“බැසිල් රාජපක්ෂ මහත්තයා පසුගිය ජනාධිපතිවරණය පෙනි පෙනී තියෙනකොට රටින් පිටව ගිය එක ඒ ඡන්දෙදී මට බරපතළ පරාජයක් හිමිවීමට හේතුවක් වුණා. ඔහු ඒ වෙලාවේ රටින් පිටව නොයා යුතුව තිබුණා.”
නාමල් රාජපක්ෂ මෙහෙම කිව්වෙ පසුගිය දවසක රූපවාහිනී නාළිකාවක සජිවී දේශපාලන සංවාදයකට සහභාගි වෙමින් සිටියදීය. මෙරට දේශපාලන ප්‍රවාහය තුළ තවමත් තරුණයකු වන නාමල් අනාගතයේ තම දේශපාලන පක්ෂය - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවන සුක්කානම බවට පත්ව සිටී. ඔහු මෙවර මහ මැතිවරණය සඳහා රට පුරා කුඩා ජනහමු රාශියක් අමතමින් තම දේශපාලන ව්‍යාපාරය මෙහෙයවන අතර ඔහුගේ අරමුණ වන්නේ මෙවර ලැබෙන ප්‍රතිඵලය මත පිහිටා අනාගතයට මුහුණ දීම සැලසුම් කිරීම බව පෙනේ. ඔහු ආසනයක් සඳහා තරග නොකරන අතර ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඡන්ද ව්‍යපාරය මෙහෙයවයි.
එහෙම ඡන්දෙට බැහැලා වැඩ කරන අතරවාරයේ මේ පාර මහ මැතිවරණය කටේ නාමල් මෙහෙම කතා කරන්නෙ ඇයි? ඒ ගැන අදහසක් ගන්න ඔහු තමන්ගේ පවුලේ දේශපාලනය ගැන එහිදී පළ කළ සෙසු අදහස් කිහිපය ගැනත් අවධානය යොමු කළ යුතුය.
“බැසිල් රාජපක්ෂ වුණත් දැනගෙන හිටියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරුද්ධවාදීන් සමාජ මාධ්‍ය හරහා ඒ තත්ත්වයෙන් හොඳට ප්‍රයෝජන ගන්න බව. මේ පිරිස මාත් මගේ බිරිඳත් රටෙන් පැන ගිය බව පවා කිව්වා. රටේ පවතින තත්ත්වය කොහොම වුණත් මගේ බාප්පා හැම වෙලාවෙම ජාතික මැතිවරණයක් ආසන්නයේ විදේශගත වුණා. ඒ කොහොම වුණත් මෙවර ජනාධිපතිවරණයේදී ඔහු එහෙම කරපු එක අපට බරපතළ පසුබෑමක් වුණා. ඒ වගේම කියන්න ඕනෑ අපේ පක්ෂයට මෙහෙම බරපතළ පරාජයක් ලැබුණේ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ එක්ක සන්ධානගත වීම නිසා බව. ඒකෙන් පක්ෂයට යළි හදාගත නොහැකි තරම් පාඩුවක් වුණා. 2022 මැයි මාසේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට ගෙනාපු එකත් විශාල වැරදීමක්. නමුත් ඒ වෙලාවෙ වෙන විකල්පයක් තිබුණේ නෑ රට මුහුණ දීලා තිබුණු ආර්ථික අර්බුදයත් එක්ක.”
නාමල් මේ කරන්නේ දේශපාලන වශයෙන් පාපොච්චාරණයක් බව පැහැදිලිය. මෙය තමන්ගේ පක්ෂය, ඒ කියන්නේ 2018 න් පස්සේ පළාත් පාලන, ජනාධිපති සහ පාර්ලිමේන්තු කියන මැතිවරණ සියල්ලෙන්ම රට පුරා විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත් පොහොට්ටුව වසර කිහිපයක් ඇතුළත දේශපාලන බලයේ පතුලටම වැටුණේ ඇයි කියන එක ගැන නාමල්ගේ කියවීම බව පැහැදිලිය. ඒ බව තේරුම් ගැනීම තමන්ගේ දේශපාලන අනාගතයට නාමල් හොඳ අත්තිවාරමක් දමා ගැනීමකි. වෙනස් වෙමින් පවතින දේශපාලන සංස්කෘතිය අනුව පැරණි පරේම ගමන් කිරීමෙන් කිසිම සුගතියක් අත් නොවන බව නාමල් තේරුම් ගෙන ඇති බවක්ද පෙනී යයි. ඒක වඩාත් තහවුරු වෙන තවත් කතාවක් ද ඔහු එහිදී එළියට දැම්මේය.
“මහින්ද රාජපක්ෂ මගේ පියා 2015 ජනාධිපතිවරණයට තරග නොකළ යුතුව තිබුණා. ඒ වගේම 2015 පරාජයෙන් පස්සේ මගේ පියා සක්‍රීය දේශපාලනයෙන් ඉවත් විය යුතුව තිබුණා.”
මේ කියන කතාව නාමල් මීට කලින් කියා තිබුණා නම් එහි වටිනාකම ද වැඩිය. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය පරාජය වන තැනකට පත්වීමට ඉඩ ද අවම වීමට අවස්ථාවක් තිබිණි. 2015 න් පසුව මහින්ද සක්‍රීය දේශපාලනයෙන් ඉවත් වී පක්ෂයේ නායකත්වයේ රැඳී සිටිමින් නාමල් ඇතුළු වෙනත් පිරිසකට පක්ෂයේ වගකීම පවරා දුන්නා නම් රටේ දේශපාලන ගමන මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි. එසේ වූවා නම් 2019 දී ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් ඉන් පසුව ඇතිවූ ආර්ථික අර්බුදයත් වෙනස් මගක් ගනු ඇත. ඒ වගේම ආර්ථික අර්බුදය නිසා රනිල් වික්‍රමසිංහ සමඟ දේශපාලන දීගයකට යාමට සිදුවීමෙන් රට බේරුණු නමුත් ඒ හේතුවෙන් පක්ෂය විනාශ වූ බවට නාමල් නගන තර්කයටද විසඳුමක් සොයාගත හැකිව තිබිණි.
ඒ කෙසේ වුවද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති ජාතික මැතිවරණයක් පැවැත්වීම තුළින් පැහැදිලි වන්නේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් සිදුව තිබෙන බවය. 2015 සිට මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා නම් එහි වටිනාකම වැඩිය. නමුත් නාමල් ඒ වනවිට දැනට වඩා අවුරුදු 09 කින් වයසින් බාලය. එවැනි මතයක් ඔහු ඒ වෙලාවේ ගෙනාවා නම් එයට පවුල ඇතුළෙන් කිසිදු සහායක් නොලැබෙනු ඇත. ඒ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පිහිටුවා නොතිබිණි. මහින්ද නායකත්වය ලබා දී තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. එහි ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විය. එහිද මහින්ද නායකයා විය. 2015 පරාජයෙන් දින කිහිපයකට පසුව මහින්ද ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාලට බාර දුන්නේය. එහි සැබෑ අරමුණ කුමක්දැයි කියවා ගැනීමට මෛත්‍රීපාලට හැකියාවක් නොතිබිණි. 2018 පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයකට මුහුණ දුන්නායින් පසුව මෛත්‍රීපාල එය තේරුම් ගන්නට ඇත.
අද නාමල්ට, එදා ගත යුතුව තිබූ නමුත් නොගත් දේශපාලන තීන්දු ගැන කතා කිරීමට සිදුව ඇත්තේ වර්තමානයේ ගොඩනැගුණු දේශපාලන වාතාවරණය හේතුවෙනි. මේ වෙලාවෙදි හෝ එළියට බැස එහෙම කියන්න ඇත්තේ ඊළඟ වසර පහ තුළ පක්ෂය හදා ගැනීමේ අරමුණින් බවද පෙනී යයි.
එය කෙසේ වුවද රාජපක්ෂ පාලනයට එල්ල වූ බරපතළ චෝදනා වන මහා පරිමාණයෙන් සිදුවූ වංචා, දූෂණ සහ සොරකම් පිළිබඳව නාමල්ට ඇත්තේ එකම පිළිතුරක් පමණි. එය එම චෝදනා බොරු බවට කරන ප්‍රකාශයි. හැකි නම් ඒ චෝදනා ඔප්පු කර පෙන්වන ලෙසටද නාමල් වත්මන් රජයට අභියෝග කරයි. ඊළඟ වසර පහ තුළදී එය ඔප්පු කිරීමට නොහැකි වුණොත් ජනාධිපති අනුර කුමාර දිසානායකට සිදුවනු ඇත්තේ යුද්ධය දිනූ ජනාධිපති මහින්ද මේ රට කොල්ලකෑ බවට ගෙන ගිය ප්‍රචාරය අසත්‍යයක් බව පිළිගැනීමට බවද කියයි.
හැබැයි රට තුළ මහා පරිමාණයේ වංචනික සහ දූෂිත ක්‍රියා සිදුවූ බවට චෝදනා කළේ මේ රටේ විපක්ෂය පමණක් නොවේ. අයි.එම්.එෆ්. සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුමේ එක් කොන්දේසියක් වශයෙන් ද එය ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධව ඇත්තේ දූෂණය සහ වංචාව ඉහවහා ගිය රටක් හැටියට බවය. මේ නිසා එම එකඟතාව අනුව නව දූෂණ විරෝධී පනතක්ද සම්මත කර ගැනීමට ආණ්ඩුවට සිදුවිය. එසේම රටේ ජාතික ධනය විනාශ කරමින් සිදු කළ නාස්තිකාර ක්‍රියා ද ජනතාවගේ බදු මුදලින් රජයේ ඉහළ බලධාරීන් අධික සැප සම්පත් භුක්ති විඳීම ද රටේ ආර්ථිකය අර්බුදයට හේතු වූ බවට ජනතාව තුළ කිඳා බැස ඇති අදහස් වෙනස් කිරීමට රජයට අභියෝග කිරීම පමණක් පළක් නැතැයි නාමල් තේරුම් ගත යුතුය.
කෙසේ වුවද නාමල් ලබන මහ මැතිවරණයෙන් පසුව වෙනස් ගමනක් යාමට සූදානම් බවට එකී සජීව රූපවාහිනී වැඩසටහනෙන් පෙන්වා දී තිබීම රටේ දේශපාලන අනාගතයට අලුත් ගැම්මක් එකතු කරන බව නම් පැහැදිලිය.
• ශශීන්ද්‍ර