ලොව පුරා මැතිවරණ වසරක් වශයෙන් හැඳින්වෙන 2024 වසරේ ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික මැතිවරණය ලබන 14 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වෙයි. මීළඟ වසර 05 සඳහා පාර්ලිමේන්තු බලය ලබා දිය යුතු පක්ෂයත් විපක්ෂයේ සිටිය යුතු පක්ෂත් තීන්දු කෙරෙන මේ මහ මැතිවරණය සඳහා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් තරග බිමට බැස සිටී. ඔවුන් තෝරා ගැනීම සඳහා ඡන්දදායකයන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සුදුසුකම් ලබා සිටිති.
මේ තරම් සංඛ්‍යාවක් ඡන්දය දැමීමට සුදුසුකම් ලබා සිටියත් පසුගිය ජනාධිපතිවරණයේදීද ලක්ෂ 37 කට ආසන්න ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්ද පොළට පැමිණියේ නැත. ඒ අතුරින් ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් විදෙස්ගතව සිටිති. නමුත් මිලියන දෙකකට ආසන්න ඡන්දදායකයන් පිරිසක් ඡන්ද පොළට නොපැමිණි බව යථාර්ථයයි.
මෙසේ ඡන්ද පොළට ජනතාව නොපැමිණෙන්නේ මන්දැයි යන්න විවාදිතය. නමුත් සාමාන්‍ය පිළිගැනීම රටේ පවතින සමස්ත දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් පවතින දැඩි කලකිරීම ඊට හේතුව බවයි. පසුගිය දශක දෙක තුනක කාලය තුළ සිදුවූ බොහොමයක් දේශපාලන කාරණා ජනතාව තුළ දැඩි කලකිරීමක් ඇති කිරීමට හේතු වූ බව නොරහසකි. මහා පරිමාණයෙන් සිදුවූ සොරකම්, දූෂිත වංචනික ක්‍රියා, නීතිය ජනතාවට වෙනමත් දේශපාලකයන්ට වෙනමත් වශයෙන් ක්‍රියාත්මක වීම සහ මේ සියලු කාරණා කේන්ද්‍රගත කළ ආර්ථික වශයෙන් රට බංකොළොත් වීම තුළ රටේ ජනතාවගේ මල පැන්නේය. 225 ම තොලොංචි විය යුතු බවට හඬක් රට පුරා නැගුණේ මේ පසුබිමේය.
ඒ කෙසේ වුවද මේ රටේ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ, ආණ්ඩුව පිහිටුවිය යුත්තේ කවුද යන ගැටලුවේදී ප්‍රධාන තීරකයා රටේ ජනතාව බව එකම පිළිතුරයි. එම ඉතාම වැදගත් තීරණය ලබා දීමට නම් ජනතාව ඡන්ද පොළට යා යුතුය. ඡන්දය ප්‍රකාශ කළ යුතුය. හේතුව කුමක් වුවදව ඡන්දය නොදී සිටීම පුරවැසියකු වශයෙන් තමන්ගේ යුතුකම ඉටු නොකිරීමකි. වගකීම පැහැර හැරීමකි.
ආණ්ඩුවක් පත් කරගත් පමණින් ජනතාව සතු යුතුකම සහ වගකීම අවසන් නොවේ. එම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ද නිරීක්ෂණය කිරීම අවශ්‍යය. ලබාදුන් පොරොන්දුවලට පයින් ගැසීමක් සිදුවන්නේ නම් එවිට තමන්ගේ හඬ අවදි කිරීමටද කටයුතු කළ යුතුය. ඒ සඳහා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කර තිබීම අවශ්‍යම සාධකයකි.
රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය බවට රට තුළින්ම මතු වූ හඬට ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය පිළිතුරක් විය. අනුර කුමාර ජනාධිපතිවරයා පෙනී සිටියේ එම දේශපාලන සංස්කෘතියේ වෙනස වෙනුවෙනි. මීළඟට ඒ මහතාට අවශ්‍ය පාලනය ගෙන යාමට ආණ්ඩුවක් තිබිය යුතුය. ඒ සඳහා ජනතා ඡන්දය ඉතාම වැදගත්ය.
මෙහිදී ජනාධිපතිවරණයේදී අපේක්ෂා භංගත්වයට පත් සෙසු ජනාධිපති අපේක්ෂකවරුන්ද මහ මැතිවරණයේදී තමන්ට අවශ්‍ය මන්ත්‍රීන් සංඛ්‍යාවක් තෝරා පත් කර යැවීමට ඡන්දදායකයන් උනන්දු කරවිය යුතුය. බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ විපක්ෂයේ ඡන්ද ප්‍රචාරයේ ඇල් මැරුණු ගතියක් පවතින බවකි. නායකයන්ගේ පවතින උනන්දුව ඔවුන්ගේ බිම් මට්ටමේ පාක්ෂිකයන් අතරට ගලා යාම සිදුවන්නේ මන්දෝත්සාහී තත්ත්වයෙනි. ජනාධිපතිවරණය පවත්වා මාසයක් පමණක් ගත වී තිබියදී මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මුදල් ප්‍රශ්නය ඔවුන්ට තදින්ම බලපෑම් කරනවාද විය හැකිය. ලංකාවේ ක්‍රමයේ හැටියට සියලු අරමුදල් දායකයන් එකතු වෙන්නේ ජයගත් ජනාධිපතිවරයාටය. මෙවරද එසේම සිදුවන්නේදැයි කිව නොහැක. නමුත් විපක්ෂය ඉදිරි දින කිහිපය තුළදී හැකි තරම් තමන්ගේ පාක්ෂිකයන් උද්‍යෝගිමත් කිරීම අවශ්‍ය බව පෙන්වා දෙමු.
රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට එරටේ ජනතාවගේ සහභාගිත්වය අවශ්‍යමය. එම අවශ්‍යතාව සපුරාලිය හැක්කේ ඡන්ද පොළට ගොස් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීම තුළින් පමණි. ලබන 14 වැනිදා රටේ සියලු ඡන්ද දායකයන් ඒ වගකීම ඉටු කිරීමට කැපවිය යුතුය.