මාතර දිස්ත්‍රික් අපේක්ෂක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ දොස්තර චමීර යාපා අබේවර්ධන
මේ වෙලාවේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙලා ඉන්නෙ මාලිමාවේ නායකයා. දැන් ඔවුන් ආණ්ඩු බලය ඉල්ලනවා. තව කට්ටියක් ශක්තිමත් විපක්ෂයක් හදන්න අදහස් කරනවා. ඔබලගේ කණ්ඩායම අපේක්ෂා කරන්නෙ මොකක්ද?
මේ ජනාධිපතිවරයා පත්වුණේ විශාල රැල්ලක් එක්ක. කොවිඩ් අර්බුදයත් එක්ක ආර්ථික අර්බුදයක් ආවා. ඒ එක්කම අරගලයක් බිහි වුණා. ඒ හරහා ජනතාවගේ විරෝධයක් ආවා දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන්. අන්න ඒකට ප්රතිවිරෝධයක් හැටියට තමයි වර්තමාන ජනාධිපතිවරයා පත් වෙන්නෙ. ආණ්ඩු බලය ගන්න විවිධ පොරොන්දු දෙනවා. ඒත් ඒවා ප්‍රායෝගික භූමියේ ක්‍රියාත්මක කරන්න බෑ. කොහොම වුණත් අඩු ඡන්ද ප්‍රතිශතයක් තිබිලත් ජනාධිපතිවරණය ඉවර වුණු ගමන්ම මහ මැතිවරණයකට ගියේ ඒ ආණ්ඩු බලය ලබා ගන්න. අන්න ඒ වගේ වෙලාවක මේ රට තුළට ශක්තිමත් විපක්ෂයක් ඕනෑ.
ඔබ ඉදිරිපත් වුණේ?
ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මේ පවතින දේශපාලන සංස්කෘතියේ වෙනසක්. ඒ නිසා පවතින ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් සඳහා මේ වෙලාවේ මැතිවරණයට මුහුණ දෙන එක එක්තරා ආකාරයක යහපත් ක්‍රියාවක්. ඒ නිසා මේ පාර ශක්තිමත් විපක්ෂයක් හදනවා වගේම මේ නව දේශපාලන සංස්කෘතික වෙනසක් ඇති කරන්න අඩිතාලම දාන්නත් ඕනෑ.
මේ මැතිවරණයේදී පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු බහුතරයක් ඡන්දය ඉල්ලන්නෙ නෑ. ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිහිල්ලා. ඔබේ පියාත් ඒ අතර ඉන්නවා. හැබැයි සමහර අය කියනවා මේ සඳහා පරිණත අයත් ඉන්න ඕනෑ කියලා. මොකක්ද ඔබේ අදහස?
ඔබ කියන අන්ත දෙකේම නෙමෙයි, මම ඉන්නෙ මැද. දැන් බලන්න ශක්තිමත්ව රට පාලනය කිරීමක් කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඔහු දශක ගණනාවක දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්. ඔහු මේ රට බේරගත්ත නායකයා. හැබැයි ආර්ථික අර්බුදය ආව වෙලාවේ මෙරට බේරගන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමාට තියෙන්නෙ ඉහළ පෙළේ ජාත්‍යන්තර සම්බන්ධතා. ඒවා උපයෝගී කරගෙන තමයි මේ රට බේරා ගත්තෙ. ඒ නිසා නවකයෝ විතරක්ම ඉඳලා හරියන්නෙත් නෑ. පරිණත අය විතරක් ඉඳලා හරියන්නෙත් නෑ. මේ දෙගොල්ලොම මිශ්‍රණය වෙලා ඉන්න ඕනෑ. නව අදහස් එක්ක, පරිණත අයගේ දැනුමත් එක්ක යන්න ඕනෑ.
ඔබගේ පියාගේ සම්බන්ධතාත් එක්ක ඔබට තිබුණා වෙන පක්ෂයක් හොයා ගන්න. ඇයි මේ ගෑස් සිලින්ඩරම හොයා ගත්තෙ?
මම බොරු කියන්න කැමති නෑ. ඇත්තම කියන්නම්. මගේ ස්ථාවරය වුණේ පොදුජන පෙරමුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එකට ඉන්න ඕනෑ කියලා. ඒකට හේතු ගණනාවක් තිබුණා. එහෙම නොවුණා නම් මේ රටේ අනාගතයේ ඇතිවන දේශපාලන ස්ථාවරය සම්බන්ධයෙන් අපි ප්‍රශ්නයක් තිබුණා. මොකද පවතින ආර්ථික අර්බුදයත් එක්ක ඒකට විසඳුමක් හොයන්න පුළුවන් උපරිම ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපේ අදහස තිබුණෙ ජනාධිපතිවරණයේදී එකට එකතු වෙලා ඉල්ලලා අපිට අනන්‍යතාව ඇති දේශපාලනය වෙනම මහ මැතිවරණයේදී කරන්න. අන්න ඒ අදහස පක්ෂය පිළිගත්තෙ නෑ. ඇත්තටම මහින්ද මහත්තයට අපි කළගුණ සලකන්න ඕනෑ. ඒ ස්ථාවරයේ මම ඉන්නවා. හැබැයි නවකයෙක් හැටියට දේශපාලනයට පිවිසෙනකොට ස්ථාවරයක් තියෙන දේශපාලන පක්ෂයක් එක්ක එන්න ඕනෑ. ඒ නිසයි මම මේක තෝරා ගත්තෙ. තුන්වැනියට මම පිළිගන්න දෙයක් තියෙනවා. මේ පක්ෂ අවසාන මොහොතේ ප්‍රබල විපක්ෂයක් බවට පත් වෙනවා. ඒ නිසා අද මේ බෙදීම් තාවකාලිකයි.
ඔබ පියාගෙන් දේශපාලනයට එන කෙනෙක්. ඒ දේශපාලන සංස්කෘතිය ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ. ඔබ තරුණයෙක් හැටියට ඒ දේවල් මැඩගෙන කොහොමද ජනතාවගේ හිත දිනාගන්නෙ?
ඔබට මම ඒකට උදාහරණයක් කියන්නම්. 2019 දී සියයට තුනේ තිබුණු පක්ෂයක් සියයට 42ක් අරගෙන ජනාධිපති කෙනෙක් පත් කර ගන්නවා. 2019 දී හැටනම ලක්ෂයක් තිබුණු පක්ෂයක්, තුනෙන් දෙක තිබුණු පක්ෂයක් 2024 ලක්ෂ දෙකකට සීමා වෙනවා. ඒ නිසා එවැනි දේශපාලන උච්ඡාවචණයක් තියෙන මොහොතක අද මට දාහක් ඡන්ද හම්බවුණත් තව අවුරුද්දකින් ලක්ෂය පන්නන්න පුළුවන්. අද ලක්ෂයක් හම්බවුණොත් ඊළඟ ඡන්දෙදි දහදාහක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ පහුගිය කාලෙ තිබුණු දේශපාලන සංස්කෘතිය. අන්න ඒකට අපි හැමෝම වග කියන්නත් ඕනෑ. මොකද මහජනතාව වුණත් දිශානතියක් නැති දේශපාලන සංස්කෘතියක් තෝරගත්තෙ පැවතුණු ක්‍රමය නිසා. මම කාටවත් දොස් කියනවා නෙමෙයි. නමුත් ඇත්ත කියන්න ඕනෑ. ආර්ථික ප්‍රපාතයකට පස්සේ ඕනෑම රටක ඇතිවන තත්ත්වයක් මේක. ඔබට මතක ඇති එංගලන්තය තුළ අවුරුද්දක් ඇතුළත අගමැතිවරු හය දෙනෙක් මාරු වුණා. ලෝකයේ දේශපාලන තත්ත්වය ඒ වගේ මොහොතක අපේ දිනන පරදින එක එච්චර හිතන්න නරකයි.
ඔබ පාර්ලිමේන්තු ගියොත් මොකද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
වර්තමාන ආණ්ඩුව හොඳ දෙයක් කරන එකට අනිවාර්යෙන්ම සහය දෙනවා. හැබැයි ජනතාවට අහිතකර දෙයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මම හඬ නගනවා. මොකද ආණ්ඩුව හරි, ජනාධිපතිවරයා හරි ඡන්දෙන් පත්වෙලා ඇවිල්ලා ඉන්නෙ. අපි හැමෝම නියෝජනය කරන්නෙ මේ රටේ ජනතාව. ඒ නිසා අපි තීරණය ගන්න ඕනෑ රටේ ජනතාව පැත්තෙන්. එහෙම නැතුව අපේ පෞද්ගලික අදහස් නෙමෙයි.
• ගයාන් ගාල්ලගේ