2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

සජිත් අපට ආණ්ඩු කරන්න කතා කිරීම විහිළුවක්

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ජාතික ජන බලවේගය නීතිඥ උපුල් අබේවික්‍රම

  • අපි රාජ්‍ය දේපළ විකුණගෙන කන ආණ්ඩුවක් නෙවෙයි
  • අපි ඉතිහාසය වෙනස් කළා මේ ඡන්දය ඉහළින්ම ජය ගන්නවා
  • රට බංකොළොත් කළ රනිල් දැන් රට හදන හැටි කියල දෙනවා

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයේදී සියයට පනහයි එකක් වැඩිපුර ගන්න ඕනෑ. ඒත් අනුර කුමාර ජනාධිපතිවරයා ලබාගත්තෙ සියයට හතළිස් දෙකයි. මේ තත්ත්වය මහ මැතිවරණයේදී අඩුවෙයි කියලා ගොඩක් අය කියනවා?

මෙහෙමයි. ගොඩක් අය හිතුවා සියයට තුනේ හිටිය අපි ජනාධිපති කෙනෙක් හදාගන්නෙ කොහොමද කියලා. ඒත් අපි කිව්ව දේ තමයි දේශපාලනය කියන්නෙ සමාජ විද්‍යාවක්, අංක ගණිතයක් නෙමෙයි කියලා. මතක තියාගන්න අපි සියයට තුනේ බලය ගත්තෙ අනිත් අයට රාජ්‍ය බලය, මාධ්‍ය බලය සියල්ල තියෙද්දි. ඒ නිසා ඒක විශාල අභියෝගයක්. ඒත් බලන්න ඉතිහාසයේ කවදාවත් නැතුව මේ මැතිවරණය ඉතාම සාමකාමීයි. අපි බලය ගත්තාම හැමෝටම අවස්ථාව ලබා දීලා තියෙනවා තමන්ගේ දේශපාලනය කරන්න. සම අයිතිය හැමෝටම ලබා දීලා තියෙනවා. ඒත් ඉතිහාසයේ කවදාවත් ඒ වගේ දේවල් වුණේ නෑ.

මේ පාර බලය තියෙන නිසා මාධ්‍ය බලයයි දේශපාලන බලයයි දෙකම දාලා ආණ්ඩුව දිනයි නේද?

මම කිව්වේ ඒකයි. අපිට සියයට පනහකට එහා යන්න බැරි වුණේ ඒ බලය නොතිබුණු නිසා. ඉතින් ඒ නිසා ජනතාව ගොඩක් මගහැරුණා. ජනතාව කැමතියි දැන් ඒකට සහය දක්වන්න. අපිව හම්බුණාම ඒ අය කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ පාර ජයග්‍රහණය ඉතාම ඉහළින් සමරන්න පුළුවන්. මම හිතනවා සියයට හැට හැත්තෑවට තල්ලු‍ වෙයි කියලා. මේ පාර ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙනවාමයි. මෙය ජාතික පුනරුද ව්‍යාපාරයක් හැටියට ජනතාව වැළඳ ගනිමින් ඉන්නෙ.

ඔබලට විශාල චෝදනාවක් තියෙනවා ඔබලා තවම ගෙන යන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්තිය කියලා?

මෙහෙමයි. අපි තාම පත් කරලා තියෙන්නෙ ජනාධිපති කෙනෙක් විතරයි. අපේ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපේ අය පාර්ලිමේන්තුවට යන්න ඕනෑ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු බලය ඕනෑ. අනික ඔබ දන්නවා එහෙම සමාජ ප්‍රතිසංස්කරණ කරන්න බෑ. එහෙම කරන්න ගියාම ප්‍රශ්න වැඩියි. අපි පරිණත දේශපාලන ව්‍යාපාරයක්. නිසි වෙලාවට ජනතාවට අවශ්‍ය පරිවර්තන සිදු කරමින් යනවා. මතක තියාගන්න ඉතිහාසයේ පළවෙනි වතාව තමයි අපේ අපේක්ෂා සහ ජනතාවගේ අපේක්ෂා මුහුණට මුහුණ හම්බවුණේ. ඒ නිසා ලබන 14 දායින් පස්සෙ ආර්ථික ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ සියල්ල අපි සිදු කරනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය මේ දවස්වල කියන දෙයක් තමයි, ඒ අයට පුළුවන් කියලා අනුර කුමාර දිසානායක මහත්තයා එක්ක ආණ්ඩුව කරන්න පුළුවන් කියලා?

 ඕවා නම් හිනා යන කතා. සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ඉන්නෙ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ හිටිය අය. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක දිනන්න බෑ කියලා පක්ෂ මාරු කරපු අය. ඒ අය ආණ්ඩු කරපු හැටි අපි දන්නවා. අන්න ඒ වගේ අයත් එක්ක මොන ආණ්ඩු කෙරිලිද? ජනතාව බලාපොරොත්තු වෙන්නෙ අලු‍ත් ආණ්ඩුවක්. ඒ තමයි මාලිමා රජයක්. එහෙම නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ආණ්ඩු කරන්න නෙමෙයි. දැන් එයාලට කරන්න දෙයක් නැති නිසා ඕවා කියනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා කිව්වා පළපුරුදු අය පාර්ලිමේන්තු යවන්න. එහෙම නැතුව අලු‍ත් අය යවන්න එපා කියලා. එහෙම ගියාම රටක් පාලනය කරන්න බෑ කියලා?

රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු පනහකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ අයගේ උපදෙස්, උපක්‍රම යොදාගෙන තමයි 2022 මේ රට බංකොලොත් වුණේ. එයාගේ පරිණතභාවය නිසා තමයි ඉඳිකට්ටක්වත් හදාගන්න බැරි රටක් හැදුවෙ. මේ රට ණය වෙලා, විකුණලා ආර්ථිකය හදපු එක තමයි ඒ අයගේ පරිණතභාවය. ඒ නිසා අපිට ඒ අයගේ උදව් අවශ්‍ය නෑ. මතක තියාගන්න ලෝකය වෙනස් වෙන්නෙ නව අත්හදා බැලීම් එක්ක. රනිල් වික්‍රමසිංහ මහත්තයලා රාජ්‍ය දේපළ විකුණලා ඒ සල්ලිවලින් ඩොලර් සංචිත‍ය වැඩි කරලා කුස්සියට වාසි දෙන්න හැදුවේ. අනේ එහෙම සහයක් අපිට කොහෙත්ම ඕනෑ නෑ. ළඟින්වත් යන්න කැමති නෑ.

ඔබ පාර්ලිමේන්තු ගිහිල්ලා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

වෙන පක්ෂ වගේ අපිට ලොකු ඇමැතිකම්, මන්ත්‍රී ධූර අවශ්‍ය නෑ. අපි කණ්ඩායමක් හැටියට වැඩ කරන්නෙ. විශේෂයෙන් මම නියෝජනය කරන්න දොම්පේ ආසනය. අපේ වැඩපිළිවෙළත් දොම්පෙ ආසනයත් සමස්ත වැඩපිළිවෙළේ කොටසක් හැටියට යා කරනවා. මේ ආසනේ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, ගංවතුර, මේ ප්‍රශ්න සියල්ලට මං උත්තර හොයනවා. ඒවා අපි ක්‍රියාවට නංවනවා. දොම්පෙ ආසනය විතරක් නෙමෙයි, මේ රටේම ජනතාවගේ හඬක් වෙන්න තමා උත්සාහ කරන්නෙ.

 

• ගයාන් ගාල්ලගේ