2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

දුකින් මිදෙන රටක් උදාකර ගනිමු

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

2024 වසර උදා වෙද්දී අපගේ දේශය (31-12-2023) පුවත්පත පළ කළ කතුවැකියේ ආරම්භය මෙසේ විය. “අපි අලුත් අවුරුද්දක එළිපත්තේ සිටිමු. තව පැය කිහිපයකින් 2024 නව වසරේ උදාව සිදුවෙයි. නව වසරක් උදාවීම නැවුම් බලාපොරොත්තු කුළු ගැන්වීමකි. එහෙත් පසුගිය වසර කිහිපය දෙස ආපසු හැරී බලන විට සිතට දැනෙන්නේ අලුත් බලාපොරොත්තු පිළිබඳ ප්‍රබෝධමත් බවක් නොව කඩවුණු බලාපොරොත්තු හේතුවෙන් ඇතිවන අවිනිශ්චිත බවකි.”

ඒ අර්ථයෙන් බලන කල තව දින දෙකකින් උදාවන 2025 වසර දෙස වඩාත් බලාපොරොත්තු සහගත බවක් දැනෙන බව කිව යුතුය. සහල් හිඟ වී පොල් ගෙඩිය රුපියල් 200 ට ගොස් ලුණු කැටේ පවා ඉදිරි මාස කිහිපයට රටින් ගෙන්වීමට සිදුවන තත්ත්වයක් උදා වී තිබුණද රට දැන් ආර්ථික බංකොලොත් බවින් මිදී ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් වී තිබේ. මේ වසර ආරම්භයේදී ද නොනිල වශයෙන් එවැනි ප්‍රකාශයක් ආණ්ඩුවෙන් නිකුත් වී තිබුණද රටේ ජනතාව එය තඹේකට ගණන් ගත්තේ නැත. රට බංකොලොත් කරවීමට උදව් උපකාර කළ දේශපාලන පක්ෂ සහ නායකයන් කෙරෙහි එතරම් කලකිරීමක් ජනතාව තුළ තිබීම එයට හේතුව විය.

එහෙත් 2025 උදා වෙන්නේ රටට අලුත් ජනාධිපතිවරයකුද පත් වී ඒ සමඟ අලුත් ආණ්ඩුවක්ද පත්වීමෙන් පසුවය. නොවැම්බර් 14 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් අලුත් ආණ්ඩුව නොවැම්බර් 21 වැනිදා සිය ප්‍රථම රැස්වීම් වාරය පැවැත්වූයේ ජනතාව තුළ මහත් බලාපොරොත්තුවක් ඇති කරවමිනි. රට 2025 ට පා තබන විට ආණ්ඩුව මේ ගත කරන්නේ තම පාලන කාලයේ දෙවැනි මාසයයි. රට බංකොලොත්භාවයෙන් මිදුණු බව නිල මට්ටමින් ප්‍රකාශයට පත්වීම ආණ්ඩුවට මහත් සහනයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව ආණ්ඩුවට නම් අලුත් අවුරුද්ද ප්‍රබෝධමත් ලෙස ආරම්භ කිරීමට හොඳම පොටක් පෑදී තිබේ.

ආණ්ඩුවට එසේ වුවද රටේ මහජනතාවට නම් එය එසේම යැයි කීමට හැකියාවක් නැත. ඔවුන්ගෙන් බහුතරය තවමත් පසුවෙන්නේ තමන් බලාපොරොත්තු වූ මට්ටමට ප්‍රශ්න විසඳේ දැයි කියන විචිකිච්ඡාවක්ද සමඟිනි. සහල් හිඟයට සහ පොල් මිල මේ තරමින් ඉහළ යාමටත් ලුණු නැතිවීමටත් වගකිවයුත්තේ වත්මන් නව ආණ්ඩුව නොවන බව ඔවුහු දැන සිටිති. නමුත් ඉක්මනින් සිදුවිය යුතු බවට ජනතාව බලාපොරොත්තු වූ ඇතැම් කාරණා ඉටුවී නොමැති බව පෙන්වා දිය යුතුය. පොදුවේ ජීවන වියදම අඩුවීම, විදුලි බිලට සහනයක් ලැබීම, ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා සාපේක්ෂව ඉහළ පොලියක් ලැබීම වැනි කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් දක්නට තිබීම ජනතාවගේ කනස්සල්ලට හේතු වී තිබේ. එසේම තමන්ට නැති ආචාර්ය, මහාචාර්ය පට්ටම් නම්වලට ඉදිරියෙන් යොදාගෙන තිබීමෙන් ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළගැස්මද අලුත් ආණ්ඩුවේ සුජාතභාවය දැඩිව ප්‍රශ්න කරමින් සිටී.

එය වැඩිදුර ගෙන යා යුතු ප්‍රශ්නයක් නොවිය යුත්තේ එය ජාතික ගැටලුවක් නොවන බැවිනි. නමුත් මේ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ බාගෙට තැම්බුණු විවෘතභාවයක් නොවේ. වංචාවටත් දූෂණයටත් පාරාදීසයක් වූ රටක අධ්‍යාපන සහතික පිළිබඳ ගැටලුවක් වුවද රටේ ජනතාව දකින්නේ දූෂිත සහ වංචනික ක්‍රියාවක් වශයෙනි. එබැවින් පූර්ව මැතිවරණ සමයේ පෙන්වූ විවෘතභාවය දිගින් දිගටම පවත්වාගෙන යාමේ ප්‍රබල වගකීම රජය සතු බව සඳහන් කළ යුතුය.

මේ පසුබිම අනුව උදාවන 2025 වසර රට බංකොලොත්භාවයෙන් මිදීමේ සුබ පණිවුඩයත් සමඟ ආරම්භ වුවද එය ආණ්ඩුවට සැහැල්ලුවෙන් ක්‍රියාත්මක වීමට ලබා දී ඇති “සටන් විරාම” කාලයක් නොවනු ඇත. තමන්ගේ රජයේ පළමු අයවැය ඉදිරිපත් කිරීමද ගොජ දමමින් පසුවෙන සහල් - පොල් මිල ප්‍රශ්නයද තවදුරටත් ඇදගෙන යා නොහැක. එසේම රටේ ඉදිරි ගමනට ශක්තිමත් වැඩපිළිවෙළකට පදනම දමා ගැනීමේ වගකීමද මේ වසර තුළදී ඉටුවිය යුතුය. ජනතාවට සතුටු විය හැක්කේ එවැනි වැඩපිළිවෙළකින් තමන්ගේ අපේක්ෂා ඉටුවෙන බවට සහතිකයක් ලැබීම තුළින් පමණි.

ඒ අඩිතාලම දමා ගැනීමට රජයට හැකියාව ලැබෙනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු. තමන්ගේ සිතුම් පැතුම් ඉටුවන දුකින් මිදෙන සෞභාග්‍යමත් නව වසරක අසිරිය විඳ ගැනීමට අපේ පාඨකයන් ඇතුළු රටේ සියලු ජනතාවට හැකි වේවායිද ඒ සමඟ පතන්නෙමු.

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00