2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

යළිත් පාස්පෝට් පෝලිම්!

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

ආණ්ඩුව වෙනස් විය. පාස්පෝට් එකේ පාටත් වෙනස් විය. අලුතින් ඇණවුම් කෙරුණු පාස්පෝට් ද ලැබෙමින් තිබේ. එහෙත් පාස්පෝට් පෝලිම් තවමත් එසේමය. අද නැතිවට හෙට හෝ මේ පෝලිමේ නොසිට පාස්පෝට් එක ගන්න ලැබේ යැයි යන බලාපොරොත්තුවෙන් එක්රැස්වෙන අයැදුම්කරුවන්ගෙන් යළිත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය පිරී ඉතිරී යමින් පවතී. එහි අවසානය කවදා දැකිය හැකි වෙයිද යන්න නම් ප්‍රශ්නාර්ථයකි.

පසුගිය ආණ්ඩුවේ අවසානය වනවිට රටේ පාස්පෝට් තොගය ද අවසන් වී තිබිණි. ඒ ආණ්ඩුවෙන් අලුතින් නිකුත් කිරීමට නියමිත වූ ඊ පාස්පෝට් ලබාදීම පඹ ගාලක පැටලෙද්දී පරණ පාස්පෝට්ම අලුතින් ඇණවුම් කිරීම හැර වෙනත් පියවරක් ගැනීමට ආණ්ඩුවට නොහැකි විය. අලුත් ආණ්ඩුවට සිදුවුණේ ද එම ඇනවුම එසේම ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමය. රට තුළ පාස්පෝට් හිඟය ඒ තරම් දරුණු තත්වයකට පත්ව තිබිණි. එම ඇණවුම ලබා දෙමින් පාස්පෝට් භාර අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ඔක්තෝබර් 15 වැනිදායින් පසුව නව පාස්පෝට් නිකුත් කිරීම ඇරඹෙන බවත් ඒ හා සමඟ පෝලිම් ද අහෝසි වනු ඇති බවත්ය.

අලුත් පාස්පෝට් ලැබී පසුගිය 21 වැනිදා සිට ඒවා නිකුත් කිරීම ඇරඹුණි. 25 වැනිදා වන විට අයැදුම්කරුවන් පෙර පරිදිම දහස් ගණනින් එකතු වනු දැකිය හැකි විය. විජිත හේරත් අමාත්‍යවරයා ඒ සමඟ ප්‍රකාශ කළේ ලැබීමට නියමිත ඉතිරි ලක්ෂ ගාණක පාස්පෝට් තොගය ද ඉදිරි සති කිහිපය තුළදී ලැබීමෙන් පසුව මේ තත්වය මගහැරෙනු ඇති බවය. ඒ සමඟ පාස්පෝට් අත්‍යවශ්‍යම අය පමණක් ඒවා ලබා ගැනීමට පැමිණෙන ලෙසත් ටෝකන් ලබා දෙනු ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවත් ප්‍රකාශ කෙරුණි.
මීට පෙර පාස්පෝට් භාරව සිටි ටිරාන් අලස් අමාත්‍යවරයාටද අවසානයේ කීමට ඉතිරිව තිබුණේ ඒ කාරණාමය. නමුත් මේ ප්‍රශ්නය මේ තරමට උග්‍ර වීමට එම හිටපු අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතු වූ බවද සඳහන් කළ යුතුය. ඒ වගකීමෙන් ඔවුන්ට ගැලවිය නොහැක. එම ගැටලුව කොතරම් සංකීර්ණ තත්වයකට පත්වීදැයි කිවහොත් හිටපු ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල්වරයා දැන් සිටින්නේ සිරගතවය. ඔහුට එරෙහිව අධිකරණය මගින් ගත් පියවර හේතුවෙන් ඒ තත්වය උද්ගත වී තිබේ.

පාස්පෝට් ලබාදීම ක්‍රමානුකූලව සිදුකිරීමට පසුගිය පාලන සමයේ ගත් සියලු ක්‍රමවේද අසාර්ථක වීම හේතුවෙන් එය රටේ බරපතළ ගැටලුවක් නිර්මාණය කළේය. වරක් ඔන්ලයින් මගින් වේලාවක් වෙන් කරවාගෙන පැමිණීමට අයැදුම්කරුවන්ට අවස්ථාවක් ලබා දී තිබිණි. එය මුළුමනින්ම අසාර්ථක වූයේ කිහිප දෙනකු විසින් සිම් කාඩ් විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් සැලසුම් සහගතව වේලාවල් වෙන් කරවාගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වූ බැවිනි.

මෙවැනි අවර ගණයේ වැඩ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය නැතිව ක්‍රියාත්මක කළ නොහැකි බව අපගේ වැටහීමය. එසේම පෝලිමේ නොසිට විශාල මුදලක් ගෙවා පාස්පෝට් ලබා ගැනීමේ “හොර කඩ” ද නිර්මාණය වී තිබිණි. ටික දිනක් හොඳින් ක්‍රියාත්මක වූ වේලාව ඔන්ලයින් හරහා වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදය කඩාකප්පල් කර දැමුවේ එවැනි මාෆියාකාරයන් විසිනි. ඒ මාෆියාකාරයන්ගේ දම්වැලේ අවසන් පුරුක් කිහිපය දෙපාර්තමේන්තුව ඇතුළේ සිට ක්‍රියාත්මක වන බවද පැවසිණි. ඒ සියල්ලෙන්ම වුණේ පාස්පෝට් ලබා ගැනීමට පැමිණි අයැදුම්කරුවන් දැඩි ලෙස අසීරු තත්වයට පත්වීමයි. පාස්පෝට් ලබාදීම විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළක් ද උත්සවශ්‍රීයෙන් ආරම්භ කළත් එයට ද ආයුෂ තිබුණේ දින කිහිපයක් පමණි.

අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව මේ තත්වයේ වෙනසක් ජනතාව බලාපොරොත්තු වූ බව යථාර්ථයයි. අත්‍යාවශ්‍යම අයැදුම්කරුවන් පමණක් පැමිණිය යුතු බවට කෙරෙන ඉල්ලීම් සැබෑ ගැටලුව විසඳීමට උපකාරී වන්නේ නැත. අත්‍යාවශ්‍ය නොවන කෙනකු මේ කට්ට කෑමට කවදාවත් නොපැමිණෙන බැවිනි.

හොඳටම අනා තිබෙන වැඩක් යළිත් කෙළින් කටින් සිදුවීම අමාරු බව සැබෑවකි. එහෙත් ජනතාව බලාපොරොත්තු වන සහනය හැකි ඉක්මනින් ලබාදීම රජයේ වගකීමකි. පාස්පෝට් පෝලිම නැති කිරීමට කිසියම් සාධනීය වැඩපිළිවෙළක් අප්‍රමාදව ක්‍රියාත්මක කළ යුතුය.