2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

සමගි ජනබලවේගය මාව අත්හැරියොත් මම දේශපාලනේ අත්හරිනවා

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

  • කොටසක් ගොඩ ගියා අපි ගහගෙන ගියා
  • ජාතික ලැයිස්තුවට ලොකු සටනක් තියෙනවා
  • අපි ග්‍රීස් ගහ සුද්ද කළා වෙන කට්ටියක් කොඩිය ගත්තා
  • මම දේශපාලන වශයෙන් කලකිරීමක ඉන්නෙ
  • හොරෙක් නොවන මමත් අහුවුණේ හොරු පන්නමු කියන රැල්ලට
  • අපේ පක්ෂයෙ වැඩිම මනාප ගත්ත 10 දෙනා අතරෙ මම ඉන්නවා
  • මට උලේ ඉන්නත් පුළුවන් පිලේ ඉන්නත් පුළුවන්

 

මන්ත්‍රීතුමා මොකද මේ පාර මහ මැතිවරණයේදී වුණේ?

මහා ගංවතුරක් ආවා. කොටසක් ගොඩ ගියා. අපි වගේ අය ගහගෙන ගියා. හැබැයි මම තවමත් අත්තක එල්ලිලා ඉන්නවා ගොඩට යන්න බලාගෙන.

අපි දන්නවා ආණ්ඩුවට පස්සෙ බලය ගන්නෙ විපක්ෂය. ඒත් මේ වෙලාවෙ වෙනත්ම බලවේගයක් බලය අල්ල ගත්තෙ. ඔබට හිතෙන්නෙ නැද්ද විපක්ෂයෙ භූමිකාව මීට වඩා වෙනස් වුණා නම් ජනතාව ඡන්දය දෙන්න තිබුණා කියලා?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසාර්ථක වීම මත අපි තමයි විපක්ෂයෙ කාර්යභාරය හරියටම සිද්ධ කළේ. පොහොර ප්‍රශ්නය ගත්තම, ඒ වගේම තව තව ප්‍රශ්න ගත්තමත් අපි තමයි ජනතාව පාරට ගෙනල්ලා, ඒ වගේම කොළඹට ගෙනල්ලා උද්ඝෝෂණ මාලා සිද්ධ කළේ. අපි මූලික වුණාට වාසිය ගන්න පුළුවන් වුණේ වෙනත් සටන් පාඨයක් කියාගෙන ආපු කණ්ඩායමකට. ඒ වගේම අරගලය සරු කරන්න අපි විශාල කාර්යභාරයක් ඉෂ්ඨ සිද්ධ කළා. අපි අපේ පාක්ෂිකයො ඒ හැම අවස්ථාවකටම යොමු කළා. අන්තිමට වුණේ ග්‍රීස් ගහේ සිද්ධිය. අපි උදේ ඉඳන් ග්‍රීස් සුද්ද කරලා ග්‍රීස් ගහේ නගින්න උත්සාහ කළාට හවස ආපු කට්ටිය ලේසියෙන්ම ග්‍රීස් ගහට නැගලා කොඩිය අරන් ගියා වගේ වැඩක් වුණේ.

එහෙම වෙන්න හේතුව මොකක්ද?

පහුගිය කාලය පුරාම 225 ම පන්නමු කියලා මතවාදයක් හැදුණා. ඒකට හේතු වුණේ සම්ප්‍රදායික දේශපාලනය කරපින්නා ගත්ත දේශපාලනඥයන් සමාජයට එපාම වීම. මේ නිසා අමුතුම සමාජ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එන්න ඕනෑ කියලා සමාජගත වුණා. අන්න ඒ සමාජගත වීම මත තමයි ජනතාව කිසිදු විචාරයක්, සොයා බැලීමක් නොකර මේ ඡන්දය ලබා දුන්නෙ. අන්න ඒ නිසා තමයි අපි මේකට කියන්නේ රැල්ලක් කියලා.

විපක්ෂ නායකතුමා මැතිවරණ කාලේ ජපන් කතා කරන්න ගත්තා, ණය ගෙවන්න බෑ කියලා විවිධ කතා කිව්වා, දමිතා අබේරත්න ඇවිල්ලා තව එක එක කතා ගොඩක් කිව්වා, මිනිස්සුන්ට මේවා දැකලා එපා වුණා කියලා හිතෙන්නෙ නැද්ද?

හොරු පන්නමු, දූෂිතයෝ පන්නමු කිව්ව කවදාවත් රටක් පාලනය නොකරපු සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ අපිවත් දාලා පැරැද්දුවා. අපි ආණ්ඩුවක් නොකළට අපේ තිබුණු අවංකභාවය, අපි ඇත්ත කතා කරපු එක ජනතාවගේ හදවත්වලට ස්පර්ශ වුණේ නෑ. ඒ නිසා පරණ හුරු තක්කඩි රැල්ලට අපිවත් වැටිලා පරාජය වෙන්න තමයි වුණේ.

ඒ කියන්නෙ විපක්ෂයේ අඩුපාඩුවක් තිබුණෙම නැද්ද?

විපක්ෂයෙ අඩුපාඩුවලට වඩා සමාජයෙ තිබුණු කම්පනය තමයි ඒ වෙලාවේ ප්‍රදර්ශන වුණේ.

දැන් අපි එමු ඔබේ ප්‍රශ්නයට. ඔබ කුරුණෑගලින් හතරවැනියා. හැබැයි සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගත්තා. ඒත් පාර්ලිමේන්තු යන්න බැරුව ගියා. ඒ නිසා ඔබට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දිය යුතුයි කියලා ඔබ හිතනවද?

ඔව් ඇත්තටම මට විශාල කනගාටුවක් තියෙනවා. හොරු පන්නමු කියන රැල්ල යටතේ එළෙව්ව අය අතර මම හොරෙක් නොවීම ගැන මට කනගාටුවක් තියෙනවා. අපි ඉතාම පිරිසුදුව දේශපාලනය කරපු අය. ප්‍රාදේශීය සභාවේ දෙපාරක් ඉඳලා, පළාත් සභාවේ දෙපාරක් ඉඳලා, පාර්ලිමේන්තුවේ දෙපාරක් ඉඳලා, කිසිම චෝදනාවක් නැති අය. එහාට මෙහාට ඩීල් අපි ළඟ නෑ. අපිට කෝටි ගණන්වලට කතා කරලා තියෙනවා. ආර්ථික අපහසුතා තිබුණට අවංකභාවයෙන් වැඩ කටයුතු කරපු කෙනෙක් තමයි මම. එහෙම කරලා පන්නමු කියන හොර නඩේ ගාණට මාව දාපු එක ගැන මට ලොකු දුකක් තියෙනවා.

ඔබ කුරුණෑගලින් හතරවැනියනෙ. ඒ කියන්නෙ ඔබට වඩා උඩින් ඉන්න තුන්දෙනා අර එළවන්න ඕනෑ කියන ලිස්ට් එකේ සිටිය යුතු අයද?

මම එහෙම චෝදනා කරන්නෙ නෑ. මට වඩා උඩින් තුන්දෙනෙක් ඉන්නවා. ඒ අයට මම ඒ චෝදනා කරන්නෙ නෑ. මේක අවාසනාවට වුණේ. මට වඩා උඩින් ඉන්න කෙනාට හතළිස් හයදහස් ගාණක්. මට හතළිස් පන්දහස් ගාණක්.

සාමාන්‍යයෙන් කෙනෙක් හතළිස් පන්දහස් ගාණක ඡන්දයක් ගන්නවා කියන්නෙ ලේසි නෑ. ඔබ ඒ ගැන මොකක්ද දරන අදහස?

ඒක තමා මට තියෙන දුක. ජනතාව මාව දරුණු විදිහට ප්‍රතික්ෂේප කළා නම් මට ප්‍රශ්නයක් නෑ. එහෙම වුණා නම් ජනතාව මාව ප්‍රතික්ෂේප කරපු නිසා මට දේශපාලනය අතහැරලා වෙනත් දෙයක් කරගෙන ඉන්න තිබුණා. සමගි ජනබලවේගය අනුව මම වැඩිම මනාප ගත්ත 10 දෙනා අතර ඉන්නවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළත් පාර්ලිමේන්තු යන්න වරම් නැති වුණාට මම ඒ ආසන්නයට ඇවිත් ඉන්නවා. මාව මිනිස්සු එහෙම දරුණු විදිහට ප්‍රතික්ෂේප කරලා නෑ. ඒ නිසා දැන් බලාගෙන ඉන්නවා මොකද වෙන්නෙ කියලා.

දැන් බලන්න ඔබට වඩා අලු‍තෙන් පක්ෂයට ආපු දයාසිරි ජයසේකර දිනනවා. ඒත් තුෂාර ඉඳුනිල්ට බෑ. මොකක්ද ඔබලා දෙන්නා අතර තියෙන වෙනස?

මට ඒකට හරි උත්තරයක් කියන්න බෑ. මොකද ජනතාව හිතන්න ඇති මට වඩා දයාසිරි ජයසේකර හොඳ ඇති කියලා. ඒ වගේම සමහරවිට අපේ අයගේ ඡන්දයට අමතරව ඔහුට ශ්‍රී ලංකා එකේ ඡන්දත් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ ගැන මට ලොකු විවේචනයක් නෑ. මොකද ඒක ජනතාවගේ තෝරා ගැනීමනෙ.

ඔබට තියෙන අන්තිම තුරුම්පුව තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය. තවත් කට්ටිය ඒකට සටන් කරනවා. ඔබ ඉල්ලීමක් කළාද?

මම ඒ ගැන ඉතාම කනගාටුවෙන් ඉන්නෙ.

ඒ කියන්නෙ අර කිව්වා වගේ මන්ත්‍රී ධුරය නොලැබුණොත් ජීවිතේ නැතිකර ගන්නවා?

අන්න ඔය දේ ගැන තමා මට තියෙන කනගාටුව. ඔයා මේක අනිවාර්‌යෙන් ලියන්න. මට කතා කරන්නෙවත් නැතුව එක්තරා පුවත්පතක් බොරු නිව්ස් එකක් ලියලා. මට සමාජ මාධ්‍යයෙන් නොසෑහෙන්න ගහනවා. මට ඒක ලොකු අපහාසයක්. මම ඒ ජාතියේ මිනිහෙක් නෙමේ. මට උලේ ඉන්නත් පුළුවන් පිලේ ඉන්නත් පුළුවන්. මේ ලිපිය යනකොට සමහරවිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කරලා තියෙන්න පුළුවන්. මට දෙන්නත් පුළුවන්, නැතිවෙන්නත් පුළුවන්. ඒත් මම ඉරිදට මේ සාකච්ඡාව පත්තරෙන් බලනවා. ඒ කියන්නෙ මම ජීවත් වෙනවනෙ.

ඔබ නායකතුමාට කිව්වද නොදුන්නොත් මැරෙනවා කියලා?

නෑ. මම නායකතුමාට ලිපියකින් කිව්වා මගේ මනාප මෙහෙමයි, කුරුණෑගල ජනතාව මෙහෙමයි කියලා. මොකද ගම්පහ, කොළඹ, කුරුණෑගල තමයි වැඩිම ජනතාව ඉන්නෙ. ඒ වගේම අපේ පක්ෂයෙ වැඩිම මනාප ගත්ත 10 දෙනාගෙන් පාර්ලිමේන්තු යන්න බැරි වුණේ මට විතරයි. ඒ නිසා මට සාධාරණයක් කරන්න කියලා මම ඉල්ලු‍වා නායකතුමාගෙන්.

මැරෙන කතාවක් කිව්වෙම නැද්ද?

මම ඔය ලියුම දීලා එද්දි මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇහුවා, මට මන්ත්‍රීකම නොලැබුණොත් එක්සත් ජාතික පක්ෂයට යනවද කියලා. මම ඒ වෙලේ කිව්වා ඩීල්වලට පක්ෂය දාලා යන්නෙ නෑ කියලා. සමගි ජනබලවේගය කියන්නෙ මගේ ජීවිතේ, පක්ෂය දාලා යනවට වඩා හොඳයි ජීවිතේ දාලා යනවා කියලා මම කිව්වා. ඔන්න ඕක තමා වැරදි විදිහට ගියේ.

සමගි ජනබලවේගය ඇත්තටම ඔබව අතහැරියොත් ඔබ ගන්න තීන්දුව මොකක්ද?

සමගි ජනබලවේගය මාව අතහැරියොත් මම දේශපාලන ජීවිතය අතහරිනවා. මේකනේ මේ පටලවලා ගහලා තියෙන්නෙ. ඒ බොරුව නිසා මට විශාල ලැජ්ජාවක් වුණා.

මන්ත්‍රීකම නැතුව ඉන්න බෑනෙ ලැබෙන දේවල් නිසා?

අන්න හොඳ ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවෙන් මන්ත්‍රී වරප්‍රසාද කපන්න යෝජනා ගේන්න යනවනෙ. මතක තියාගන්න මට මහ ධනයක් නැති වුණත් මම මන්ත්‍රී වරප්‍රසාද අයුතු විදිහට පාවිච්චි කරලා නෑ. සමහර අවස්ථාවල ප්‍රයෝජනයක් අරගෙනම නෑ. ඒ නිසා වරප්‍රසාද නොගත්ත මිනිහෙක්ට වරප්‍රසාද ලබන්න යනවා කියන්නෙ වැරදි මතයක්. මට ඡන්දය ලබා දුන්න මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕනෑ.

මේ වෙද්දි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර කීයක් ඉතුරුද පක්ෂයෙ?

හතරක් ඉතුරු වෙලා තියෙනවා.

කී දෙනෙක් ඒ හතරට සටන් කරනවද?

ඒකත් මේ ලෙහෙසි පහසු නෑ. සුළු පක්ෂ නායකයො සටන් කරනවා. මනෝ ගනේෂන් පැරදිලා තියෙන නිසා ඔහු ඉල්ලනවා. ඒ වගේම කාන්තා නියෝජනය කියලා හිරුණිකා ඉල්ලනවා. ඒ වගේම එරාන් වික්‍රමරත්න ඉල්ලනවා.

ඉතින් හතරට හතරදෙනා හරිනෙ?

තව ඉන්නවා කිහිප දෙනෙක්.

ඒ අය එළියට එන්නෙ නෑනෙ?

අපෝ ඒ වුණාට ඇතුළෙ සටන් කරනවා.

ඇත්තම අදහස මොකක්ද පක්ෂයෙ?

පක්ෂයෙ මත දෙකක් තියෙනවා. එකක් වෘත්තිකයන්ට වඩා පක්ෂයට ප්‍රායෝගිකව වැඩ කරන, පක්ෂයෙ උන්නතිය වෙනුවෙන් වැඩ කරන, සාධාරණයක් වෙලා නැති අයට අවස්ථාව දෙන්න කියලා කට්ටියක් කියනවා. තව අය කියනවා ලැයිස්තුවට ඉඩ දීලා ලැයිස්තුවෙන්ම ගන්න කියලා. ඔය මත දෙකම තියෙනවා.

ඔබව ඕනෑ නම් ජනතාව ඉහළින්ම උස්සලා තියනවනෙ. අවශ්‍ය නැති නිසානෙ ගෙදර යවලා තියෙන්නෙ. ආයෙ පාර්ලිමේන්තු යන්නෙ ඇයි එහෙනම්?

ජනතාව දන්නෙ නෑනෙ කොච්චර ඉහළින් තියන්න ඕනද කියලා. ජනතාව නෙමේ අපිවත් දන්නෙ නෑනෙ කොච්චර ඉහළින් ඔසවා තබන්න ඕනද කියලා. ඒ නිසා ඒක ජනතාව දන්නෙ නෑ. ජනතාව ඒක දන්නවා නම් ඒක කරනවා. මට ජනතාව ගැන අහිතක් හිතන්න බෑ.

ඔය ජාතික ලැයිස්තු තීන්දුව ගන්නෙ මණ්ඩලයකින්ද? නැත්නම් වට මේස සාකච්ඡා කණ්ඩායමකින්ද?

මම දන්න තරමින් නායකතුමයි මහ ලේකම්තුමයි ගන්නෙ. හැබැයි එක් කණ්ඩායමක් පාර්ශ්ව ගණනාවක් එක්ක සාකච්ඡා කරල ගන්නෙ.

දැන් මේ තකහනියෙ පාර්ලිමේන්තු ගිහින් මොකක්ද කරන්න යන්නෙ?

මේක ගංවතුරක්. ගංවතුර බැහැලා ගියාම තමයි කරන්න ඕනෑ මොනවද කියලා පැහැදිලි කරන්න තියෙන්නෙ. එතකල් සූදානම් වෙන්න ඕනෑ.

ඔබ ලබාගත්ත ඡන්ද ප්‍රමාණයට පක්ෂයෙ ගෞරවයක් තියෙනවද?

මම තමයි හොඳම පරාජිතයා. බෙස්ට් ලූසර්. යම්කිසි පදනමක් බලනවා නම් බෙස්ට් ලූසර්ටත් හොඳ තැනක් දෙන්න ඕනෑ.

දේශපාලනමය වශයෙන් කලකිරීමකද ඉන්නෙ?

ඔව් කලකිරීමක ඉන්නෙ.

යම් දෙයක් නොලැබුණොත් ඉවරද දේශපාලන ගමන?

ඒක දැන්ම කියන්න බෑ. ඉස්සරහට බලමු.

• ගයාන් ගාල්ලගේ