ස්වාභාවික ආපදා ඉස්සර නම් රටකට කඩා වැදුණේ කලින් දැනුම්දීම්වලින් තොරවමය. තාක්ෂණය උපයෝගී කරගෙන ඇතැම් විට දැනුම්දීම සිදුකෙරෙන විට විනාශය සිදුවී හමාරය. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමඟ විශේෂයෙන් සුළි කුණාටු පිළිබඳ පූර්ව දැනුම්දීම් සිදු කිරීමට හැකියාව ලැබිණි. දැන් කල් තබා කාලගුණයේ අධික වෙනස්කම් ගැන අනාවැකි පළ වෙයි. ලොව පුරා එවැනි අනතුරු ඇඟවීම් හේතුවෙන් දහස් ගණන් ජීවිත ගලවා ගැනීමට හැකි විය. දේපළ විශාල ප්‍රමාණයක්ද බේරා ගැනීමට අවස්ථාව ලැබිණි.
මෙවර ශ්‍රී ලංකාවට කඩා වැදුණු පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල් තබාම අනතුරු ඇඟවීය. නාය යා හැකි දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කළේය. ධීවරයන්ට දැඩි අවවාදාත්මක නිවේදන කල් තබාම ලබා දුන්නේය. මේ පූර්ව සූදානම හේතුවෙන් නායයෑම්වලින් සහ මුහුදු යාමෙන් සිදුවිය හැකිව තිබූ ජීවිත හානි වළක්වා ගැනීමට හැකි විය. නමුත් මෙතරම් බරපතළ ස්වාභාවික අපදා අනතුරු ඇඟවීමක් කල් තබාම නිකුත් කර තිබියදීත් ආපදා කළමනාකරණය සඳහා ප්‍රමාණවත් පූර්ව සූදානමක් තිබිණිද යන්න ගැටලුවකි. විශේෂයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අමතරව එම ගැඹුරු අවපාතයේ බරපතළ අවදානම පිළිබඳව රටේ ජනතාවට නිසි උපදෙස් නිකුත් කිරීමේ වගකීමක්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී තිබේ. මහ ගංවතුර දෙගොඩතලා යාමෙන් පසුව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නැත.
අප මෙහිදී පෙන්වා දෙන්නේ විශේෂයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන්ටද එම ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා පිළිබඳව අනතුරු ඇඟවීම් සිදු වූයේ මහ වැසි ඇරඹී දින 03 ක් ගතවීමෙන් පසුව බවය. ඒ වනවිට උසස් පෙළ ඇරඹී දින 02 ක් ගත වී තිබිණි. සිසු දරුවෝ පළමු දින දෙක විභාගයට මුහුණ දුන්නේ අපමණ දුකක් විඳිමිනි. විභාගය කල් දැමීමේ තීන්දුව ගන්නා විට ඇතැම් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන ගංවතුරින් යට වී තිබිණි. උදේ වරුවේ විභාගය නිමවීමෙන් පසුව සිසුන් ආපසු ගෙදර ගියේ දණක් වතුරේ බැසීමෙනි. ඒ වන විටද විභාග දෙපාර්තමේන්තුවේ අවවාදය වී තිබුණේ ගංවතුරින් විභාග මධ්‍යස්ථානය කරා යා නොහැකි සිසුන්ට ළඟම මධ්‍යස්ථානයට යා යුතු බවය. විභාගය කල් දැමීමේ නිවේදනය නිකුත් වූයේ ඊටත් පසුවය.
මෙවැනි ස්වභාවික විපතකදී කල් තබා අවශ්‍ය පියවර ගැනීම මීට වඩා කාර්යක්ෂම අයුරින් සිදුවිය යුතු බව අපගේ විශ්වාසයයි. මුළු රටටම බලපාන ආකාරයට ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය සති අන්තය වන විටදී ප්‍රකාශ කළ අවස්ථාවේ විභාග බලධාරීන්ට විභාගය සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකිව තිබූ බවද පෙන්වා දිය යුතුය. නමුත් පමා වී හෝ උසස් පෙළ සිසු දරුවන්ට සාධාරණය ඉෂ්ඨ වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු.
එසේම මෙවර ඇතිවූ මහ වැස්සෙන් වැඩියෙන්ම හානියට පත්වූ අම්පාර දිස්ත්‍රික්කය කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවද පෙන්වා දීමට කැමැත්තෙමු. විශේෂයෙන් ගොවි ජනතාව මේ අවස්ථාවේ වැටී ඉන්නේ අලි අමාරුවකය. ඔවුන්ගේ කුඹුරු වතුරෙන් යට වී තිබේ. උන්හිටිතැන් ද ජලයෙන් යට වී ගොසිනි. මේ වෙලාවේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා රටේ කුඹුරු අක්කර තුන්දහසක් පමණ ජලයෙන් යට වී ඇති වැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියා නම් වඩාත් සුදුසු බව අපගේ වැටහීමයි. අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් කුඹුරු අක්කර දහස් ගාණක් ගංවතුරින් යට වී ඇති බව බැලූ බැල්මට පෙනී යයි. ඒ හේතුවෙන් අමාත්‍යාංශ නිලධාරීන් ලබාදෙන සංඛ්‍යාලේඛන මත පදනම් වී ප්‍රකාශ නිකුත් කරනවාට වඩා හානියට පත් ප්‍රදේශවලට ගොස් තොරතුරු සියැසින් බලාගෙන යථාර්ථය අවබෝධ කර ගැනීම වඩාත් සුදුසු බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.
අපේ රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක වැටීමේ ප්‍රතිඵල ආපදා කළමනාකරණය ඉහළ මට්ටමින් සිදු කිරීමට බාධාවක් වී ඇති බව යථාර්ථයයි. එහි නිලධාරීන් කටයුතු කරන්නේද දහසක් අඩුලුහුඬුකම් මැද බවද අපි දනිමු. නමුත් 15 කගේ දිවි අහිමි කළ රටේ ලක්ෂ 4 ½ ක පමණ ජනතාවක් විපතේ හෙලූ ආපදාවකදී දැනට වඩා කාර්යක්ෂමව කටයුතු කළ යුතුව තිබූ බව අපගේ විශ්වාසයයි. දැන් කළ හැක්කේ හැකිතාක් වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට ගොස් හැකි තරම් ඉක්මනින් විපතට පත් ජනතාවට සහන සැලසීම බවත් පෙන්වා දෙමු.