මාලිමාවෙ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ඡන්ද වේදිකාවේ ලොකුවටම ඇසුණු මාලිවාවට ගහන සටන්පාඨ ගණනාවක් තිබුණි. ඒ වෙනකොට අනුර කුමාර දිසානායක රටේ ජනාධිපතිය. හැබැයි ලැබුණු ඡන්ද සංඛ්‍යාවත් ප්‍රතිශතයත් බලාපොරොත්තු වුණු ප්‍රමාණයට නොතිබූ නිසා ඔවුන්ගේ මහ මැතිවරණ ව්‍යාපාරය කොයි තරම් සංවිධානාත්මකව සිදු කෙරුණත් ඒ හැමෝම තුළ තරමක චකිතයක්ද තිබුණු බව පෙනෙන්නට තිබිණි. මේ නිසා මාලිමාවට ගහන්න හොඳ සටන්පාඨයක් හොයමින් සිටි විපක්ෂය මාලිමාවේ ආධුනික බව සටන් පාඨයකට අල්ලා ගත්තේය.
මේ සටන්පාඨයට හොඳට පණ පෙව්වේ යු.එන්.පී. ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (එන්.ඩී.එෆ්) නායක රනිල්ය. ‘‘මේ ගොල්ලො එල් බෝඩ් ඒ අයට බලය දුන්නොත් ජනතාවට අනාත වෙන්නයි වෙන්නේ. පළපුරුදු නායකයො ඉන්න අපේ පැත්තෙ ආණ්ඩ කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙ අපිටයි’’ කියා රනිල් වේදිකාවේ කියන විට එන්.ඩී.එෆ්. සෙසු පිරිස කිව්වේ කඩා වැටුණු රට ගොඩගන්න හැකිවුණේ රනිල් ගේ නායකත්වයේ පළපුරුද්ද නිසා බවය. හැබැයි රටේ බහුතරයක් ජතාවගේ තේරීම වුයේ මාලිකාමවයි.
මේ මාලිමාවේ ආණ්ඩුවේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉවර වී ඊළඟට රැස්වුණේ පසුගිය 04 වැනිදායි. ජනපති ගේ ප්‍රතිපත්ති කතාව පිළිබඳ විවාදය 04-05 දිනවල පැවැත්වුණි. ඊළඟ දවසේ අයවැය වෙනුවට ගෙන එන අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරිම සිදුවිය. එදා විපක්ෂය කිපු ‘‘එල්’’බෝඩ් විදියටද ආණ්ඩුව යන්නේ එහෙම නැත්නම් පළපුරුදු කට්ටිය යට කරගෙන යන ආණ්ඩුවක්ද තියෙන්නේ’’ කියන එක තේරුම් ගන්න නම් මේ දින කිහිපය පමණක් ප්‍රමාණවත් නැත. හැබැයි විපක්ෂය නම් තම පළපුරුද්දෙන් පාර්ලිමේන්තුවේ වැඩේ කරගෙන යාමට සෑදි පැහැදි සිටින බව නම් පැහැදිලිවම ඒ දින තුනේම පෙන්වාදී තිබිණි. ආණ්ඩු පක්ෂය ඇතැම් අවස්ථාවල වචන වරද්දා ගැනිම් පවා විපක්ෂයට ලොකු මාතෘකා වී තිබු බවද පෙනී ගියේය. සද්දෙ දාලා කතා කරලා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දුර්මුඛ කරන උත්සාහයක්ද ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් අනුගමනය කරනු පෙනී ගියේය. එහෙම සද්දෙ දාලා කතා කළ එක විපක්ෂ මන්ත්‍රීවරයෙක් වන දයාසිරි ජයසේකර පසුගිය බදාදා (04) මෙහෙම කතාවක්ද කිව්වේය.
‘‘දැඩි විනයක් කැපවීමක් සමග කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට රට අනෙක් පැත්තට හරවන්න පුළුවන් බව ඔබතුමන්ලා ඔප්පු කර තිබෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය අවසන් වී තිබෙනවා. අලුත් නායකයෙක්ට ඉඩ නොදීම නිසා ඒ පක්ෂ විනාශ වී දියවී තිබෙවා. ඔබලාගේ ජනවරම හරියට ක්‍රියාත්මක කරනවා නම් අපේ සහලායත් දෙන්න සුදානම්.’’
දයාසිරි මෙහෙම කියලා ඊළඟ දවසෙත් ආණ්ඩුවේ මන්ත්‍රිලා එක්ක හැප්පුණේය. ඔහුගේ සහායට කබීර් හෂීම් චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරුද සිටියහ. අතුරු සම්මත ගිණුමේ වචන යෙදිමේ හරි වැරැද්ද ගැන බොහොම සද්දෙට කතා බහ ගියත් පසුගිය පාර්ලිමේන්තුවේ වගේ ගොනා බුරුවා වැනි වචන නම් ඇසුණේ නැත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස ඇමතිවරයා කෙළින්ම ඇසුවේ එහෙමනම් ලබන වසරේ මුල් මාස කිහිපයට රයේ සේවකයන්ට පඩි ගෙවිය යුතු නැද්ද කියාය. වෙනත් වැඩ සඳහා මුදල් වෙන්කළ යුතු නැද්ද කියාය. මාධ්‍යයට තමන්ගේ මුහුණ දාගන්න සද්දෙ දාලා කතා කරන බවටද නලින්ද ජයතිස්ස දයාසිරිට චෝදනා කළේය. ඒ සමග කබීර් හෂිම්ගේ චෝදනාවලට සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා පිළිතුරු දුන් අතර සභානායක බිමල් රත්නායක කිව්වේ ‘‘අපි මහත්මා ගතියෙන් මේ වැඩේ කරගෙන යමු. එහෙම නැතුව එනව නම් අපි ඒකටත් සුදානම්.’’ කියලාය.
මේ ආණ්ඩුවෙත් විපක්ෂයෙත් පළපුරුදු දේශපාලනඥයන්ගේ කතා බස්වලට ආධුනික මන්ත්‍රීවරුන් මැදිහත් නොවී සිටිම මෙහිදි කැපි පෙනුණි. එහෙම වුණත් ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් ආධුනික මැති ඇමැතින් කළ ප්‍රකාශ වල හරවත් බවත් තිබු බවද දකින්නට තිබිණි. එයින් වඩාත් හොඳින් කැපි පෙනුණු එක් කතාවක් ආවේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙනි.
අධිකරණ අමාත්‍යවරයා සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකින්ම ඉතා ව්‍යක්ත ලෙස තම අදහස් ප්‍රකාශ කළේය.‘‘ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු ජනතාව රවටන උප්පරවැට්ටියක් නොවේ. අපි ජනතාවට පොරොන්දු වූ දේ ඉතා බරට සිතට ගන්නවා. රටේ සම්පත් විනාශ කළ දුෂිතයන්ට වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රධාන පොරොන්දුවක්. ඒ වගේම ජාතිවාදය ආගම්, බේදය වර්ගවාදි ගැටුම් තවදුරටත් අවශ්‍ය නෑ. ඉතිහාසයට දොස් නගනවාට වඩා අලුත් ආරම්භයක් ලබාගැනිමට වඩාත් සුදුසුයි.ජාති ආගම් වර්ග වාදයට එරෙහි නීති සකස් කර ගන්නා තෙක් තිබෙන නීති සමග කටයුතු කරගෙන යන්න අපට සිදුවෙනවා.’’
මේ ආකාරයට ආරම්භයේදිම හොඳින් පාර්ලිමේන්තුවේ තම අදහස් පළකළ ආණ්ඩු පක්ෂයේ අලුත් මැති ඇමතින් වොයිස් කට් නොදෙන ලෙසට පක්ෂයේ ඉහළින් ලැබී ඇති උපදෙස් තරයේම පිළිපදින වගක්ද පෙනී යයි. පාර්ලිමේන්තුවේ කටයුතු ගැන අවබෝධයක් සහ පළ පුරුද්දක් ඇති පක්ෂයේ ප්‍රධානීන් මාධ්‍ය සඳහා අදහස් පළ කරන බවද පසුගිය දිනවලදී පෙනිණි.
ආණ්ඩුව සම්බන්ධයෙන් සලකන විට මේ ගෙවී යන්නේ සංක්‍රාන්ති සමයකි. ජනාධිපතිත් අලුත්ය. ආණ්ඩුවත් අලුත්ය. පාර්ලිමේන්තුවේ මුල් දින කිහිපය මේ අලුත් ආණ්ඩුවේ අලුත් මන්ත්‍රිලාට හොඳම අත්දැකීමක් වන්නට ඇති බව නම් සහතිකය. අලුත් මන්ත්‍රීවරුන් ලබා ගත් දින තුනේ පුහුණුවට වඩා සැබෑ අත්දැකීම් ලැබීම පන්නරය ලබා ගැනීමට හොඳ අත්වැලකි. ඉදිරි කාලයේදි මුහුණදීමට සිදුවන තත්වය ගැන අවබෝධයක් මේ දින තුනේදී ඔවුන්ට ලැබෙන්න ඇත. සද්දෙ දාලා කතා කරලා ඒ අවබෝධය මේ තරම් ඉක්මනින් ලබාදුන් දයාසිරි, චමින්ද විජේසිරි වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ ගැන ඉදිරියේදී සතුටුවනු ඇද්ද නැතහොත් දුක් වනු ඇද්ද කියා බලාගත හැකිවනු ඇත.
එහෙත් මෙහිදී මෙතෙක් තිබූ පාර්ලිමේන්තුවලට වඩා ලොකු වෙනසක් මේ පාර්ලිමේන්තුවේ තිබේ. ආණ්ඩු බලයට ඔවුන් ආධුනික වුණාට උගත් කමින් මෙයට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ බොහෝමයක් මන්ත්‍රිවන්ට වඩා ඔවුන් ඉන්නේ ඉහළ මට්ටමකිනි. මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් 140ක්ම උපාධිධාරීන් බව සඳහන්ය. ඒ අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුද වෙති. මේ නිසා කලින්ට වඩා විනය ගරුක බවක් මෙන්ම රටට බලපාන වාද විවාද හරවත් සහ රසවත් වනු ඇති බවටද අදහසක්ද ජනතාව තුළ පවතී.
මේ ආණ්ඩුව ආරම්භයේදීම මුහුණ දුන් ප්‍රධාන ගැටලු තුනක් තිබිණි. එයින් පළමුවැන්න වූයේ දිගින් දිගටම පවතින සහල් හිඟය සහ මිල ඉහළ යාමය. ඊළඟට බරපතළ ගංවතුරකට මුහුණ දීමට සිදුවීමය. අනෙක පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍යාංශය වට කර ගෙන සිදු වූ උද්ඝෝෂණයයි.
සහල් හිඟය සහ මිල ඉහළ යාම අන් සියල්ලටම වඩා කැපී පෙනෙයි. මේ සම්බන්ධයෙන් අවසානයේ ආණ්ඩුවට ඇත්තේ පිටරටින් සහල් ගෙන් වීම පමණක් වන තැනටම තත්වය බරපතළ වී තිබේ. මෙතෙක් බලයට පත් සියලු ආණ්ඩු මෙරට සිටින සහල් මෝල් හිමි ඉතා ධනවත් බලවත් ව්‍යාපාරිකයන් සමඟ හවුලේ කටයුතු කළ බව පැහැදිලිය. මේ නිසා මෙරට සහල් වෙළෙඳ පොළ මුළුමනින්ම පාලනය වෙන්නේ ඔවුන් අතිනි. සෙසු මධ්‍යම සහ කුඩා පරිමාණ සහල් මෝල් ක්‍රමානුකූලව වැසී යාමත් සමග ඒ තත්වය වඩාත් සංකීර්ණ විය. මේ නිසා ආණ්ඩුවට සහල් මෝල් හිමියන්ගේ සහාය නැති බැරි විය. අනුර කුමාර ජනපතිගේ ආණ්ඩුව පැමිණීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ සහල් වෙළෙඳ පොළ පාලනය වනු ඇති බවකි. නමුත් සිදු වූයේ එය තවත් බරපතළ තත්වයකට පත්වීම පමණි. දැන් මිල වැඩි වී තිබෙනවා. පමණක් නොව සහල් හිඟයක්ද පවතී. මෝල් හිමියන් සහ ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක්දැයි ජනතාව දැන ගත්තේ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ පවසන කරුණුවලින් පමණි. මෝල් හිමියෝ දැඩි නිහඬ බවක ගිලී සිටිති. පිටරටින් සහල් ගෙන්වීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුවට නැති බව මතුපිටින් පෙනෙන තත්වයයි.
ඒ සමඟ ඇති වූ මහවැසි සහ ගංවතුර හේතුවෙන් රටේ ලක්ෂ 04 ක පමණ ජනකායක් විපතට පත්වූ අතර ගොවීන්ගේ කුඹුරු අක්කර ලක්ෂ 03ක් පමණ විනාශ වී ගියේය. එදා ආපදා කළමනාකරණයට රුපියල් බිලියන ගණනක් වෙන් කිරීමට සිදුවන අතර විශේෂයෙන් හානියට පත් කුඹුරු යථා තත්ත්වයට පත්කර ගැනීමට ද විශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. මෙම වගා හානිය වී අස් වැන්නටද බරපතළ ලෙස බලපානු ඇත.
ඒ සමග කිසිවකුත් නොසිතූ ලෙස හදිසියේම බත්තරමුල්ලේ ඉසුරුපාය අසල දී කළමනාකාර සේවයේ උපාධිධාරීන් පිරිසක් තමන් ගුරුවරුන් වශයෙන් බඳවා ගන්නයි කරන ලද උද්ඝෝෂණයක් ද කාගේත් අවධානයට යොමු විය. එම පිරිස 500ක් පමණ වුවද ඔවුන් මුළු මාර්ගයම වසාගෙන අවසර සිදු කීරීමත් අගමැතිනියට අභියෝග කිරීමත් එසේම පොලිසිය සමග ඇති කරගත් ගැටුමක් ආණ්ඩුව සුළුවෙන් ගන්නට නැත. එසේම එහිදී පොලිස් නිලධාරීන් තිදෙකුට කැපුම් තුවාල සිදුවීමද ආරක්ෂක අංශවල අවධානයට ලක්ව තිබෙන බවද සඳහන් ය.
මේ ජරමර අස්සේ පොල් ගෙඩියක මිල ඉහළ යාමද සමග ද ජනතාව දැඩිලෙස අසහනයට පත්කර තිබෙන බවද පැහැදිලිය. නමුත් මේ සිදුවීම් සියල්ල පසුගිය ආණ්ඩුවලින් මේ ආණ්ඩුවට ලැබුණු දෑවැදි බව නොරහසකි. සහල් මාෆියාවක් හැදුවේ පසුගිය ආණ්ඩු ගණනාවක් මගිනි. පොල් මිල නැග්ගේ පොල් ගස්වලට පොහොර නොයෙදීමත් එම අස්වැන්න කාලයක් තිස්සේ නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසාත් බව පැහැදිලිය. එසේම පාරිසරික විසමතා සහ සතුන්ගෙන් වගාවට සිදුව ඇති හානි ද එයට බලපෑම් කර තිබේ. කළමනාකරණ සේවය ගුරු වෘත්තියට ඇතුළු කර ගැනීම කාලයක් තිස්සේ නොවිසඳී තිබෙන ගැටලුවකි. ඔවුන් තුළ ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණු ද ආණ්ඩුව බලයට පත්වී පළමු පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමටත් පෙර අගමැතිනියට අභියෝග කරන තරමට ප්‍රශ්නයක් ඇති කිරීමද ගැටලු සහගත බව බැලූ බැල්මට පෙනෙයි.
පාර්ලිමේන්තු කටයුතු අලුත් ආණ්ඩුව ඇරඹුවේ මේ තත්ත්වය මැදිනි. වසර 24ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සියලු සිදුවීම් දෙස ඉතා විමසිලිමත්ව බලා සිටින බව නිසැක ය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිව්වාත් මෙන් රට අනික් පැත්තට හරවන්න පුළුවන් වූ මන්ත්‍රීවරුන් තුන් දෙනාගෙන් එක් අයකු වන්නේ ජනාධිපති අනුර කුමාරය. එහෙම නම් ගැටලුවලට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට විසඳුම් නැතැයි සිතා විපක්ෂය කලබල කළ යුතු නැත. බලයට පත්වී සති කිහිපයකින් ලොකු ප්‍රශ්න විසඳු ආණ්ඩුවක් රටේ ඉතිහාසයේම තිබුණේ නැත. හැබැයි එහෙම හිතාගෙන තමන්ගේ වගකීම් වචනවලට පමණක් සීමා කිරීමට ආණ්ඩුවටද හැකියාවක් නැත.
• ශශින්ද්‍ර