2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ආණ්ඩුව මේ යන්නේ විනාශයේ ගමනක්

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

කාලයක් දීර්ඝ ලෙස පාර්ලිමේන්තු දේශපාලනය කරලා, ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙලා දැන් තරමක් විවේක සුවයෙන් ඉන්න මොහොතක්. කොහොමද ඔබේ දේශපාලන ක්‍රියාකාරීත්වය මේ වෙලාවේ?
මගේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ කිසිදු වෙනසක් නෑ. වෙනදා මාසයකට දවස් අටක් පාර්ලිමේන්තු ගියා. ඒ හැරුණුවිට අන් සියලු‍ වැඩ ඒ විදිහටම කරගෙන යනවා. ඒ වගේම වෙනදා පාර්ලිමේන්තු ගිය කාලය දැන් මගේ නීතිඥ වෘත්තිය වෙනුවෙන් වැය කරනවා.

ඔබලා නියෝජනය කළේ ජාතිකත්ව කඳවුර. හැබැයි දැන් ඒ කඳවුර විනාශ වෙලා වගේ. හයියක් නෑ වගේ. මොකද කඳවුර විනාශ වෙලාද?
විනාශ වෙන්නෙ නැත්තටම නැති වුණොත්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය ගැනීම කියන්නෙ ජාතිකත්ව කඳවුරේ කූඨප්‍රාප්තිය. ඒක 1956 ජයග්‍රහණයටත් වඩා දැවැන්ත ජයග්‍රහණයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බලාපොරොත්තු වූ පරිදි ජනතා විශ්වාසය දිනා ගැනීමට නොහැකිවීම නිසා ජාතිකත්ව කඳවුර බිඳ වැටුණා. මේ හරහා ජාතික නායකයන් විතරක් නෙවෙයි, භික්ෂුන් වහන්සේලාට සමාජයට කරන්න පුළුවන් බලපෑම පවා අහෝසි වුණා.

හැබැයි ජාතිකත්ව කඳවුර පුපුරණ බවට ඉඟි පළ වුණාම ගොඩක් නායකයෝ මැතිවරණය මගහැරියා?
ඔව්. මේ මහා සැඩ සුළඟට ජාතිකත්ව කඳවුර විනාශ වෙන්න යනවා දැනගත්තම බොහෝ අය මැතිවරණ කටයුතුවලින් ඈත් වුණා. ජනාධිපතිවරණයේදී විශාල පිරිසක් ඈත්වුණා. සමහර අය නිහඬව ඉන්න තීන්දු කළා. පාර්ලිමේන්තු මැතිවරණයේදී තවත් විශාල පිරිසක් නිහඬවම ඉන්න තීන්දු කළා. හැබැයි අපි එහෙම කළේ නෑ. ඒ මහා කුණාටුව පෙනි පෙනී ජනාධිපතිවරණය සඳහා අපි අපේ කඳවුර නියෝජනය කරලා අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළා. ඒ තරග කිරීම හරහා අපේ ජාතිකත්ව කඳවුර ගැන විශ්වාසය තියෙන 178,000 ක් පමණ එකතු කරගන්න පුළුවන් වුණා. අපි එහෙම මේ පාර තරග නොකළා නම් මේ ඡන්ද ටිකත් විසිරිලා යනවා. ජාතිකත්ව කඳවුර ගොඩගන්න බැරි වෙනවා. බින්දුව 100 න් වැඩි කළත් 18 න් වැඩි කළත් බින්දුවම තමයි. හැබැයි අපි ඉන්නෙ බින්දුවේ නෙවෙයි, එක්ලක්ෂ හැත්තෑඅටදාහේ.

ඒ කියන්නෙ ආයේ කඳවුර හදාගන්න උත්සහයක් දෙනවා?
ඔව්. ඒ මහා කඳවුර යළි නිර්මාණය කරන්න ඕනෑ බීජය අපි ආරක්ෂා කර ගත්තා. අපිට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඒ ජාතිකත්වයේ හඬ නියෝජනය කරලා කෙනෙක් පාර්ලිමේන්තු ඇරියා. ඒ නිසා පුංචි බීජයක් හැටියට හෝ ජාතිකත්ව කඳවුර ආරක්ෂා කර ගැනීමට හැකිවීම අනාගතයට කළ හොඳ ආයෝජනයක් කියලයි මගේ අදහස.

අපි දන්නවා ජාතිකත්ව කඳවුර ගැන මහා ඉහළින් කතා වෙන්න ගත්තෙ 2005 න් පස්සෙ. ගොඩක් අය කිව්වේ ජාතිකත්ව කඳවුර මහින්ද රාජපක්ෂ කඳවුරේ කියලා. ඔබත් ඒ කඳවුරේ හිටියා. මම අහන්නෙ ජාතිකත්ව කඳවුර තියෙන්නෙ ඔබලා ළඟද? නැත්නම් රාජපක්ෂවරු ගාවද?
අපි ජාතිකත්වය කිසිම වෙලාවක පාවා දුන්නෙ නෑ. ජාතිකත්ව කඳවුර බිඳවැටුණේ ජාතිකත්ව කඳවුර ගැන විශ්වාසය තියලා, ජාතිකත්ව කඳවුරේ මිනිස්සු රාජපක්ෂවරු සම්බන්ධයෙන් විශ්වාසය තබලා ඒක ඒ අය විසින් විනාශ කිරීමත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආපුවම ජාතිකත්ව කඳවුරට සිග්නල් දාලා ජාත්‍යන්තරයට ඕනෑ විදිහට වැඩ කළ නිසා තමයි ජාතිකත්ව කඳවුර බිද වැටුණේ. මේක ජාතිකත්ව කඳවුරට කළ ද්‍රෝහිකමක්. ඒ හරහා ජාතිකත්ව කඳවුරට ඔවුන්ට කියන්න තිබුණු අයිතියේ සුජාතභාවය ඔවුන් විසින්ම අයින් කර ගත්තා.

දැන් ජාතිකත්ව කඳවුර නියෝජනය කරන්නෙ දිලිත් ජයවීර ඇතුළු ඔබලද?
අනිවාර්යෙන්ම සර්වජන බලය තමයි නියෝජනය කරන්නෙ.

ඒ කියන්නෙ රාජපක්ෂවරුන්ට ආයි ජාතිකවාදියෝ වෙන්න බෑ?
වසර 35 ක් තිස්සෙ ජාතිකවාදී කඳවුරේ හතුරා වෙච්ච රනිල් වික්‍රමසිංහ එක්ක රට කරපු රාජපක්ෂලට නැවත ජාතිකත්ව කඳවුරේ ඉඩක් නෑ. ඒ වගේම අයිතියකුත් නෑ.

ජාතිකත්වය, ජාතිකවාදය අද වෙද්දී ජාතිවාදය තෙක් පෙරළිලා. ඒක 2010 - 2019 දක්වා ආවා. අද ජාතිකත්වය ජාතිවාදය තැනට මිනිස්සු බය ගන්වලා. එහෙම නේද? විශේෂයෙන් වඳ කොත්තු, සාෆි වගේ සිදුවීම්?
ඒක සම්පූර්ණයෙන් වැරදි අ‍ර්ථකථනයක්. හැම කණ්ඩායමකම අන්තවාදී පිරිස් ඉන්නවා. හැබැයි මහා ප්‍රවාහයේ නායකයන් කවදාවත් ජාතිවාදය ඇති කරලා නෑ. අපි දේශීයත්වය, ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටියම බොහෝ අය කියන්න ගත්තා අපි ජාතිවාදියෝ කියලා. හැබැයි මුස්ලිම් කොංග්‍රසයට නායකත්වය දෙන රවුෆ් හකීම්ට කවුරුත් ජාතිවාදියා කියන්නෙ නෑ. දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දුන්න ආර්. සම්පන්දන්ට කවුරුවත් ජාතිවාදියෙක් කිව්වේ නෑ. ඒ වගේම දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් කතා කළ පාර්ලිමේන්තුවේ හඬ නගපු ඒ වෙනුවෙන් උසාවියේ පෙනී හිටපු මා මිත්‍ර සුමන්තිරන් මන්ත්‍රීතුමාටත් ජාතිවාදියෙක් කියලා කවුරුත් කිව්වේ නෑ. එහෙනම් අපි කොහොමද ජාතිවාදී වෙන්නෙ? මම කවද්ද දෙමළ ජනතාවට විරුද්ධව කතා කළේ? මම කවද්ද මුස්ලිම් ජනතාවට විරුද්ධව කතා කළේ? මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට එහෙම දෙයක් තියෙනවනම් පෙන්නන්න කියලා. අපි විරුද්ධ වෙලා තියෙන්නෙ මුස්ලිම් අන්තවාදයට සහ බෙදුම්වාදයට විතරයි. ජාතිකත්වය විනාශ කිරීම සඳහා ගත්ත පියවර තමයි ජාතිකත්වය ජාතිවාදය ලෙස හුවා දැක්වීම. ඒ හරහා ජාතිකවාදය වෙනුවෙන් පෙනී ඉන්න එක ජනතාවට ලැජ්ජාව බවට පත් කළා.

ඔබ හිතන්නෙ නැද්ද මේ ජාතිකත්වය යොදාගෙන අධික බල තණ්හාවෙන් දේශපාලනය කරන්න ගිය නිසා තමයි ජාතිවාදය බවට පත්වුණේ කියලා?
කිසිසේත්ම නෑ. ජාතිවාදයයි ජාතිකත්වයයි මේ රටේ හැමදාම තිබුණු දෙකක්. මෙන්න මේ දෙක මුසු කරන්න ගිහිල්ලයි ප්‍රශ්න ඇතිවුණේ. ඒක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ජාතිකත්ව කඳවුර විනාශ කරන්න.

ඒ අවුල ඇතිවුණේ ජාතිකත්ව කඳවුරෙන්ම නේද?
කිසිසේත්ම නෑ. ඇතැම් අන්තවාදීන් ජාතිකත්වය සහ ​ජාතික වාදය වෙනුවෙන් කුමන්ත්‍රණකාරී ලෙස පෙනී සිටීමත් ඒකට එක හේතුවක්. රට වෙනුවෙන් පෙනී ඉන්න කෙනා, රටේ දියුණුව අපේක්ෂා කරන කෙනා ජාතිකවාදියෝ. අනෙකුත් ජාතීන් තලා පෙලා විවිධ හිරිහැර කරන කණ්ඩායම් ජාතිවාදී හැටියට හඳුන්වන්නෙ.

ඒත් දැන් ජාතිකත්වය පිළිගන්නෙ නෑ නේද?
2024 වෙනකොට අපේ රටේ ජාතිකත්වය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙන්නෙ. ඒත් මේ වෙද්දි ලෝකයේ අනෙකුත් රටවල් ජාතිකත්වය වෙනුවෙන් නැගී සිටිමින් ඉන්නෙ. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකාවේ ඩොනල් ට්‍රම්ප්, රුසියාවේ බ්ලැඩිමීර් පුටින් වගේ නායකයෝ ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නෙ. ඔවුන්ගේ දේශපාලනයේ පදනම බවට පත්වෙලා තියෙන්නෙ ජාතිකත්වය. ඔබ මතක තියාගන්න රබර් බෝලයක් වතුරේ හංගන්න බෑ වගේ ජාතිකත්වයත් එහෙම හංගන්න බෑ. කොයි මොහොතක හෝ එළියට එනවා. ලංකාවෙත් නුදුරු අනාගතයේදී ඒක වෙනවා.

ඉතින් මේ වර්තමාන ආණ්ඩුවත් ජාතිකත්වයනෙ මූලික කරගෙන ඉන්නෙ? ඔවුන් හදන්නෙ ලෝකයටම ජාතියක් හැටියට රටක් හදන්න?
කිසිසේත්ම නෑ. ඔවුන්ගේ පදනම් දර්ශනය මාක්ස්වාදය. මාක්ස්වාදය කියන ජාත්‍යන්තර මතවාදයක් මිසක් ජාතිකත්වය පදනම් කරගත්ත දෙයක් නෙවෙයි. ඔවුන් මාක්ස්වාදය අත්හැරලා නෑ කියන එක ටිල්වින් සිල්වා මහත්තයා දිගින් දිගටම කියනවා. අපි දැක්කා ඇමෙරිකාවට ගැතිව, ඉන්දියාවට ගැතිව මව්බිම පාවාදෙමින් තමයි කටයුතු කරන්නෙ. ජාතිකවාදී ආණ්ඩුවක් නම් කිසිසේත්ම ජාත්‍යන්තරයට ගැති වෙන්න බෑ. ඒක කණ්ඩායමකට විතරක් ගැති වෙන්නත් බෑ. ඒ නිසා සැබෑ ජාතිකවාදී ආණ්ඩුවක් බලයට ගේන්න ඇමෙරිකාව වගේ රටවල් උදව් කරන්නෙ නෑ. වර්තමාන ආණ්ඩු බලයට ගේන්න ඇමෙරිකාව වගේ රටවල් තමා උදව් කළේ. කවදාවත් නැතුව ඉන්දියාවට ගැති නායකත්වයක් ඉන්දියාවේ සංචාරයේදී අපි දැක්කා. මොකද ඒකාබද්ධ ප්‍රකාශය අනුව අපිට ඒක දකින්න පුළුවන් වුණා. මොකද විශාල පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධව ඒකාබද්ධ ප්‍රකාශයේ එකඟතා දකින්න පුළුවන් වුණා. මාසයක් ඇතුළත එවැනි එකඟතා හදාගන්නෙ කොහොමද කියන එක ජාත්‍යන්තරය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ඕනෑම කෙනෙක්ට ප්‍රශ්නයක්.

ඔබ බලශක්ති ඇමැතිවරයා හැටියට කාලයක් හිටියා. වර්තමාන ආණ්ඩුව සංචාරයේදී විදුලිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවයට ආවා. ඒ වගේම තෙල් නළයක් සම්බන්ධවත් කතාබහක් ආවා. කොහොමද ඒ ගැන දකින්නෙ?
විදුලිය සම්බන්ධව නම් කිසිම ගැටලුවක් නෑ. මන්නාරම් ද්‍රෝණියේ සුළං බලාගාර සම්බන්ධයෙන් විශාල ශක්‍යතා අධ්‍යයනයක් තියෙනවා. ඒ ශක්‍යතාවය අපේ රටේ අනාගත විදුලිබල ඉල්ලු‍ම හා සමානව ගත්තාම හත් අට ගුණයක් වැඩියි. ඒ වගේම ඉන්දියාවට අවශ්‍ය විදුලි ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය කරගන්න හැකියාවක් නැතුව ඉන්නෙ. එවැනි තත්ත්වයක විදුලිය නිෂ්පාදනය කර විකිණීම ඉන්දියාවට කිසිම වරදක් නෑ. ඒ යෝජනාව පරණ යෝජනාවක්. ඇත්තටම ලංකාව සහ ඉන්දියාව යා කරන විදුලි රැහැන් පද්ධතිය යා කරන්න තිබුණේ අසූව දශකයේ. ඒත් අධික විදුලිබල ඉල්ලු‍ම නිසා ඒක කල් ගියා. හැබැයි ඔය තෙල් නළය ඉදිකිරීමටත්, පාලම ඉදිකිරීමටත් අපි සම්පූර්ණ විරුද්ධයි.

ඔබ හිතන්නෙ නැද්ද වර්තමාන ආණ්ඩුව හොඳ ගමනක් යනවා කියලා?
අවාසනාවකට ආණ්ඩුව සම්බන්ධයෙන් දරුණු කර්කෂ විවේචනය ඉදිරිපත් කළේ මම. මම කිව්වා ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබුණට මේ ආණ්ඩුවේ කිසිම කෙනකුට අත්දැකීම් නෑ කියලා. ජනාධිපති අගමැති ඉඳන් පහළට යනකම්ම අධ්‍යාපන සුදුසුකම් තිබුණට රට පාලනය කිරීමේ හැකියාවක් ඔවුන්ට නෑ. ඒ නිසා අනාගතයේ දරුණු ඉරණමකට මුහුණ දෙන්න වෙනවා. අන්න ඒ එදා කිව්ව දේවල් අද ජනතාවට තේරුම් යමින් තියෙනවා.

ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නෙ?
ප්‍රේමවන්තයෝ ගෙදරින් අකමැති වුණාම ඒ අය තීන්දු කරනවා පැනලා ගිහිල්ලා පොල් සම්බෝලයි බතුයි හරි කමු කියලා. හැබැයි අද පොල් සහ හාල් මිල ගත්තාම ධනවතුන්ට පමණක් ගත හැකි ආහාර වේලක් බව පත්වෙලා තියෙන්නෙ. ඉදිරියේදී ලු‍ණු හිඟයක් ඇතිවුණොත් දුප්පතාට කන්න තිබුණු ලු‍ණුයි බතුයි කන එකත් නැති වෙනවා. මේවා මෙහෙම සිද්ධ වෙලා තියෙන්නෙ අත්දැකීම් අඩුවීම සහ අවබෝධය අඩුවීම නිසා.

පොල් හිඟය ඇතිවීමට රිළා ප්‍රශ්නය හේතුවෙලා තියෙනවා කියලා ආණ්ඩුව කියනවා. අනික මේ ආණ්ඩුවට එකපාර ඔක්කොම විසඳන්න බෑ. තවම මාස තුනක් වගේ කාලය?
ඇත්ත. පොල් වගාවේ ඵලදාව වඳුරන් විසින් විනාශ කරන බව ඇත්ත. හැබැයි රිළා ප්‍රශ්නය ආවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සෙ නෙවෙයි. මේ ආණ්ඩුව කියන්නෙ සීයා ගෙදර යනකොට කූඩුවේ හිටිය රිළව් ටික නිදහස් කළා වගේ. තමන්ගේ කළමනාකරණයේ දුර්වලතාවයට කැලේ ඉන්න සත්තු පලි නෑ. වෙන කාට හරි පැටව්වොත් ඒ අය උත්තර දෙනවා. රිළවගේ කරේ පැටෙව්වොත් උත්තර දෙන්න විදිහක් නෑනෙ. ඒ නිසා මේ ආණ්ඩුවට රිළවා වැරදිකාරයෙක් කරන එක කෙටිම උත්තරය වෙලා තියෙන්නෙ.

දැන් ඔබ අත්දැකීම් සම්බන්ධව කිව්වට එච්චර අත්දැකීම් තිබුණු මිනිස්සු 2022 ආර්ථික අවුලකට ගියේ කොහොමද?
1991 දී ඉන්දියාව ඔය වගේම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. 1998 දී රුසියාවත් ඔය වගේම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. 1982 ආජන්ටිනාව, 2004 දි ග්‍රීසිය වගේ රටවල් ආර්ථික අර්බුදයට මුහුණ දුන්නා. හැබැයි ඔවුන් ඊට පස්සේ ගෙනාවේ අත්දැකීම් බහුල නායකයෝ. එහෙම නැතුව රැවුල වවාගත්ත නායකයෝ නෙවෙයි. ඉන්දියාව ගොඩගත්තේ නරසිංහ රාවෝ. රුසියාව ගොඩගත්තේ පුටින්. එහෙම නැතුව ඩබල් පොකට්කාරයෝ නෙවෙයි. ඒ නිසා අර්බුදයකදී වැදගත් වෙන්නෙ අත්දැකීම් මිසක් තරුණ නායකත්වය නෙවෙයි.

මේ ගමන හැර වෙන ගමනක් තියෙනවද ආණ්ඩුවකට?
මේ ගමන ගමනක් නෙවෙයි. මේ යන්නෙ විනාශයට. දියුණු වෙන්න රටවල් උත්සාහ කළේ පළමුව ජාතිකත්වය තුළින් රට ගොඩනැගීමෙන්. පසුව දේශීය නිෂ්පාදනය වැඩි කිරීමටත්, දේශීය භාණ්ඩ පරිභෝජනයටත් ජනතාව හුරු කළා.
ඉතින් මේ ආණ්ඩුව අරන් තාම මාස දෙක තුනයිනෙ. තව කල් තියෙනවනෙ?
දේශීය නිෂ්පාදන වැඩි කරන්නවත්, දේශීය භාණ්ඩ පරිභෝජනය සඳහා යොමු කරන්නවත් ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ. උත්සාහයක් ගන්න බවත් පේන්නෙ නෑ.

 

• ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00