ගෞතම් අදානි සැලකෙන්නේ ඉන්දියාවේ බලවත් සුපිරි ව්‍යවසායකයා වශයෙනි. ඔහු ඉන්දියාවේ අංක එකේ ධනවතකු බවද කියති. මෙහෙම හිටපු ඔහුට ළඟදි නඩු වැටුණේ අමෙරිකාවේ ප්‍රධාන අධිකරණයකිනි. ඉන්දියාවේ ඉන්න මේ සුපිරි ධනවතාට අමෙරිකාවෙදි නඩු වැටුණාම එහි බලපෑම ලංකාවටත් දැනෙන්න පටන්ගෙන තිබේ.
එහෙම වෙන්නේ අදානි ලංකාවේ මන්නාරම කේන්ද්‍ර කර ගනිමින් සුළං බල විදුලි උත්පාදන ක්‍රියාවලියකට ආයෝජනය කර ඇති බැවිනි. හිටපු රජයත් සමඟ අදානි සමාගම ඇති කරගත් ගිවිසුම කුණාටුවකට හසුවීමෙන් එය අතරමග නැවතී තිබේ. නමුත් ශ්‍රී ලංකාව එම ගිවිසුමෙන් තවම ඉවත් වී නැත.
මේ ආයෝජනයට එරෙහි වූ වත්මන් රජයේ දේශපාලන හස්තය වන ජවිපෙ ප්‍රමුඛ වෘත්තිය සමිති එවකට තිබූ රජයට එරෙහිව ගෙන ආ ප්‍රධාන චෝදනාව වූයේ හොර රහසේ අත්සන් කළ එම ගිවිසුමට අනුව අදානි සමාගමෙන් ශ්‍රී ලංකාවට එකී ව්‍යාපෘතිය යටතේ විදුලිය මිලදී ගැනීමට ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇති බවයි. මෙය අත යට සිදු වූ ගනුදෙනුවක් බවත් එයින් විශාල කොමිස් මුදලක් පසුගිය රජයේ බලධාරීන් පිරිසකට ලැබෙන බවටත් චෝදනා එල්ල විය. අදානිගේ මිලට වඩා සෑහෙන අඩු මුදලකට එම ව්‍යාපෘතිය යටතේ විදුලිය ලබාදීමට සූදානම් ලංකාවේ ආයෝජකයන් සිටි බවටත් නමුත් අදානි සමාගමට ලබාදුන් ටෙන්ඩරයට ඉදිරිපත් වීමට එම සමාගම්වලට අවස්ථාවක් ලබා නොදුන් බවටත් වැඩිදුරටත් ප්‍රකාශ විය.
අමෙරිකාව අදානිට නඩු දැමීම ලංකාවට බලපෑම් ඇති කරන්නේ මේ හේතුවෙනි. අමෙරිකානු අධිකරණය ඉදිරියේ පැවරුණු නඩුවේ සඳහන් වන්නේ අදානිගේ හරිත බලශක්ති සහ වරාය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ සමාගම අමෙරිකානු සමාගමක් සමඟ එක් වී ඉන්දියාවට විශාල සූර්ය බල විදුලි ආයෝජන ව්‍යාපෘතියක් ලබාගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි ඉන්දීය බලධාරීන් පිරිසකට විශාල අල්ලසක් ලබාදීම හරහා බවයි. එසේ ලබාදුන් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් පමණ වන බවද සඳහන්ය. එය ශ්‍රී ලංකාවේ මුදලින් ආසන්නව රුපියල් කෝටි 5000 කි.
මෙම චෝදනාව අදානි සමාගම මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් එය සත්‍යයක් නම් ලංකාවේ ගනුදෙනුව ගැනද ලොවේ අවධානය යොමුවීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මේ වනවිට ඉන්දියාවේ අදානිලාට එරෙහිව විරෝධතා පවා ආරම්භ වී ඇති බවද සඳහන්ය. එය පිටුපස සිටින්නේ ඉන්දියාවේ ගාන්ධිලාගේ කොංග්‍රස් පක්ෂය බව නිසැකය. අදානි යනු ඉන්දීය අගමැති මෝදිගේ ගජ මිත්‍රයා බැවිනි. මෝදිගේ ආණ්ඩුව යටතේ අදානි බලා සිටියදී තම ව්‍යාපාර ජාලය පුළුල් කරගත් බවත් ඒ සඳහා මෝදිගේ පූර්ණ අනුග්‍රහය හිමිවූ බවත් ප්‍රසිද්ධ රහසකි.
දූෂණය සහ වංචාව තුරන් කරන බව මෝදි බලයට පැමිණීමේදී ප්‍රතිඥා දීම හේතුවෙන් ගජ මිතුරු අදානිට එල්ල වෙන දූෂණ චෝදනා ඔප්පු වුණොත් එහි දැඩි බලපෑමක් මෝදිගේ රජයට එල්ල වීම වැළැක්විය නොහැකි වනු ඇත. දකුණු ආසියාවේ හමා යන දූෂණ විරෝධී ජනතා රැල්ල හමුවේ මෝදිගේ රජය අමාරුවේ දැමීම මේ දිනවල ගාන්ධිලාගේ කොංග්‍රස් පක්ෂයේ අංක එකේ ප්‍රමුඛතාව නොවුණොත් පුදුමය.
පාකිස්ථානයේ සිදුවූයේ දූෂණ විරෝධී ඡන්ද ව්‍යාපාරයකි. එයින් ජයගත් ඉම්රාන් ඛාන් සිරගත කිරීම අද ඒ රට තුළ විශාල දේශපාලන අස්ථාවර බවක් ඇතිකර තිබේ. බංග්ලාදේශයේද ඇතිවූ ශිෂ්‍ය කැරැල්ලෙන් හිටපු අගමැතිනි ෂික් හසීනාට රට හැර පලා යන්නට සිදුවූ අතර එම කැරැල්ලේ අපිකේන්ද්‍රය වුණේද අන්ත දූෂණයට සහ වංචාවට එරෙහිව ජනතාවගෙන් නැගුණු විරෝධයයි. අද බංග්ලාදේශය දේශපාලන වශයෙන් බැලූ බැල්මට අස්ථාවරය. ලංකාවේද හමා ගියේ දූෂණයට වංචාවට එරෙහිව ප්‍රබල ජනතා විරෝධයකි. එය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳා ගැනීමට රටේ ජනතාව උනන්දු වූ බැවින් අද ලංකාවේ තිබෙන්නේ දූෂණයට එරෙහි තවමත් ක්ලීන් රෙකෝඩ් එකක් තිබෙන ආණ්ඩුවකි. අදානිගේ ලංකාවේ සුළං බල ව්‍යාපෘතියද තමන්ගේ දැඩි අවධානයට යොමුවී ඇතැයි වත්මන් රජය විපක්ෂයේ සිටියදී කිව්වේය. එම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට අසාධාරණයක් සිදුවන්නේ නම් එය වැළැක්වීමට පියවර ගන්නා බවත් බලයට පැමිණීමට පෙර ජාතික ජනබලවේග ආණ්ඩුවේ නායකයන් කියා තිබිණි.
ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී (26) මාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ සිදුවන අදානි සමාගම් සමූහයේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ආණ්ඩුව වාර්තා කැඳවා ඇති බවත් ඒ පිළිබඳ පවතින ගැටලු ගැඹුරින් සොයා බලන බවත්ය. අමෙරිකාවේ ඇති සමාගමට නඩු පැවරීම සම්බන්ධයෙන් සිදු කෙරුණු විමසීමකදී ඔහු ඒ පිළිතුර ලබා දී තිබිණි. මුදල් අමාත්‍යාංශය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයද අදාළ කාරණය සම්බන්ධයෙන් සොයා බලන බවද ප්‍රකාශ විය. එහෙත් ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නැත.
අදානි සමාගම මේ වනවිට ලංකාවේ සම්බන්ධ වී සිටින්නේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පමණක් නොවේ. එම ප්‍රධාන පෙළේ ව්‍යාපෘති අතර සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමඟ එක්ව සිදු කරන ව්‍යාපෘතියක්ද වෙයි.
ලබන දෙසැම්බර් 16 සහ 17 දෙදින තුළ ඉන්දියාවේ අගමැති සහ ජනපති ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙයි. අදානිගේ ප්‍රශ්නය ඇදෙන්නේ එම ගමන ආසන්නයේදී වීම අහම්බයක් වුණත් එහි බලපෑම් එහිදී ඉස්මතු වීමටද ඉඩ තිබේ. ලංකාවේ අලුත් ආණ්ඩුව සමඟද වෙළෙඳ ගනුදෙනුවල යෙදීමට උනන්දුව දක්වන ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව අතර නිසැකවම අදානි සිටිනු ඇත. අදානිගේ ව්‍යාපාර කෙරෙහි මෝදිගේ තිබෙන නැඹුරුව හොඳින්ම දන්නා ජනාධිපති අනුර මෙහිදී ලංකාවේ සුළං බල ව්‍යාපෘතිය මාතෘකාවක් කර ගැනීමෙන් වැළකීමට උත්සාහ දරනු ඇත. එහෙත් එයට ඉන්දියාවෙන් ඉඩක් ලැබේද යන්න සැක සහිතය.
අදානිට මේ අතර අමෙරිකාවේ ඇති ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානම ආයතනයක් වන “මුඩීස්” ආයතනයේ අගරු කිරීමකට ලක්වීමටද සිදුව තිබේ. අල්ලස් දීමේ වරද යටතේ අමෙරිකානු අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබූ අදානි සමූහයේ සමාගම 07 ක් ඔවුන් ස්ථාවර තත්ත්වයේ සිට සෘණ තත්ත්වයට ඇද දමා තිබීම එයට හේතුවයි. අමෙරිකාවේ ව්‍යාපෘති සිදු කරන “අදානි ග්‍රීන් ඇන්ඩ් අදානි පෝට්ස්” ආයතනයද එම ලැයිස්තුවට ඇතුළත්ය. අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ චෝදනා යටතේ නඩුවක් ගොනු කරනු ලැබූ අදානි ග්‍රින් එනර්ජ් සමාගමේ සභාපති වන්නේ ගෞතම් අදානිය. එම සමාගමට එරෙහිව අමෙරිකානු සුරැකුම් සහ විනිමය කොමිසම මගින් සිවිල් නඩුවක්ද ගොනුකර ඇතැයි සඳහන්ය. මේ අතර ලංකාව බංකොළොත් තත්ත්වයට ඇදවැටී ඇති බවට අනාවැකි පළ කළ “ෆිච්” ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයද අදානි සමාගම් හතක් තත්ත්වයෙන් පහත හෙළා තිබේ. කෙසේ වුවද ගෞතම් අදානිටත් ඔහුගේ ඥාති පුතකු වන සාගර් අදානිටත් එම සමාගමේ තවත් අධ්‍යක්ෂවරයකු වන විනීත් ජාඉන්ටත් එරෙහිව අපරාධ චෝදනා ගොනුකර නැතැයි අදානි සමාගම ප්‍රකාශ කර තිබේ.
ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිව්වාක් මෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාරට ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ආරම්භ කිරීමට සිදුව ඇත්තේ මෙවැනි වාතාවරණයක් පවතිද්දීය. මේ නඩු දැමීම් ඉන්දියාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරේද විශාල කලබැගෑනියක් ඇතිකර තිබේ. ඉන්දියාවේ විපක්ෂය වන ගාන්ධිලාගේ කොංග්‍රස් එක පසුගිය සඳුදා (25) ඉන්දීය පාර්ලිමේන්තුවේ සභා දෙකම අදානිගේ ප්‍රශ්නයෙන් පුපුරුවා හැරියේය. ඒක දේශපාලනයේ හැටිය. අගමැති මෝදිට රිදෙන්න ගහන්න පුළුවන් හොඳම විදිය අදානිගේ කුණු කන්දල් එළියට අදින එක බව කොංග්‍රස් එක හොඳටම දැන සිටියි. මේ සිද්ධියේ දේශපාලන බලපෑම කොයි අතට පෙරළෙයි දැයි කියා දැන්ම කිව නොහැක. නමුත් එන පොට හොඳ නැති බව මෝදිට නොදැනෙනවා නම් පුදුම විය යුතුය.
වංචාව සහ දූෂණයත් එහිම කොටස්කාරයෝ වන අල්ලස සහ ඥාති - ගජ මිතුරු සංග්‍රහයත් ආසියාවේ දේශපාලනය සමඟ අත්වැල් බැඳගෙන සිටී. මේ තත්ත්වයෙන් හොඳින්ම මිඳී ඇත්තේ සිංගප්පූරුවයි. එහි අල්ලසට සහ දූෂණයට අහිමි වන්නේ රැකියාව පමණක් නොවේ. සමහර විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන්නේ ඒ වැරදිවලට මරණ දඬුවම හිමිවන බැවිනි. එසේම චීනයද ඉතාම සාර්ථක ලෙස ලොවම හසුරුවන ආර්ථිකයක් හදා ගැනීමේදී අනුගමනය කළේද වංචාවෙන් සහ දූෂණයෙන් තොර එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයක් තුළිනි. චීනයේ ඇත්තේ එක් පක්ෂයක් පමණි. ඒ චීන කොමියුනිස්ට් පක්ෂයයි.
ලංකාවේත් ජනතාව අතරින් මතු වූ දූෂණ සහ වංචාවලට එරෙහි ඉතා ප්‍රබල ව්‍යාපාරය අවසානයේ කේන්ද්‍රගත වූයේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයටය. ජවිපෙ යනු ඉන්දියාවේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගොඩනැගුණු පක්ෂයක් නොව කැරැලි ගැසූ, දැඩි මතධාරී, වරක් විනාශ වී ගිය පක්ෂයකි. නමුත් මේ පක්ෂයේ අරටුව උගත් බුද්ධිමත් එහෙත් අඩු වරප්‍රසාද සහිත තරුණ පෙළ නියෝජනය කිරීම නිසා එය යළි යළිත් ජනතාව අතර රැඳී පැවතුණේය. ඔවුහු එදත් අදත් එක සේ සමාජ අසාධාරණයට, අයුක්තියට, වංචාවට සහ දූෂණයට එක හෙළා විරුද්ධව සිටියහ. ඉහවහා ගිය දූෂිත සහ වංචනික පාලන යුග කිහිපයකින් පසුව රටේ බහුතරයක් ජනතාවගේ එකම විකල්පය බවට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පත් වූයේ ඒ අනුවය. එයට නායකත්වය දුන් අනුර කුමාර දිසානායක ජනාධිපති වූයේද එලෙසමය.
මෝදිත් ඉන්දියාවේ බලයට පත් වූයේ දූෂණ විරෝධී සටන් පාඨ මුල්කර ගනිමිනි. එහෙත් මේ වනවිට ඔවුන්ට සිදුව ඇත්තේ තමන්ගේ ගජ මිතුරකුගේ පගාව සහ ජරාව තමන්ගේද ඇඟේ ගා ගැනීමටය. ඒ අර්ථයෙන් ලංකාවේ නායකයාත් ඉන්දියාවේ නායකයාත් දැනට සිටින්නේ අන්ත දෙකක බව පැහැදිලිය.
ඔය කෙසේ වුවත් අනුර කුමාර ජනාධිපතිට රටේ නායකයා වශයෙන් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට සිදුවන බව නියතයකි. අපේ රටට ජාත්‍යන්තරයෙන් හුදෙකලා විය නොහැක. එහිදී රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ උපක්‍රම භාවිත කිරීමට ජනපතිට සිදුවනු ඇත. ඉන්දියාවට පසුව ඔහුට ඊළඟ නිල ඇරියුම් ලැබුණේ චීනයෙනි. ඔහු නිසැකවම ඊළඟට යනු ඇත්තේ චීනයටයි. ඉන්දියාව අසල්වැසියා වනවිට චීනය ලංකාවේ අතීතයේ සිටම මිත්‍රශීලී රටකි. දෙරට අතර වෙළෙඳ ගනුදෙනුද බොහෝය. නමුත් මේ වනවිට චීනයද ජාත්‍යන්තර කටයුතුවලදී මිත්‍රශීලී මෙන්ම උපක්‍රමශීලී වන බවද හඳුනාගත යුතුය. මේ දෙරටම ලොවේ බලවත්ම රටවල් දෙකක් බවද ලංකාවේ ආර්ථිකයට අමෙරිකාව සහ යුරෝපය සේම මේ දෙරටද එක හා සමානව වැදගත් බවද අවබෝධ කර ගත යුතුය.
මෙහෙම පරිසරයක් තුළ කටයුතු කිරීමට සිදුව ඇති ජනාධිපති අනුර, අදානිලාට විරුද්ධව කෑගැසූ විදුලිබල වෘත්තිය සමිතියේ රන්ජන් ජයලාල්ලා කියන විදියට රට හසුරුවයිද, නැත්නම් අදානිලා එක්ක වැඩ කරන මෝදිලා ඒ වගේම චීනයේ ෂී ජිංපිං ලා ඒ රටවල් දෙක ආර්ථික වශයෙන් දියුණු කරගත් ක්‍රමය තෝරා ගනියිද කියන එක තේරුම් ගැනීමට තවම වේලාසන වැඩිය.
• ශශීන්ද්‍ර