2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

චූදිතයො ගියා: දැන් අලුත් ගමනක් අපට අරඹන්න පුළුවන්

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ මනෝජ් ගමගේ

  • නාමල් මහත්තයා අභියෝග දැකලා පැන යන කෙනෙක් නොවේ
  • මහින්ද ජනපතිතුමා පටන් ගත්ත ව්‍යාපෘති අද අනුර මහත්තයා විවෘත කරනවා
  • ජාතිකවාදී පක්ෂ කඩා වැටීම රටට ලොකු හානියක්

අපි දන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නෙ කෙටි කාලයක් තුළ බලය අල්ලගෙන කෙටි කාලයක් තුළ බලය නැතුව ගිය පක්ෂයක්. එවැනි කඩා වැටුණු පක්ෂයක අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා කියන්නෙ විශාල අභියෝගයක්. කොහොමද ඒ අභියෝගය ජය ගන්නෙ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙච්චර කඩා වැටීමකට හේතු වුණේ පක්ෂය සම්බන්ධයෙන් පතුරපු බොරු. උගණ්ඩාවේ සල්ලි තියෙනවා කිව්ව අය අද මේ වෙද්දි ඒවා බොරු කියලා පිළි අරගෙන තියෙන්නෙ. අන්න ඒ බොරුවට ජනතාව රැවටිලා තමයි පක්ෂයට මෙවැනි ඉරණමක් සිද්ධ වුණේ. මේ පක්ෂය ජාතිකවාදී පක්ෂයක්. එවැනි පක්ෂයක් කඩා වැටීම තුළ රටට සිද්ධ වෙන්නෙ විශාල හානියක්. අන්න ඒ අභියෝගය භාරගෙන ඒ ජාතිකවාදී පක්ෂය නැවත ගොඩනගන්න අපි මැදිහත් වුණේ ඒ නිසයි.

ඔබ ඔහොම කියද්දි කාට හරි අහන්න පුළුවන් ඇයි එහෙනම් ඔබලව අතහැරලා ඔබේම පක්ෂයේ අය වෙනත් පක්ෂවලට ගියේ කියලා?

මම හිතන්නෙ මේක පොදුජන පෙරමුණට හම්බවුණු ස්වර්ණමය අවස්ථාවක්. රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල වුණේ ඔවුන් වටේ හිටිය ඇතැම් අය කරපු දූෂණ වංචා නිසා. ඒ චෝදනා නිසා තමයි මේ පක්ෂය දරුණු විදිහට විනාශ වෙන්න ගත්තෙ. හැබැයි ඒ චෝදනා තියෙන අය අද වෙද්දි වෙනත් පක්ෂවලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙද්දි නාමල් රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් හොඳ තරුණ පිරිසක් මෙවර තරගයට දාලා තියෙනවා. දැන් ජනතාව බලාපොරොත්තු වුණු වෙනස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් ඉටු කරලා තියෙන්නෙ. අලු‍ත් මුහුණු ටිකක් එක්ක අලු‍ත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන්න යන්නෙ. අන්න ඒක වටා ජනතාව එක් වෙනවා.

අපි ඉතිහාසය දන්නෙ ශක්තිමත් ආණ්ඩු හදපු යුගයක් ගැන. ඒත් දැන් වෙනකොට ගොඩක් අය කියන්නෙ ශක්තිමත් විපක්ෂයක් ඕනෑ කියලා. ඒ වෙනුවෙන් බලය දෙන්න කියලා. දැන් ආණ්ඩු බලය ගන්න හීන නැති වෙලාද?

අපි නම් කිසිම වෙලාවක එවැනි කතාවක් කියලා නෑ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා නම් එහෙම කතාවක් කියනවා. කොහොම වුණත් ශක්තිමත් විපක්ෂයකට වඩා ශක්තිමත් ආණ්ඩුවක් නම් හදන්නම ඕනෑ. එහෙම නැත්නම් වෙන්නේ අන්තවාදී සුළු පක්ෂවලට යටත් වෙන්න වෙන එක. දැන් මේ ආණ්ඩුවටත් කතාවක් යනවා, සුමන්තිරන්ලත් එක්ක ආණ්ඩු හදන්න යනවා කියලා. ඔහුට විදේශ ඇමැතිකම දෙන්න යනවා කියලා. මට කියන්න තියෙන්නෙ ජාතික ජන බලවේගයට හෝ සමගි ජන බලවේගයට බලයක් හම්බවෙනවා නම් ඒක බහුතර බලයක් වෙන්න ඕනෑ. එහෙම නැතුව එකතු කරලා හදන ආණ්ඩුවක් වෙන්න නරකයි. ඒකෙන් හානිය වෙන්නෙ රටට.

මේ පක්ෂය බිඳ වැටෙන්න හේතු විදිහට සමහර අය කිව්වෙ මේක රාජපක්ෂ පවුල විසින් පාලනය කරනවා කියලා. සමහර අය අයින් වුණේ ඒ නිසා. දැන් මහින්ද මහත්තයාට පස්සේ නාමල් රාජපක්ෂ බලය අල්ලගෙන ඉන්නවා. වෙන නායකයෙක් නැද්ද මේ පක්ෂයට?

නාමල් රාජපක්ෂ මහත්තයට මේ අවස්ථාව දුන්නෙ සියලු‍ දෙනාගේ කැමැත්ත මත. ධම්මික පෙරේරා මහත්තයා පැය 24 ක් තියලා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වෙනවා. අභියෝගය භාරගත්තේ නාමල් රාජපක්ෂ මහත්තයා. අපේක්ෂකත්වය දෙන්න දිනේෂ් ගුණවර්ධන මහත්තයට, තව තව නායකයන්ට ආරාධනා කළා. ඒ කිසිම කෙනෙක් ආවේ නෑ. ඒ අනුව තමයි නාමල් රාජපක්ෂ මහත්තයා අභියෝගය භාර ගත්තෙ. නායකත්වය ලැබෙන්නෙ අභියෝගයට මුහුණදීම අනුව මිසක් අභියෝග දැකලා පැනලා යන මිනිස්සුන්ට නෙමෙයි.

නැවත මේ පක්ෂය ගොඩගන්න පුළුවන්ද?

ඔව්... අනිවාර්යෙන් හිතනවා පක්ෂය ගොඩගන්න පුළුවන් වෙයි කියලා. මතක තියාගන්න, 2015 යහපාලනය පටන් ගන්නකොට මීට වඩා රාජපක්ෂවරු සම්බන්ධයෙන් වෛරයක් රටේ මිනිස්සුන්ට ඇතිවෙලා තිබුණෙ. ඒත් ඒක ඉක්මනින් වෙනස් වුණා. මේ ආණ්ඩුවේ තත්ත්වයත් එක්ක ඉස්සරහට ඒකත් වෙනස් වෙයි. මතක තියාගන්න, අනුර කුමාර දිසානායක මහත්තයා මේ වෙද්දි විවෘත කරන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා පටන් ගත්ත ව්‍යාපෘති. අදටත් මේ රටේ දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා රාජපක්ෂවරුන්ට බලය අල්ලගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි.

ජනතාව ඇයි ඔබව පාර්ලිමේන්තු යැවිය යුත්තෙ?

මම අහසින් කඩාපාත් වුණු මනුස්සයෙක් නෙමෙයි. මම අවුරුදු 21 ක් නීතිඥ වෘත්තියේ යෙදුණා. මම දේශපාලනය විතරක් නෙමෙයි, ඒ අවුරුදු 21 තුළ මේ රටේ රණවිරුවන් වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන්, සාධාරණත්වය වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. ඒ නිසා මේ වසර 21 තුළ මගේ යුතුකම රටට ඉටු කරලා තියෙනවා. මම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නියැලෙන්න ආපු කෙනෙක්.

• ගයාන් ගාල්ලගේ