උත්සව සමය සිත් ප්‍රීතියෙන් තබයි. එහෙත් බඩු මිල ඒ ප්‍රීතිය එක සැණෙකින් වනසා දමන තත්වයක් දැන් උදා වෙමින් තිබේ. කොරේ පිටට මරේ කිව්වාක් මෙන් මේ වසරේ තුන්වැනි වරටත් මහ වැස්සෙන් සිදු වූ බරපතළ හානිය එම වැනසීම තවදුරටත් වර්ධනය කරමින් පවතී. ජීවන වියදමට මේ සියලු බර එකතු වී තිබේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් දැඩි ලෙස ඉහළ යාම මේ උත්සව සමය ජනතාවට එපා කරවන තත්වයට පත් කර ඇත. සාමාන්‍යයෙන් මේ කාලය තුළ පොල් සහ බිත්තර මිල ගණන් ඉහළ යාම සිදුවෙයි. එහෙත් මෙවර එම මිල ගණන් දරාගත නොහැකි මට්ටමට ළඟා වී ඇත. පොල් ගෙඩියක මිල රුපියල් 160 සිට 200 දක්වා තරමට ඉහළ නැග තිබේ. තැන තැන ලොරි මගින් ගෙනැවිත් රුපියල් 120 ගණනේ පොල් අලෙවි කිරීමට රජය මගින් වැඩපිළිවෙළක් සකස් කර තිබුණද එය කිසිසේත් ප්‍රමාණවත් නැත. පොල් ගෙඩි වෙළෙඳපොළට ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් එතරම් මිල නැග තිබෙන අතර ඇතැම් නගරවල පොල් හිඟයක්ද තිබේ. ඊටත් වඩා මෙතරම් ඉහළ මිලකට පොල් ගෙඩියක් මිලදී ගැනීමට බොහෝ දෙනකුට වත්කමක් නැත. මේ හේතුවෙන් ඉතා සරල ලාංකික ආහාරයක් වන “පොල් සම්බෝලයි - බතුයි” සඳහා ද ජනතාවට ඉහළ මිලක් වැය කිරීමට සිදුව තිබේ.
පොල් ගෙඩිය පමණක් නොවේ, සහල්, ලොකු ලූනු, අල, බිත්තර සහ ඇතැම් මාළු සහ එළවළු ද මිල ඉහළය. බිත්තර රුපියල් 48 ක් දක්වා ඉහළ නැග තිබී මේ වනවිට රුපියල් 40 සීමාවට පැමිණ තිබෙන නමුත් එය කොයි වෙලේ යළි ඉහළ යනු ඇතිදැයි කිව නොහැක. එසේම සහල් මිල ගණන් වැඩි වී තිබෙනවා පමණක් නොව වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු වැනි සහල් වර්ග හිඟයක් ද පවතී. මේ හේතුවෙන් ඇතැම් කූඨ වෙළෙඳුන් සහල් වැඩි මිලට විකුණන බවද වාර්තා වෙයි. සහල් පිටරටින් ගෙන්වා මේ ගැටලුවට පිළියම් සොයන බවට රජය සහතිකයක් ලබා දී තිබේ. නමුත් තවමත් සහල් හිඟවීම මිල ඉහළ යාම වැළැක්වීමට නැවතීමක් නැත.
ලොකු ලූනු මිල ද පසුගිය දිනවල සෑහෙන්න ඉහළ ගියේය. එය මේ වනවිට කිසියම් සීමාවක නැවතී තිබුණත් එම මිල ගණන් පවතින්නේ තිබුණාට වඩා බොහෝ ඉහළිනි. සාමාන්‍ය වෙළෙඳපොළේ පවා ලොකු ලූනු කිලෝව රුපියල් 320 ක් පමණ වෙයි. අල, පරිප්පු සහ සුදු ලූනු ද මිල වැඩි වී තිබේ. කෙසේ වුවද ඇතැම් එළවළු වර්ග මිල සාමාන්‍ය මට්ටමේ පවතින බවද සඳහන් කළ යුතුය.
මේ පවතින තත්වය හේතුවෙන් මෙවර රටේ ජනතාවට උත්සව සමය තමන් සිතන පතන අයුරින් සැමරීමට ඉඩක් නැත. ආහාර ද්‍රව්‍යවලට අමතරව වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන්ද තවමත් අඩු වී නැත. අඩුවනු ඇති බවට රටේ ජනතාව බලාපොරොත්තු තබා ඇති විදුලි බිල අඩු කිරීමටද තවමත් නොහැකි වීමත් මෙහිදී කැපී පෙනෙයි.
මෙසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම රටේ සාමාන්‍ය ජනතාවට පමණක් නොව වෙළෙඳ ව්‍යාපාරිකයන්ටද දැඩිව බලපා තිබේ. ඔවුන්ටද මේ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවිය අඩු වී තිබීම සෑහෙන ගැටලුවකි. වෙළෙන්දාත් පාරිභෝගිකයාත් දෙදෙනාම දැඩි අසීරුවකට මුහුණ පා සිටිති.
භාණ්ඩ මිල වැඩිවීමට හේතු ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නැත. රජයේ බලධාරීන් වහා ක්‍රියාත්මක වී ජනතාවට ඇති පීඩනය තරමකින් හෝ අඩු කිරීමට ගත හැකි පියවර පිළිබඳ සොයා බැලීම අවශ්‍යය. මේ සංකීර්ණ ගැටලුවට ඉක්මන් විසඳුම් නැති බවත් මේවා කාලයක් තිස්සේ ගොඩනැගුණු අහිතකර තත්වයන්වල ප්‍රතිඵල බවත් යථාර්ථයයි. නමුත් ඒ බව ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ජනතාව සාමාන්‍යයෙන් ඉක්මන් විසඳුම් සොයන බවත් ඒ විසඳුම් නොලැබෙන විට ඔවුන් අසහනයට පත්වන බවත් රජයේ බලධාරීන් දැන සිටිය යුතුය.
එසේම වහාම සොයා බැලිය යුතු වන්නේ උත්සව සමය දඩමීමා කර ගනිමින් තමන්ගේ බඩ වඩා ගැනීමට කටයුතු කරන කූඪ වෙළෙඳුන් මේ තත්වයට වගකිව යුතුද යන්නයි. ඒ හැම කරුණක්ම සොයා බැලීම සඳහා රජයට යාන්ත්‍රණයක් තිබිය යුතුය. තිබුණාට පමණක් ප්‍රමාණවත් නැත. එය ක්‍රියාත්මක කර පාරිභෝගිකයාට සහනයක් අත්කර දීම සිදුවිය යුතුය.