2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගය විශිෂ්ට ජයක් වාර්තා කරමින් තුනෙන් දෙකකට අධික ආසන බහුතරයකින් යුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට සමත් විය. ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ආසන 196 න් 141 ක් ලබාගත් ජාතික ජන බලවේගයට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාවත් සමඟ තුනෙන් දෙකක බලය ඔවුන්ට ලැබෙනු ඇත. මෙය මෑත කාලීන දේශපාලන ඉතිහාසය තුළ හැරවුම් ලක්ෂයක් වශයෙන් ඉතිහාසගත වන ජයග්‍රහණයකි.
ජයග්‍රහණය ඓතිහාසික වනවිට එහි අභියෝගද මහමෙරක් තරම් වීම බලාපොරොත්තු විය යුතුය. පාර්ලිමේන්තු බලය හැසිරවීම අතින් ආධුනිකයන් වන නවක මන්ත්‍රීවරුන් රාශියකින් සමන්විත නව ආණ්ඩුවට එම අභියෝග ජය ගැනීමට දැඩි කැපවීමකින් කටයුතු කිරීමට සිදුවනු ඇත.
පාර්ලිමේන්තුව ඉදිරි කාලය තුළදී යහපත් ආකාරයට හැසිරවීමේ යාන්ත්‍රණයේ ප්‍රබල විපක්ෂයක් සිටීමද අවශ්‍යය. ඒ අර්ථයෙන් බලන කල පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ හැසිරීම දෙස රටේ ජනතාව පමණක් නොව විපක්ෂයේ උකුසු ඇස ද යොමුවී තිබෙනු ඇත. විපක්ෂයක් නොමැති ආණ්ඩුවක් ගැන ද පසුගිය කාලය තුළ යම් යම් මත සහ ප්‍රකාශ පළ වුවද එය රටක ප්රජාතන්ත්රවාදය යහපත්ව පවත්වා ගැනීමට රුකුලක් වන්නේ නැත. ශක්තිමත් විපක්ෂයක් තිබීම ප්රජාතන්ත්රවාදය රැක ගැනීමට රුකුලක් වනු මිස බාධාවක් වන්නේ නැත.
ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් අලුතෙන් පත් කරගනු ලැබීමෙන් පසුව ජනතාවගේ බලාපොරොත්තුද පවතින්නේ ඉහළම තලයකය. ඒ බලාපොරොත්තු සියල්ල එකවර ඉටුකර දීම අපහසු බව ඡන්දදායකයා ද දැන සිටියි. විශේෂයෙන්ම රට දරුණු ආර්ථික අර්බුදයකින් පසුව අමාරුවෙන් හිස ඔසවාගෙන එන තත්වයක් තුළ දී එසේ ලබාගෙන තිබෙන ජයග්‍රහණ ද ආපසු හැරවෙන ආකාරයට කටයුතු කිරීමට ආණ්ඩුවකට හැකියාවක් නැත. නමුත් ඉක්මනින්ම ජනතාව අපේක්ෂා කරන සහන කිහිපයක් ලබාදීමේ අභියෝගය අලුත් ආණ්ඩුව හමුවේ පවතී. බලාපොරොත්තු සුන්වී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වීමේ අවස්ථාද අහිමි කරගත් බලලෝභී කුමන්ත්රණකාරී ඇතැම් දේශපාලකයන් අසහනයට පත්වෙන ජනතාව ආණ්ඩුවට එරෙහිව පෙළගැස්වීමට කටයුතු කරනු ඇති බවද ආණ්ඩුව දැන සිටිය යුතුය. එවැනි අවස්ථාවලට මුහුණදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අභිනවයෙන් පත් වූ මන්ත්‍රීවරුන් රැසකගෙන් සමන්විත නව ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් බවද පෙන්වා දිය යුතුය.
ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිස මේ වනවිට තෝරා අවසන්ය. ප්‍රබල ආණ්ඩුවක් සහ විපක්ෂයද තේරී පත්ව සිටී. මනාප සියල්ල ගණන් කිරීමෙන් පසුව ඡන්දයට ඉදිරිපත් වූ සියලු දෙනාට තමන්ට ජනතාවගේ කැමැත්ත කොතරම් දුරට ලැබී ඇතිදැයි පැහැදිලිව සිතාගත හැකිවනු ඇත.
කෙසේ වුවද මෙවර මහ මැතිවරණයේදී 35% ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ලබා නොදීම කනගාටුවට කරුණකි.
අලුත් පාර්ලිමේන්තුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනිදා රැස්වීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ හැරවුම් ලක්ෂයකි. මෙතෙක් කාලයක් ප්‍රධාන දේශපාලන ධාරාව හසුරුවනු ලැබූ පවුල් කිහිපයක ආධිපත්‍යයෙන් ගිලිහී සැබෑ රැඩිකල්, වාමාංශික, මාක්ස්වාදී නැඹුරුවක් සහිත ආණ්ඩුවකට බලය හුවමාරු වූ ප්‍රථම පාර්ලිමේන්තුව වශයෙන් මෙය ඉතිහාසගත වන අවස්ථාවකි. එම ඓතිහාසික අවස්ථාවෙන් නිසි ප්රායෝජන ගැනීමේ වගකීම අලුත් ආණ්ඩුවට නිතැතින්ම පැවරී තිබේ. මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ඡන්දය ලබාදුන් සහ ලබා නුදුන් සියලු දෙනා ආණ්ඩුවේ මෙතැන් සිට ඇරඹෙන ගමන් මග පිළිබඳ විමසිලිමත්ව බලා සිටින බව අලුත් ආණ්ඩුව කිසි විටෙකත් අමතක නොකළ යුතුය.
මේ රටේ ඡන්දදායකයා දැන් තමන්ගේ වගකීම ඉටුකර අවසන්ය. පන්දුව දැන් ඇත්තේ ආණ්ඩුව පැත්තේය. ආණ්ඩු කිරීම මොන විදිහක අත්දැකීමක් දැයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නව ආණ්ඩුව ලබන 21 වැනිදායින් පසුව සැබෑ ලෙසම අත්විඳිනු ඇත. නව ආණ්ඩුවට තම පාලනය සැබෑ ජනතාවාදී ලෙස කරගෙන යාමට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.