ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ජාතික ජන බලවේගය රුවන් මාපලගම
මෙවර මහ මැතිවරණයේදී ඔබලා බහුතර බලයක් ඉල්ලනවා. මේක තුනෙන් දෙකේ බලයක්ද? හැබැයි එහෙම බලයක් ගත්ත ගෝඨාභය රාජපක්ෂලා විනාශ වෙලා ගියා?
අපි කිසි වෙලාවක කිසිම වේදිකාවක තුනෙන් දෙකේ බලයක් ගැන කතා කරල නෑ. අපි එහෙම ඉල්ලලත් නෑ. මේ වෙලාවේ අනෙකුත් පක්ෂ බිඳ හෙළලා තියෙනකොට, ඒ අයට එල්ලෙන්න අත්තක් නැතිකොට, දැන් එල්ලෙන අන්තිම අත්ත තමයි මේ අයට තුනෙන් දෙකේ බලයක් දෙන්න එපා කියන එක. හැබැයි අපේ කිසිම කෙනෙක් තුනෙන් දෙකේ බලයක් ඉල්ලලා නෑ. අපි කියන්නෙ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනෑ කියලා.
ජනාධිපතිවරණයෙන් පස්සෙ මහ මැතිවරණයේදී දිනපු අපේක්ෂකයාගේ පක්ෂය ඡන්දෙ අඩුවෙන් ලබාගන්නෙ. ඔබලා හිතනවද ඔබලට ඡන්දෙ වැඩි වෙයි කියලා. නැත්නම් අඩු වෙයිද?
ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද ජනාධිපතිවරයෙක් පත් වුණාම ඔහු කරන පත්වීම්, කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ජනතාවට ඇතිවන ප්‍රශ්න නිසා ඡන්ද ප්‍රමාණය යම්තාක් දුරට අඩු වෙනවා. ඒත් ඔබට කියන්න ඕනෑ, අනුර සහෝදරයා ජනාධිපති වීමෙන් සති හයකට පසුව ඡන්දය නොදුන් ජනතාව ඉතාම උවමනාවෙන් මෙවර ඡන්දය දෙන්න බලාගෙන ඉන්නවා. කිසිදු ජනාධිපතිවරයෙක් නොකරන දෙයක් ඔහු සිද්ධ කළා. ඔහු ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ පෙනී හිඳිමින් ප්‍රශ්නවලට උත්තර දුන්නා. ලක්ෂ පහළොවකට වැඩි වෙන්න ඇති. අනෙක් කාරණය තමයි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද මේ පාර නැවත ඒ පක්ෂයට ලැබෙන්නෙ නෑ. පොහොට්ටුවට ලැබුණු ඡන්ද ගමේ මැරයන්ට ලැබෙන්නෙ නෑ. ඒ නිසා ජයග්‍රහණය ගැන සැකයක් නෑ.
ඔබලට විපක්ෂයෙන් කරන චෝදනාව තමයි ඔබලා හොරු අල්ලන්න දක්ෂ වුණාට රටේ ආර්ථිකය හදන්න බෑ කියලා. මොකද ඔබලට අත්දැකීමක් නෑ කියලා?
ඒක ඔය සම්ප්‍රදායික පක්ෂවලින් ගොඩනගන තර්කයක්. දැන් අපි ජනාධිපතිවරණයට යනකොට ඇහුවා කවුද ආණ්ඩු කරන්න ඉන්නෙ කියලා. කවුද අපේක්ෂකයෝ හැටියට ඉදිරිපත් වෙන්නෙ කියලා. ඒ සියල්ලට ජනාධිපතිවරණයෙන් උත්තර දුන්නා. ජනාධිපතිවරණය ඉවර වුණු ගමන් ඩොලරය 309 දක්වා උඩට ගියා. ඇයි ඒ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධ ඇතිවුණු අවුල නිසා. හැබැයි ජනාධිපති වෙලා දවස් කිහිපයක් යනකොට අනුර සහෝදරයා ගත්ත තීන්දු තීරණ එක්ක ඩොලරය අඩුවෙලා, කොටස් වෙළෙඳපොළ ඉහළ ගියා. ඒ තත්ත්වය මොකක්ද කියන එක වෙළෙඳ ප්‍රජාව දන්නවා. ඒ නිසා මේ නැති බිල්ලෙක් මවන්න හදන්නෙ. ඒක තමයි බංකොළොත් දේශපාලනයේ ක්‍රමය.
ඔබ ඉල්ලන ගම්පහ දිස්ත්‍රික්කය තමයි වැඩිම ඡන්ද ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කය. ඔබලා වැඩියෙන් ඡන්ද ගත්තෙත් ගම්පහ දිස්ත්‍රික්කයෙන්. හිතනවද ඒ ඡන්ද ප්‍රමාණය රැකිලා තියෙනවා කියලා?
ගම්පහ දිස්ත්‍රික්කය කියන්නෙ වැඩිම ඡන්ද තියෙන දිස්ත්‍රික්කය. අපි ජනාධිපතිවරණයේදි වැඩියෙන් ඡන්ද ගත්තෙත් ඒ දිස්ත්‍රික්කයෙන්. ඒ නිසා අපි ගම්පහ දිස්ත්‍රික්කය ආසන දහතුනෙන් දහතුනම දිනනවා. ඒ වගේම ලක්ෂ දහයක ඡන්ද ප්‍රමාණයක් ගන්නවා.
ඔබලා තවමත් කියන්නෙ මාලිමාවට ඡන්දෙ දෙන්න කියලා. හැබැයි ගොඩක් අපේක්ෂකයො කියන්නෙ මට ඡන්දෙ දෙන්න කියලා. මොකක්ද මේ දෙකේ වෙනස?
ජාතික ජන බලවේගය කියන්නෙ තනි පුද්ගලයෙක් මත යැපෙන ජාතික ව්‍යාපාරයක් නෙමෙයි. මේකෙ පක්ෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. අනුර සහෝදරයා කියන්නෙ මම විශ්ව කර්මයක් නෙමෙයි කියලා. මේකෙ මම කියන උත්තම පුරුෂ ඒක වචනය නෑ. මේකෙ තියෙන්නෙ අපි කියන උත්තම පුරුෂ බහු වචනය. අපේ දිස්ත්‍රික්කය ගත්තාම අපේක්ෂකයො විසි දෙකක් ඉන්නවා. ඒ කිසි කෙනෙක් තනි තනිව කැම්පේන් කරන්නෙ නෑ. සාමූහිකව කරන්නෙ. අපිට තරගයක් නෑ.
ජනතාව බලාපොරොත්තු වෙනවා තමන්ට කියලා මන්ත්‍රීවරයෙක්. දැන් එහෙම මන්ත්‍රීවරයෙක් ඔබලගේ ඉන්නවද?
අපි ගම්පහ ආසනයට අදාළව අපේක්ෂකයන් යොදවලා තියෙනවා. ඒ අපේක්ෂකයන් අතරින් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. අන්න ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගම්පහ දිස්ත්‍රික්කයේම ජනතාව වෙනුවෙන් මිසක් වෙන් වෙන් වශයෙන් බෙදිලා නෑ. අන්න ඒ නිසා විශේෂයක් නැතුව අපි සියලු දෙනාටම වැඩ කරනවා. ඔය ඔබ කියන ජනතාවට විතරක් ඉන්න මන්ත්‍රීවරු හැදෙන්නෙ පරණ සම්ප්‍රදායික දේශපාලනය තුළින්. ඒක වෙනස් කරන්න තමයි අපි ආවේ. ගමේ මන්ත්‍රීවරයෙක් ජනතාව හදාගන්නෙ ළමයෙක් ඉස්කෝලේ දාගන්න, රස්සාවක් ගන්න, පොලිසියට කෝල් කරන්න වගේ දේවල්වලට. අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි ආවේ. ඒ නිසා අපේ මන්ත්‍රීවරු සියලු දෙනාම ගම්පහ දිස්ත්‍රික්කයම බලනවා. කාටවත් වෙනසක් නෑ.
• ගයාන් ගාල්ලගේ