මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බලවේගය තිස්ස අත්තනායක
ජනාධිපතිවරණයක් ඉවර වෙලා, තමන්ගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරගන්න බැරි වෙලා, දැන් මහ මැතිවරණයක් සඳහා ඔබලා සූදානම් වෙලා ඉන්නෙ. කොහොමද ඔබේ පක්ෂයට තියෙන ජනතා කැමැත්ත?
මේ මැතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක්. ජනාධිපතිවරණයේදී අවස්ථාව නොලැබුණත් මේ මහ මැතිවරණයේදී ආණ්ඩු බලය ලබා ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ. මේ වෙනුවෙන් බිම් මට්ටමේ ඉඳලා වැඩ කටයුතු කරගෙන යන ගමන් අපේ ඡන්දදායකයන් දැනුවත් කරමින් ඉන්නෙ. අපිට පෙනෙන තත්ත්වය අනුව ජාතික ජන බලවේගයට ඡන්දය දුන්න ජනතාවගේ යම් අඩුවීමක් මේ වෙද්දී සිදුවෙමින් තියෙනවා. මගේ දේශපාලන ඉතිහාසය අනුව සති හයක් තුළ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙමින් තියෙනවා. ඒ නිසා මේ මැතිවරණය වාසි පැත්තට හරවගන්න පුළුවන් වෙයි.
මොකක්ද එහෙම කලකිරෙන්න මේ ආණ්ඩුවේ අවුල?
ඒකට හේතුව ජනතාව බලාපොරොත්තු වුණු කාරණා ඔවුන්ට මගහැරීම. විශේෂයෙන් තෙල් මිල වගේ උදාහරණ. ඒ වගේම හොරකම්, දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වා කඩිනමින්. ඒත් මේ සති කිහිපය ඇතුළත එහෙම උත්සහයක්වත් ගත්තා කියලා පේන්න නෑ. අනික රටේ මූලික ප්‍රශ්නවලට විසඳුමක් දෙයි කියලා බලාපොරොත්තු වුණා. එහෙම ආරම්භයක්වත් නෑ. ජනතාව හිතනවා ඔවුන් රැවටුණා කියලා. ඔක්කොම නෙමේ වුණත් යම් ප්‍රතිශතයක් හිතනවා.
මම දැක්කා ඔබලාට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එක්ක ආණ්ඩු කරන්න පුළුවන් කියනවා. ඒත් මතකනේ යහපාලන කාලේ ප්‍රශ්න පිට ප්‍රශ්න ආවා එකට වැඩ කරලත්. වමේ අයටයි දකුණේ අයටයි එකට වැඩ කරන්න පුළුවන්ද?
ඔව්... න්‍යාය පත්‍ර දෙකක්නෙ. සජිත් ප්‍රේමදාස මහත්තයගේ න්‍යාය තමයි රට ගොඩනගන වැඩපිළිවෙළ. ඒ සඳහා අපිට ජාතික වැඩපිළිවෙළක් තිබුණා. හොඳ කණ්ඩායමක් හිටියා. ජාත්‍යන්තර සම්බන්ධතා එක්ක අපිට ඒ හැකියාව තිබුණා. හැබැයි අනුර කුමාර මහත්තයලා කිව්වේ හොරකම් අල්ලනවා, දූෂණය නැති කරනවා කියලා. හොරකම් කරපු සල්ලි රටට ගෙනල්ලා රට සශ්‍රීක කරනවා කිව්වා. ඒ නිසා මේ න්‍යාය පත්‍ර දෙකක්.
ඒකනේ... එහෙම රට කරන්නෙ කොහොමද?
මෙහෙමයි. රට දිනවන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්නම්. හොරු අල්ලන වැඩපිළිවෙළ ජනාධිපති ක්‍රියාත්මක කරයි. ඒ දෙකම රටට හොඳයිනෙ.
ජනාධිපතිවරයගේ වැඩපිළිවෙළේ තියෙන්නෙ පොහොසත් රටක්නෙ? ඒ යටතේ එක කොටසක් තමයි හොරු ඇල්ලීම?
මෙහෙමයි. ඒක අපේ බ්ලූ ප්‍රින්ට් ආර්ථික වැඩපිළිවෙළ හා සමාන වෙන්නෙ නෑ. එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උත්සහයක්වත් මේ ආණ්ඩුව ගත්තෙ නෑ. ජනතාව වේදිකා කතාවලට රැවටුණා. කතාවලින් රටක් හදන්න බෑ.
දැන් මේ මැති ඇමැතිවරුන්ගේ වාහන එහෙම දකිද්දි හිතෙනවා ඒ අය කොහොම ජීවිතයක්ද ගත කරලා තියෙන්නෙ කියලා. මේවා විපක්ෂයටත් පෙනිලා නෑනෙ?
ජනතාවට ඕනෑ හොරු අල්ලන එක නම් ඒක කරන්න පුළුවන්. ඒත් මේ රටට ඊට වඩා වැඩපිළිවෙළක් අවශ්‍යයි. අංක තහඩු නැති වාහනයක් අල්ලගෙන සතුටුවෙන එක නෙමේ වැඩේ. ඊට වඩා මේ රටේ විසඳන්න ඕනෑ ප්‍රශ්න තියෙනවා. අන්න ඒවා ගැන හොයලා බලන්න ඕනෑ.
ජනතාව බලාපොරොත්තු වෙන්නෙ දේශපාලන සංස්කෘතිමය වෙනසක්. ඒක මාලිමාව කරන බවට හිතන නිසයි මිනිස්සු ඡන්දය දෙන්නෙ. ඒත් සජබයට ඒ දේශපාලන භාවිතය වෙනස් කරන්න පුළුවන්ද?
දේශපාලන භාවිතය සුචරිත කරනවා නම් අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන්. ඒත් ඒක මේ ආණ්ඩුවට තියෙනවද? බලන්නකෝ පලිගන්නයි, තර්ජනය කරන්නයි ඉන්නෙ. මේ ළඟදී ලාල් කාන්ත කියනවා එදා අපි ලයිසන් නැති චණ්ඩිලු. දැන් ලයිසන් තියෙන චණ්ඩිලු. අර පොලිස් නිලධාරීන්ට තර්ජනය කරනවා. ඒක දේශපාලනමය වෙනසක්ද?
මහනුවර දිස්ත්‍රික්කය දක්ෂිණාංශික මුහුණුවරක තිබුණේ. ඒත් දැන් මාලිමාවට. ලේසිද දිනන්න?
ඇත්තටම මාලිමාවට අපිට වඩා ඡන්ද වැඩිවුණේ හැත්තෑ දාහයි. අපි ආසන පහක් දින්නා. එයාලා හතක් දින්නා. ඒකෙන් 35000 ක් වැඩි වුණොත් දිනන්නෙ අපි. ඒ නිසා ඒ වෙනුවෙන් බිම් මට්ටමේ ඉඳලා අපේ කට්ටිය ක්‍රියාත්මක වෙමින් යන්නෙ. මේ පාර අපිට පුළුවන් වෙයි.
• ගයාන් ගාල්ලගේ