2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ජනාධිපති අරමුදලින් මැති ඇමැතිලා සව්දිය පිරීම!

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

ලොකු හැඳි භාවිත කරමින් තමන්ගේ පිඟානට හැකි තරම් බෙදාගැනීම සම්බන්ධයෙන් අපේ රටේ මන්ත්‍රීලා තරම් කප් ගැසූ වෙනත් රටක් ගැන අහන්නත් නැති තරම්ය. ඒ අතරට අලුතින්ම එක්ව ඇත්තේ ජනාධිපති අරමුදලින් මැති ඇමැතිලා පිරිසක් තමන්ටම සේවය සලසා ගැනීමයි. පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව්ව අනුව ජනාධිපති අරමුදලේ මූලික අරමුණුවලින් බැහැරව 2005 ත් 2024 ත් කාලසීමාව අතරතුරදී මන්ත්‍රීවරුන් 36 දෙනකුට කෝටි ගණනින් මුදල් ලබා දී තිබේ. මේ ප්‍රතිලාභ ලැබූවන් අතර ඇමැතිලා පමණක් නොව අගමැතිලා ද වෙති. වැඩිම මුදලකින් “ආධාර” ලැබූ මන්ත්‍රීවරුන් අතර හිටපු අගමැති දි.මු. ජයරත්න ද සිටීම එක් උදාහරණයකි. ඔහුට රුපියල් කෝටි 03 ක් ප්‍රදානය කර තිබිණි.

ජනාධිපති අරමුදල 1978 දී එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අදහසක් අනුව පාර්ලිමේන්තුවේදී සංස්ථාගත කෙරුණේ අංක 07 දරණ පනත යටතේය. එය ස්ථාපිත කෙරුණේ උදාර අරමුණු කිහිපයක් පෙරදැරි කර ගනිමිනි. දිළිඳු ජනතාවට, අධ්‍යාපනයේ විශිෂ්ට කුසලතා දක්වන දරුවන්ට, බරපතළ රෝගාබාධ සුව කර ගැනීම සඳහා ප්‍රතිකාර ගැනීමට, මුදල් ලබාදීම ඒ පරමාර්ථ අතුරින් කිහිපයකි. මහජනතාවගේ මුදල් පරිත්‍යාගවලින් මේ අරමුදල පිහිටුවන ලද්දේ රුපියල් දෙලක්ෂයකට මඳක් වැඩි මුදලකිනි. මේ අරමුදල් වර්ධනය සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට සංවර්ධන ලොතරැයියෙන් ලබන ලාභයෙන් කොටසක් යොදාගත යුතු බවද පනතේ සඳහන්ය. ජනාධිපති අරමුදල බිහිවීමේ කතාව සැකෙවින් කිව හැක්කේ එලෙසිනි.

කාලයක් තිස්සේ දලුලා වැඩුණු මහා වෘක්ෂයක් බවට පත් වූ ජනාධිපති අරමුදලේ නිල බලයෙන් සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයායි. ඒ අනුව ඉහත සඳහන් ආකාරයට සම්මත අරමුණුවලින් බැහැරව මුදල් ප්‍රතිපාදන මන්ත්‍රීවරුන්ට අනිසි ලෙස ලබාදීමේ තීන්දු ගැනීමේ වගකීම පැවරෙන්නේද ජනාධිපතිවරයාටමය. කෙටියෙන් කිවහොත් ජනාධිපතිවරයා තීන්දු කළහොත් මිස කිසිදු මුදලක් ජනාධිපති අරමුදලින් නිදහස් කළ නොහැක. ඒ අනුව රටේ ජනතාව තේරුම්ගත යුතු සත්‍යය නම් මැති ඇමැතින් 36 දෙනකුට මෙසේ ජනාධිපති අරමුදලින් මුදල් ලබා දී ඇත්තේ ඒ ඒ වකවානුවල බලයේ සිටි ජනාධිපතිවරයා විසින් බවයි.

මේ ආකාරයට මුදල් ලබාගත් ඇතැම් මන්ත්‍රීවරුන් එම මුදල් තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොදවාගත් බව ප්‍රසිද්ධ රහසකි. එසේ ප්‍රතිකාර ලබා ඇත්තේත් ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ පෞද්ගලික රෝහල්වලින් පමණක් නොව මෙරට ජනතාව අතර කොළඹ ජාතික රෝහල තරම්ම ප්‍රසිද්ධ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේත් ලන්ඩන් සහ ඔස්ට්‍රේලියාවේ රෝහල්වලිනුත් බව වරින් වර ප්‍රකාශයට පත්ව තිබේ. නමුත් ජනාධිපති අරමුදලින් මෙරට අසාධ්‍ය රෝගියකුට රුපියල් ලක්ෂ දෙක තුනක් ලබා ගැනීම පවා කොතරම් දුෂ්කර කටයුත්තක් ද යන්න ඒ අත්දැකීම ලැබූ ජනතාව දනිති. ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ලියැකියවිලි සහ ලිවිය යුතු ලියුම් ද ලොකු ප්‍රමාණයකි. නමුත් මේ අරමුදලින් කෝටි ගණනින් ආධාර ලබාගත් මන්ත්‍රීලා නම් ඒ සඳහා කිසිදු වෑයමක් නොදැරූ බව කැට තබා කිව හැකිය. ජනාධිපතිගේ බැල්ම යොමු කරවා ගැනීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් වූ බව අපගේ විශ්වාසයයි.

එය කෙසේ වුවද මෙරට දිළිඳු ජනතාවගේත්, විශිෂ්ට දස්කම් දක්වන දූ දරුවන්ගේත්, බරපතළ රෝගීන්ගේත් ප්‍රයෝජනය සඳහා යොදවා ගැනීමට තිබෙන ජනාධිපති අරමුදලින් මෙසේ පෞද්ගලික හිතවත්කම් මත මුදල් බෙදා දීම බරපතළ සමාජ අසාධාරණයක් මතු කරයි. ඒ ප්‍රතිපාදන ලබාගත් ඇතැම් මන්ත්‍රීවරුන් ඒ මුදල යොදා ගත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොවන බවද කියති. එසේ නම් එය නිසැකවම ජනාධිපති අරමුදල අවභාවිතයේ යෙදවීමකි. ඒ සඳහා දායක වූ සියලු මන්ත්‍රීවරුන් ඒ ගැන ලජ්ජා විය යුතුය. මින් ඉදිරියට හෝ මේ අසාධාරණය ජනාධිපති අරමුදල හරහා සිදු නොවීමට වත්මන් රජය ද වග බලාගත යුතුය.

 

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00