පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 67 දෙනකුම ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත. මේ කිහිප දෙනකුම එවැනි තීන්දුවක් ගෙන තිබුණේ ජනාධිපතිවරණයටත් කලින්මය. තවත් කට්ටියක් ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව තීන්දුව ගෙන තිබිණි. තවත් කිහිප දෙනකු සද්ද නැතුවම මහ මැතිවරණයෙන් ලිස්සා ගොස් තිබේ. මේ සියලු දෙනාම විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීලාය.
ඉදිරිපත් නොවන මන්ත්‍රීලා අතරේ පක්ෂ නායකයන්ද සිටීම කැපී පෙනෙයි. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඡන්දයට ඉදිරිපත් වී තරග නොකරනවා පමණක් නොව ජාතික ලැයිස්තුවේද නැත. ඔහු තමා තරග නොකරන බව මහ මැතිවරණය පවත්වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව කිව්වේය. ඊළඟ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමටද අදහසක් නැති බවත් සඳහන් කළේය. (එසේ වුණත් 2020 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදී පරාජය වූ රනිල් පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු ඇවිත් අගමැති වී ජනාධිපති ධුරය ද දැරුවේය.) මේ නිසා ජාතික ලැයිස්තුවේ නම නැතත් තම සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණීමට රනිල්ට බාධාවක් නැත.
රනිල් පමණක් නොව පක්ෂ නායකයන් වන මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන (ජාතික ලැයිස්තුවේ සිටී) මෙවර තරග කරන්නේ නැත. යූ.එන්.පීයේ නම් පක්ෂ සභාපති වජිර අබේවර්ධන පමණක් නොව මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ද ඉන්නේ තරග නොකරන ලැයිස්තුවේය. ඔවුන් ජාතික ලැයිස්තුවලද නැත. සමහරුන් තමන් දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නා බවද කියා තිබිණි. තවත් අය කිව්වේ තමන් පවතින දේශපාලන තත්ත්වය ගැන තිබෙන කලකිරීම හේතුවෙන් මෙවර තරග නොකරන බවය.
මෙහෙම තත්ත්වයක් පවතින විට විපක්ෂය මහ මැතිවරණයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක හිතාගන්නත් අමාරුය. මෙහෙම තත්ත්වයක් මීට පෙර ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වූ මහ මැතිවරණවලට උදා වුණේ නැත. මේ තරම් පසුපසට අදිමින් මහ මැතිවරණයකට මුහුණ දෙන විපක්ෂයක් ද නොතිබිණි. ඒ පසුබැසීම මැද තරග කරන විපක්ෂයේ හැමදෙනාම වාගේ කියන්නේ අපට ශක්තිමත් විකල්පයක් හදන්න බලය දෙන්න කියාය. සජිත් ප්‍රේමදාස කියා තිබුණේ අනුර කුමාර ජනාධිපති සමඟ වැඩ කළ හැකි ආණ්ඩුවක් හදාගන්න පාර්ලිමේන්තුවේ බලය දෙන්න යනුවෙනි. විපක්ෂය ඒ තරම් ලොකු ගැම්මකින් තම ප්‍රචාරක කටයුතු මෙහෙයවන්නේ නැති බවට මේ කතා හොඳ උදාහරණයකි. පූර්ව මැතිවරණ සමය තුළ තිබිය යුතු උද්ඝෝෂණ ද විපක්ෂයෙන් දැකගත නොහැක. ඔවුන් සංවිධානය කරන ජන හමු පවා බොහෝ දුරට සීමිත ඉඩකඩක් තිබෙන ස්ථානවල පැවැත්වීමද කැපී පෙනෙයි.
විපක්ෂයට මෙවැනි ඉරණමකට මුහුණදීමට සිදුව තිබෙන්නේ රට තුළ ජනාධිපතිවරණයෙන් පසුව උද්ගතව තිබෙන තත්වය හේතුවෙන් බව පැහැදිලිය. මෙතෙක් කාලයක් කවුරුන් බලයට පැමිණියත් ඒ බලයට පැමිණි සහ විපක්ෂයට වැටුණු දේශපාලන බලවේග දෙකම එකම නායකයන් පිරිසක් විසින් මෙහෙයවා තිබුණි. විධායක ජනාධිපති ධුරය ආරම්භක අවදියේ සිට සැලකුවොත් ජේ.ආර්. ජය ගත්තේ සිරිමාවෝ පරදවමිනි. සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ ජේ.ආර්. ය. හැබැයි ජේ.ආර්. ගේ දේශපාලනය තුළ බණ්ඩාරනායකලාට තැනක් තිබුණේය. තම සැමියා වූ විජය කුමාරතුංග නක්සලයිට්කාරයකු වශයෙන් හඳුන්වා ඔහු සිරගත කළ ජේ.ආර්. ළඟට ගොස් ඔහු සිරගෙදරින් මුදා ගැනීමට චන්ද්‍රිකාට හැකිවුණි. ආර්. ප්‍රේමදාස විධායක ජනාධිපති වූ විටත් තම ප්‍රතිවාදී දේශපාලකයන්ට එරෙහිව තදින්ම සිටි නමුත් ඔහුට වැඩිම හිසරදයක් වුණේ ඇතුළේ කට්ටියගෙනි. දෝෂාභියෝගය එහි කූඨ ප්‍රාප්තියයි. ඉන්පසුව චන්ද්‍රිකා බලයට ඇවිත් ජේ.ආර්. ට කොතරම් දේශපාලන වශයෙන් පහර ගැසුවත් සාමාන්‍ය ජීවිතයේදී ජේ.ආර්. යනු චන්ද්‍රිකාට “අන්කල්” විය. ඉන්පසුව යූ.එන්.පී. නායකයා වූ රනිල් ද චන්ද්‍රිකාගේ දේශපාලන ප්‍රහාරයන්ට ලක් වුණත් එය දේශපාලන පවුල් දෙකක් අතර විරසකයක් පමණක් විය.
චන්ද්‍රිකාගෙන් මහින්දට බලය මාරු වූ පසුවද මේ සබඳතා අඩු වැඩියෙන් තිබුණි. රනිල්ට පක්ෂය ඇතුළේ ගැටලු ඇතිවෙද්දී මහින්ද හමුවීමට ගොස් ඔහු සමඟ කෝපි බී ඒ බලපෑම් අවම කර ගැනීමට හැකි විය. වරක් සිරිකොත ඉදිරිපිට පාර කාපට් කර දීමට එම පාර වසා දැමුවේ ඒ අසලට රැස්වීමට සිටි පිරිසකගේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහාය. විපක්ෂයේ සිටියත් රනිල් මහින්දගේ උත්සවවලත් ආරාධිතයෙක් විය.
මහින්දගේ පාලනය මෛත්‍රීපාලට මාරුවීම ද සිදුවුණේ “අපි ඔක්කොම යාළුවෝ” න්‍යායෙනි. රනිල් සහ චන්ද්‍රිකා එකතු වී ශ්‍රීලනිපයේ මහා ලේකම් වූ මෛත්‍රීපාල එම පක්ෂයෙන් ගලවාගෙන පොදු අපේක්ෂකයකු බවට පත් කළහ. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් ධුරය අතහැර පැමිණ ජනාධිපති වූ ආණ්ඩුවේ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ අගමැති විය. ඒ ආණ්ඩුව යටතේත් ජොන්ස්ටන් හිරේ ගියේය. ඒ හැර විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, උදය ගම්මන්පිල පමණක් නොව, නාමල් රාජපක්ෂ පවා සති දෙක තුන බැගින් හිරේ ගියහ. එහෙත් ඒ දෙපාර්ශ්වය අතර තිබෙන දේශපාලන අවබෝධයට හානියක් වුණේ නැත.
ඒ මෛත්‍රීපාල යටතේම යළිත් වරක් මහින්ද අගමැති විය. රනිල්ගේ අත්හිටුවා තිබූ අගමැතිකම යළි ලැබුණේ අධිකරණ නියෝගයකිනි. ඒ වනවිට ඒ ආණ්ඩුවේ ආයු කාලය ද ඉවර වී තිබිණි.
2019 ගෝඨාභය දිනන විට යූ.එන්.පීය දෙකඩ වීම ඇරඹී තිබුණි. ඉන්පසුව යූ.එන්.පීය අති බහුතරය සමඟ සජිත් වෙන්වී ගොස් සමගි ජනබලවේගය පිහිටුවා ගත්තේය. ඊළඟට තිබූ මහ මැතිවරණයෙන් (2020) ඒ පක්ෂය ඡන්ද 2,771,980 ක් ලබා ආසන 54 ක් ලබා ගත්තේය. ඒ ඡන්දය ජයගත් මහින්දලාගේ ශ්‍රී ලංකා නිදහස් ජනතා සන්ධානය ඡන්ද 6,853,690 ක් ලබා ආසන 145 ක රජයක් පිහිටුවීය. ඒ වෙලාවේ ජාතික ජන බලවේගය ද ඡන්දයට ඉදිරිපත් වූ අතර ඡන්ද ලබාගත්තේ 445,958 කි. හිමිවූ ආසන සංඛ්‍යාව 3 කි. යූ.එන්.පීයට ලැබී තිබුණේ ඡන්ද 249,435 ක් පමණි. හිමිවුණේ එක් ආසනයක් පමණි.
මේ තත්ත්වය තවත් පැහැදිලි කර ගැනීමට 2015 මහ මැතිවරණ ප්‍රතිඵලය ද බැලිය යුතුය. එහිදී මෛත්‍රීපාල සහ රනිල්ගේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ රජය ඡන්ද 5,098,916 ක් ලබා ආසන 106 ක් ලබා ගත්තේය. මහින්දලාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 4,732,664 ක් ලබා ආසන 95 ක් ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 543,944 ක් ලබා ආසන 06 ක් ලබා සිටියේය. පසුගිය දශක දෙකක කාලය තුළ දී මේ රටේ දේශපාලනයේ ඉහළින් වැජඹුණු නායකයන් වරින් වර බලයට පත්වූ බවත් ඒ සියලු දෙනා එකිනෙකා හොඳින් දන්න හඳුනන පවුල් සහ පක්ෂවලට අයත් බවත් ඒ වගේම ඡන්ද දිනන්න හදාගත්ත සන්ධානවලට මේ පක්ෂවල නායකයන් පක්ෂවල ප්‍රතිපත්ති අමතක කර තම තමන්ගේ වාසිය සඳහා එක්වී සිටි බවත් පැහැදිලිය. මේ බොහොමයක් නායකයන්ට අවශ්‍ය වී තිබුණේ බලය තමන්ට නැත්නම් තමන් දන්නා හඳුනන අනෙක් පාර්ශ්වයට මුක්කුවක් ගසා හැකි තරම් කාලයක් දේශපාලන බලයේ රැඳී සිටීමය. එහි රස විඳීමය. ඒ තත්වය වෙනස් කෙරුණේ පසුගිය සැප්තැම්බර් 21 පැවැති 2024 ජනාධිපතිවරණයෙනි.
එම ජනාධිපතිවරණයට වසර 09 කට පෙර පැවති මහ මැතිවරණයේදී ජවිපෙ ලබාගත්තේ ආසන 06 ක් පමණි. ඉන්පසු ජාතික ජනබලවේගය වශයෙන් වෙනස් වී ඉදිරිපත් වූ 2020 මහ මැතිවරණයේදී ඒ ආසන ටිකත් 03 ටම වැටුණි. ලැබුණු ඒ ඡන්ද ප්‍රමාණය අඩකින් පමණ අඩුවී තිබුණි. මේ වෙච්ච දේ ගැන ඔවුන්ගේ පක්ෂය ඇතුළේ ප්‍රබල කතිකාවක් දියත් නොවුණි නම් පුදුමය. අන්ත වාමාංශික දැඩි මතධාරී පාලනයක සිට මැද මාවතේ නම්‍යශීලී මෙන්ම මාක්ස්වාදී නැඹුරුව සහිත පක්ෂයක් කරා වෙනස් වීමට නායකත්වය දුන් අනුර කුමාර ඇතුළු ඒ වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම කෙසේ හෝ තමන් යන්නේ රටේ බලය ලබා ගැනීම සඳහා වන නිවැරදි මාවතේ බව පක්ෂයේ සෙසු පිරිස තුළ විශ්වාසයක් ඇති කිරීමට සමත් වීමේ අවසන් ප්‍රතිඵලය 2024ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණයයි.
ඒ අතරට පැමිණි අරගලයේ කේන්ද්‍රය හොඳින්ම හඳුනා ගනිමින් එහි නාඩිය නිවැරදිව අල්ලා ගැනීමට සමත් වූ අනුර කුමාර මෙතෙක් පැවැති මජර දේශපාලනයේ අසික්කිත ස්වරූපය රටේ ජනතාව පක්ෂ භේදයකින් තොරව මුළුමනින්ම හෙළා දකින බව අවබෝධ කරගන්නට ඇත. එම පාලනයට සහ එයට දායක වූ දේශපාලන නායකත්වයට ජනතාව දක්වන දැඩි විරෝධය ඡන්දවලට හරවා ගැනීම සඳහා ඔවුන්ට ඉතිරිව තිබුණේ නිසි එල්ලය බලා ශක්තිමත් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම පමණි. සම්ප්‍රදායික දේශපාලනයේ ගොදුරක් බවට පත්ව සිටි සජිත්ටත් පවතින ක්‍රමය තමන් තෝරාගත් පිරිසක් සමඟ ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ රනිල්ටත් අනුර කුමාරගේ ඒ උපාය මාර්ගය අතික්‍රමණය කළ නොහැකි විය. අද රටේ ජනාධිපති අනුර වී සිටීම ඒ සමස්ත සිද්ධි දාමයේ ප්‍රතිඵලයයි.
එහෙම වුණත් මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වේදැයි දැන්ම කිව නොහැකිය. නමුත් අපේක්ෂිත ප්‍රතිඵලය ලබාගන්න නම් රනිල්ටත් සජිත්ටත් යා යුතුව ඇත්තේ ඉතා දුෂ්කර ගමනකි. ජනතාවගෙන් විශාල පිරිසක් තවමත් ඉන්නේ අවිනිශ්චිත තත්ත්වයක බව පෙනෙන බැවින් අනුර කුමාර ජනාධිපති ඇතුළු පිරිසට ද මහ මැතිවරණය තවත් තීරණාත්මක කඩඉමක් වීමද වැළැක්විය නොහැකි වනු ඇත.
• ශශීන්ද්‍ර