉවරයිනෙ. ඊට පස්සේ මේ වැඩේ අතහැරලා දානවා නේද
මං මේ ඇත්තමයි කියන්නෙ. මම මැතිවරණ කැම්පේන් එක පටන් ගන්නකොට ජනාධිපතිවරයා කටුවපිටිය පල්ලියට යන බව දන්නෙත් නෑ. මේ වගේ වාර්තා දෙකක් මගේ අතේ තිබුණෙත් නෑ. මහ මැතිවරණය කැඳවන්නෙ සැප්තැම්බර් 24. මට මෙම වාර්තා දෙක ලැබෙන්නෙ ඊට දින දාසයකට පස්සෙ. මැතිවරණය කැඳෙව්වෙ ජනාධිපතිතුමා. වාර්තා දෙක තියාගෙන කටුවපිටිය පල්ලියට ගියෙත් එතුමා. මේ වාර්තා දෙක ඉදිරිපත් කරන්න කියලා කියද්දිත් ඒක ඉදිරිපත් නොකළේ එතුමා. ඒ නිසා මගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා එතුමා උදව් කරනවා කියලා මම දන්නෙ නෑ. නමුත් මේක මගේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් නෙමෙයි.
කොහොම වුණත් මේක කැම්පේන් එකට වාසියක් නේද?
අනේ නෑ. මේකෙන් මට වුණේ අවාසියක්. මොකද මම කැම්පේන් එක පටන් ගත්තාම මගේ අංකය පසුබිමේ තියාගෙන තමයි ප්‍රෙස් තියන්නෙ. ඒත් මට ඔක්තෝබර් 24 වෙනකම් මාධ්‍ය හමුවක් තියාගන්න බැරි වුණා, මෙන්න මේ ප්රශ්නය නිසා. මොකද මම මේක මැතිවරණ ප්‍රචාරණයට ගාව ගත්තෙ නෑ. ඒ නිසා මට සිද්ධ වුණේ ලොකු අවාසියක්.
ජනාධිපති කාර්යාලයේ එකක් වෙන කෙනෙක්ගෙ අතට යන්න විදිහක් නෑ. මේක ඇත්තටම දුන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා නේද?
මම මේ අවුරුදු ගණනක දේශපාලන ගමන තුළ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනයට එරෙහිව කටයුතු කළ කෙනෙක්. අඩුම තරමේ වර්තමාන ජනාධිපති තරම්වත් මම එතුමා එක්ක දේශපාලනය කරලා නෑ. අනික ඒ වගේ දෙයක් මට දෙන්න එතුමට අවශ්‍යතාවයක් නෑ. මොකද එතුමගේ පක්ෂයේ විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ පිරිස් ඉන්නකොට මට දෙනවා කියන්නෙ එතුමා ඒ පක්ෂයට කරන ද්‍රෝහිකමක්.
බෞද්ධයන් වෙනුවෙන් විශාල වශයෙන් වැඩ කටයුතු කරන ඔබ බෞද්ධ නායකයෙක් හැටියටයි හඳුන්වන්නෙ. ඒත් මේ වෙනසත් එක්ක ඔබ කතෝලික ඡන්දත් ලබාගන්න නේද උත්සාහ කරන්නෙ?
මම හැමදාම වැඩ කළේ ජනතාවගේ යුක්තිය වෙනුවෙන්. එහෙම නැතුව ආගමික කාරණයක් නෙමෙයි. මට එහෙම ආගමික කෑලි අවශ්‍ය නෑ. මම හොයන්නෙ පාස්කු වින්දිතයන්ට යුක්තිය නෙමෙයි. වෙනස් දෙයක්.
ඒ මොකක්ද ඒ?
තමන්ගෙ දේශපාලන සගයන් පිරිසක් ආරක්ෂා කරගන්න, බලය වැරදි විදියට යොදා ගැනීම සම්පූර්ණයෙන් වැරදියි. අනිත් කාරණය පොලිසිය විසින් සිදු කරන පරීක්ෂණය සඳහා ඒකෙ විත්තිකරුවන් දෙන්නෙක් ඉහළ පුටුවල ඉන්න එක බැඳියාවන් පිළිබඳ ගැටලුවක්. ඒ නිසා මේ කාරණා දෙකට උත්තරයක් ඕනෑ. අනික මේ සිදුවීම ආගමික කෑල්ලක් නෙමෙයි. ඒ කතෝලිකයන්ට අයිතියක් කියල නෙමෙයි. ඒක මේ රටේ ප්‍රශ්නයක්. මොකද මිලියන 22 ම දුක් වින්දා මේ ප්රශ්නය නිසා. එහෙම කියන අය මේක දිග පළල දන්නෙ නෑ. කතෝලික මිනිස්සු විතරක් නෙමෙයි, විදේශිකයන් තිස් ගාණකුත් මිය ගියා. ඒ නිසා මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. මේක වෙනුවෙන් කවුරුත් කාටවත් ඔප්පු ලියාගන්න බෑ.
ඔය කියන කෑල්ල ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරපු පරීක්ෂණවලදී තිබුණෙ නැත්තෙ?
ඒක අහන්න ඕනෑ මගෙන් නෙමෙයි, පරීක්ෂණ කරපු කොමසාරිස්වරුන්ගෙන්. මොකද ඒවා කළේ ආණ්ඩු විසින් නෙමේ. අනිත් කාරණය, ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කරපු කොමිෂන් සභාවකුත් නෙමේ. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කළේ. ඒ හිතෙන දේ තමයි ඔය පරීක්ෂණ සිද්ධ කරනකොට දෙන්න හිටියේ සී.අයි.ඩී එකේ ඉහළ පුටුවලට. ඒ නිසා මේවා යට ගහන්න ඒ අයගේ බලය පාවිච්චි කරන්න ඇති කියලා සැකයක් තියෙනවා. අයින් වුණාට පස්සෙ තමයි මේක හෙළි වුණේ.
මොන දේ කිව්වත් ගොඩක් අය කියන්නෙ අපි මාලිමාවට කියලා. ඒ නිසා ඕවා කවුරුත් ගණන් ගන්නෙ නෑ වගේ නේද?
මාලිමාව නෙමෙයි, කවුරු කළත් වැරැද්ද වැරැද්ද විදිහට දකින පුරුදු වෙන්න ඕනෑ. කිසිම පක්ෂයකට වහල්භාවයක් ඇති කරගන්න නරකයි. ඒ නිසා තමයි අපි ආණ්ඩුව ඇතුළේ වුණත් යුක්තිය වෙනුවෙන් සටන් කළේ. ඒකයි අපි බය නැතුව එළියට බහින්නෙ. මම දැක්කා මොනවා වුණත් අපි මාලිමාවට කියනවා. ඒ කියන්නෙ ඕන වැරැද්දක් කළත් මාලිමාව ඒ අය රකිනවා. ඉතින් ඒකද මේ වෙනස.
• ගයාන් ගාල්ලගේ