2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

මුද්‍රණ කර්මාන්තය බේරාගනිමු

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

මෙරට පොත් කර්මාන්තයට කණකොකා හඬා තිබෙන බවට නැගෙන අඳෝනා සාහිත්‍ය ක්ෂේත්‍රයම කම්පනයට පත් කර තිබේ. එක පැත්තකින් පොත් වෙළෙඳාමට පහර වැදීම නිසා ප්‍රකාශකයෝ දණින් වැටී සිටිති. තවත් පැත්තකින් පොත් කියැවීමේ නොතිත් ආශාවෙන් පෙළෙන පාඨකයෝ අලුත් පොත් මිලදී ගත නොහැකි වේදනාවෙන් පෙළෙති. මේ දෙපිරිසම රටේ මහජනතාවගෙන් වැඩි පිරිසක් නියෝජනය කරන්නෝ වෙති.

මේ අලකලංචියට පාර කැපී ඇත්තේ උසුලාගත නොහැකි බදු බරක් පොත් කර්මාන්තය මත පැටවීම හේතුවෙනි. පොත් ප්‍රකාශකයන් පවසන ආකාරයට අමුද්‍රව්‍ය ආනයනයේදී පැනවෙන බද්ද 33% කි. ඉන් අනතුරුව පොත් අලෙවියේදී අගය මත එකතුවෙන බද්ද 18% කි. එකතුව 51% කි. පොතක් මුද්‍රණය කර පාඨකයා අතට පත්වෙන විට ගෙවන මුදලින් හරි අඩකටත් වඩා බදු මුදල් වීම හැඳින්විය හැක්කේ කරුමයක් වශයෙන්ම හැර වෙනත් කුමක් හැටියටද? එය සිතා ගැනීමත් අමාරුය. පොත්වලට බදු අනවශ්‍ය යැයි අපි නොකියමු. නමුත් ඒ බදු පැනවීම පාඨකයාට දරාගත හැකි මට්ටමක තිබිය යුතු බව පවසමු.

අපේ රටේ ජනතාවට බදු බර මේ තරම් හෙණයක් වී ඇත්තේ ඔවුන්ගේ වරදින් නොවන බව යථාර්ථයයි. ජනතාව මේ කර ගසා සිටින්නේ මේ රට පාලනය කළ ඇතැම් ආණ්ඩුවල නායකයන්ගේ සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ පව් කන්දරාවටය. තරමක් දුරට මේ දූෂිත දේශපාලකයන් සමඟ යහන්ගත වී තම කඳ, බඩ පුරවාගත් ඉහළ නිලධාරීන් පිරිසක්ද මේ පව්වල කොටස්කරුවන් බවද සඳහන් කළ යුතුය.

අල ගෙඩියේ ලූනු ගෙඩියේ සිට ජනතාව පරිභෝජනය කරන සෑම භාණ්ඩයකටම සහ සේවාවකටම පනවන සියලු බදු සහ වැට් බදු උසුලාගත නොහැකි තරමට ඉහළ නැග්ගේ රට බංකොළොත් වීම හේතුවෙනි. පොත් කර්මාන්තය ද එයින් මිදී නැත. නමුත් පොත් මුද්‍රණය ඇතුළු ඒ හා සම්බන්ධ මුද්‍රණ කර්මාන්තය රටේ අධ්‍යාපනයට ද දැඩි බලපෑම් ඇති ක්ෂේත්‍රයකි. පාසල් දරුවන්ගේත් උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේත් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පත පොත සහ ඇතැම් අත්‍යාවශ්‍ය මුද්‍රිත කඩදාසි වර්ග ද මේ වැට් බදුවල නිර්දය හස්තයේ ගොදුරු බවට පත්ව තිබීම මහත් අවාසනාවන්ත තත්වයකි. මේ හේතුව නිසා ඇතැම් පාසල් දරුවන් සියලු විෂයන් එක පොතක සටහන් කර ගැනීම දක්වා අමාරු මට්ටමකට වැටී තිබේ. නොමිලේ ලැබෙන පෙළපොත්වලට අමතරව අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන අතිරේක කියැවීම් පොත් කිසිවක් මිලදී ගැනීමට බොහොමයක් පාසල් සිසුන්ගේ මවුපියන්ට හැකියාවක් නැත. පොත් පත්වලට පනවා ඇති අධික බදුවල නොපෙනෙන කටුක යථාර්ථය එයයි.

බදු ප්‍රශ්නය මුද්‍රණ කර්මාන්තයේ කඩා වැටීමට හේතු වී ඇති බව පැහැදිලි කර දීමට පසුගියදා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඇතුළු තවත් සංගම් කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ මුද්‍රණ කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කර දෙන ලෙසටයි. පොත් ප්‍රකාශනය මේ හේතුවෙන් අඩු වී ඇති බවත් ඇතැම් මුද්‍රණාල වැසී යන තත්වයට පත්ව ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර තිබිණි.

මුද්‍රණ කර්මාන්තය බැලූ බැල්මට අත්‍යාවශ්‍ය කර්මාන්තයක් වශයෙන් පෙනෙන්නේ නැතුවා විය හැක. නමුත් විදුලිය, තෙල් රටක පැවැත්මට අත්‍යාවශ්‍ය වෙනවා සේම මුද්‍රණ ද්වාරයෙන් පිටවෙන පත පොත රටේ අකුරු කියැවිය හැකි කුඩාම දරුවාගේ සිට ලොකුම වැඩිහිටියා දක්වාම අත්‍යාවශ්‍ය භාණ්ඩයකි. විදුලියෙන් තෙල්වලින් ආලෝකය සහ බලශක්තිය උත්පාදනය වන්නා සේම පත පොත පරිහරණයෙන් දැනුමින් පරිපූර්ණ සමාජයක් බිහිවෙයි. පත පොතේ දැනුම සෑම ජීවිතයක්ම බබළවන ආලෝකයක් වන බව යථාර්ථයයි. දැනුමින් තොර සමාජයක් සහ අන්ධකාරයේ පවතින රටක් අතර ලොකු වෙනසක් නැත.

ලොකු කුඩා සියලු දෙනාට බලපාන පොත් ප්‍රකාශනයට බරපතළ පාඩුවක් වී ඇති වැට් බද්ද ඉවත් කර දෙන්නැයි ඉල්ලන මුද්‍රණ කර්මාන්තකරුවන්ගේ හඬට කන් දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.