2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

අනුරගේ පළමු දින 100

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

පසුගිය සැප්තැම්බර් 25 වැනිදා ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා ලබන 02 වැනිදා තම ජනාධිපති ධුරයේ 100 වැනි දවස සපුරයි. අමෙරිකාවේ නම් අලු‍තින් පත්වෙන ජනාධිපතිගේ පළමුවැනි දවස් 100 ගැන ඒ රටේ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යයන්ගේද ලොකු විස්තර පළවෙයි. පළමු දවස් 100 ඇතුළේ ජනාධිපති හොඳට ලකුණු දා ගත් වැඩ වගේම ලකුණු කපාගත් වැඩ ගැනත් ඒ මාධ්‍ය විස්තර පළ කරයි.

හැබැයි ජනාධිපති පිළිබඳ කරන පළමු දින 100 විවේචන දෙන්නම් බැටේ ආකාරයට සිදු නොකෙරෙන බවටද ඒ මාධ්‍ය වග බලාගනී. ඔවුන් බොහෝ දුරට තම අවධානය යොමු කරන්නේ ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු අනුව කටයුතු කිරීමට තම ප්‍රතිපත්ති මෙහෙයවන්නේද යන්න ගැනයි. ඒ ප්‍රතිපත්ති මෙහෙයවන ආකාරය ගැන අගැයීමක් කිරීමයි.

මේ වැඩේට මුලින්ම අත ගැහුව්වේ රූස්වෙල්ට් (1933) ජනාධිපතිවරයාය. ඒකට හේතුවක් තිබිණි. ඔහුට කලින් සිටි හූවර් ජනාධිපති ඔහුගේ පාලන කාලය තුළදී අමෙරිකාවේ ආර්ථිකය බින්දුවට බස්සවා තිබුණි. රටක් හැටියට අමෙරිකාව ලබාගත් දේට වඩා අහිමි වූ දේ ඉතා විශාල විය. ඒ පාලනය ගැන කලකිරුණු අමෙරිකානු ජනතාව රූස්වෙල්ට් ජනාධිපතිවරයා බලයට පත් කරගත්තේ තමන්ට වඩා රට ගැන සිතමිනි. මේ නිසා ආරම්භයේදීම රූස්වෙල්ට් ජනාධිපතිගේ කර මත පැටවී තිබුණේ ලොකු වගකීමකි.

ඔහු දවස් 100කින් තමන් කරන්න යන වැඩපිළිවෙළ ගැන ජනතාව දැනුවත් කළේ එවකට එරට ඉතා ජනප්‍රියව තිබූ රේඩියෝව ඔස්සේය. පුවත්පත් ද ඒ තොරතුරු ඉන්පසුව පළ කළේය. ඊට පස්සේ අලු‍ත් ජනාධිපතිවරයකු පත් වී දින 100 ක් ඉක්මවීම අමෙරිකාවට ලොකුවට පුවත් මැවූ සිද්ධියක් බවට පත්වුණි. අමෙරිකානු මෑතකාලීන දේශපාලන ඉතිහාසය ගත්තොත් මේ දින 100 මාධ්‍ය මෙහෙයුමෙන් හොඳ චරිත සහතික ලබා ඇත්තේ රොනල්ඩ් රේගන් (1980-1988) සහ බැරක් ඔබාමා (2008-2016) පමණක් බවද සඳහන්ය.

මේ තත්වය ලංකාව වැනි ආසියානු රටවලට එතරම් අදාළ නැත. එහෙම වුණත් ලංකාවේ බලයට පත් වූ ජනාධිපතිවරුන් බොහොමයක් දෙනා පළමු දින 100 වැඩ ගැන තරමක උනන්දුවක් දැක්වූ බව ප්‍රසිද්ධය. 2015 දී බලයට පත් වූ මෛත්‍රීපාල - රනිල් යහපාලන ආණ්ඩුව පළමු දින 100 සඳහා වැඩසටහනක්ද රට හමුවේ තැබීය. රජයේ සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කිරීම, තෙල් මිල ජනතාවට හොඳට දැනෙන තරමට අඩු කිරීම, පුංචි වාහන ගෙන්වීමට අවසර දීම වැනි ආකර්ශනීය පියවර ගණනාවක්ම ගැනීමට ඒ දින 100 තුළ දී යහපාලන ආණ්ඩුව ක්‍රියා කළේය. ඒ අතරම ආදායම් බදු ව්‍යුහය පුළුල් කිරීමටද තීන්දුවක් ගත් නමුත් ඒ තීන්දුවට එරෙහිව රටේ ජනතාව දැඩිව විරෝධය දැක්වූහ. ලංකාවේ හැටි එහෙමය.

එහෙත් ඒ දින 100ම ඇතුළෙම සිදුවූ බැඳුම්කර වංචාව හේතුවෙන් ආණ්ඩුව අප්‍රසාදයට පත්වුණි. ඇත්තටම සිදුවූයේ ඒ වෙලාවේ විපක්ෂයට තල්ලු‍ වූ මහින්ද රාජපක්ෂ රජයේ මන්ත්‍රීවරුන් ඒ අවස්ථාව යොදාගෙන රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමයි. බැඳුම්කර මගඩිය ගැන මාධ්‍ය සාකච්ඡා හැමදාම තිබුණි. පාර්ලිමේන්තුවෙත් ඒ ගැන විවාද ඇතිවිය. මේ තත්වය කොතරම් දුරදිග ගියාද කිව්වොත් දින 100 ඉතිරි වැඩපිළිවෙළ කඩාකප්පල් විය. දින 100 අවසානයෙන් පසුව දින නියම කරගෙන තිබූ මහ මැතිවරණය පවා කල් දැමීමට සිදුවූ අතර මැයි මාසේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය අගෝස්තු මාසයටම කල් ගියේය. අගෝස්තු මාසයෙත් ඡන්දය තියන්න සිදුවූයේ ආණ්ඩුවේ කටයුතුවලට එරෙහිව කෝප් කමිටුව සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සැලසුම් කිරීම හේතුවෙනි. ඒ මැතිවරණයෙන් ආණ්ඩුව දිනුවත් මහින්දගේ විපක්ෂ නායක්වයෙන් ප්‍රබල විපක්ෂයක්ද බිහිවිය.

ඒ වගේම යහපාලනය පළමු දින 100 තුළ ජනතාවට පොරොන්දු වූ සහන ලබාදීම හේතුවෙන් රටේ ආර්ථිකයට බරපතළ ප්‍රශ්න ඇතිවිය. යහපාලන පොරොන්දු ඉටු කිරීමට ඔරොත්තු නොදෙන වැය බරක් දැරීමට සිදුවීමත් ඒ සමඟ ජනතාවගේ අප්‍රසාදයට පත්වීමට බියෙන් අවසානයේ යම් පමණකින් වැඩි කළ යුතුව තිබූ විදුලි බිල වැඩි නොකිරීමත් හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ පාඩුව බිලියන ගණනින් ඉහළ නැග්ගේය. එවකට හිටපු විදුලිබල ඇමැති චම්පික රණවක විදුලිබල මෙහෙයුම්වලින් මණ්ඩලයට ලාබ ලබන බව ප්‍රකාශ කළත් දිනෙන් දින විදුලිය නිපදවීම සඳහා තෙල් සංස්ථාවෙන් ණයට ලබාගත් තෙල් මිල ඉහළ යාම පාලනයෙන් තොර විය. රටේ සෙසු වියදම් ද ඉහළ ගියේ අවශ්‍ය තරමට රජයේ බදු ආදායම වැඩිකර නොගෙන මේ සියලු‍ වියදම් දැරීම හේතුවෙනි. ඊළඟට ආණ්ඩුවට ගැනීමට තිබුණේ එක් පියවරක් පමණි. ඒ විදෙස් ණය ගැනීම්ය.

යහපාලන කාලය තුළ ඒ අනුව ඩොලර් බිලියන 12 කට ආසන්න විදෙස් බැඳුම්කර ණය ලබාගනු ලැබීය. ඒ ඇතැම් ණය ගත්තේ රාජපක්ෂ පාලනය යටතේ ලබාගෙන තිබූ ණය කල්පිරීම හේතුවෙන් ඒවා ගෙවා දැමීමටයි. මේ බොහොමයක් බැඳුම්කර ණය වාණිජ මට්ටමේ පොලියට අනුව ලබාගැනීම නිසා රටේ ණය බර උසුලාගත නොහැකි තරමට වැඩිවුණි. මේ ණය බර වැඩිවීමේ බරපතළකම රටේ ජනතාවට නොදැනෙන සේ කටයුතු කිරීමට යහපාලනය සමත් විය. විපක්ෂයත් ණය බර වැඩිවීම ගැන පාර්ලිමේන්තුව තුළදී කෑගැසුවත් ඒ ගැන වැඩිදුර විස්තර නොකිව්වේ ඒ වැරැද්දේ තමන්ද කොටස්කාරයෝ වන බැවිනි. ඊළඟ ජනාධිපතිවරණයේදී ආණ්ඩුව ගෙදරම යැවීමට ජනතාව වගබලා ගත්හ.

ගෝඨාභය ආණ්ඩුව අරගෙන පළමු දින 100 තුළ ගත් ලොකුම තීන්දුව ද රටේ ආර්ථික තත්වය තවදුරටත් පහළ දැම්මේය. යහපාලන ආණ්ඩුවෙන් ඉගෙනගත යුතුව තිබූ පළමු පාඩම අමතක කළ ගෝඨාභය රටේ බදු ආදායම බිලියන 560 කින් අඩු කෙරෙන විදියට වැට් බද්ද අඩු කළේය. ඒක කළේ ඔහු බලයට ගෙන ඒමට ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මක කළ වියත්මගේ ‘වියතුන්’ගේ මනදොළ සපුරා දීමටය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මේ වියත්තු කළේ ඒ ලැබුණු වාසිය රටේ ජනතාවට ලබාදෙමින් ව්‍යාපාරික කටයුතු ඉහළ දැමීමට ක්‍රියා කිරීම නොව තමන්ගේ මඩි තර කරගෙන රටේ ව්‍යාපාරික කටයුතුවල ඒකාධිකාරයක් පවත්වාගෙන යාමය. ඒ එක්කම ඇතිවූ කොවිඩ් තත්වය හේතුවෙන් දුර්වල වූ ආර්ථික තත්වයට රටේ බදු ආදායම බිලියන සිය ගණනින් අහිමිවීම ඔරොත්තු දුන්නේම නැත. මේ නිසා කොවිඩ් තත්වයෙන් රට මිදෙන විට රටේ ආර්ථිකය වලපල්ලටම ගියේය. රටේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය  ඡන්දයකින් තොරවම ගෝඨාභය ආණ්ඩුව ගෙදර යැවීමට හේතු වූයේ ඒ අනුවය. ආණ්ඩුව ගෙදර ගියේ රට ආර්ථික වශයෙන් බංකොළොත් කිරීමෙන් පසුවය.

2015 දී පරාජය වීමට කලින් තිබූ මහින්දගේ පාලනය දින 100 වැඩ ගැන උනන්දුවක් නොදැක්වුවත් රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට නිර්මාණාත්මක තීන්දු ගැනීමට සමත් වූයේ නැත. ඒ වගේම යුද්ධය දිනා ගැනීමෙන් පසුව ලොවේ බලවත් රටවල් සමඟ සහයෝගයෙන් වැඩ කරනු වෙනුවට අමෙරිකාවට සහ යුරෝපයට එරෙහිව අනුගමනය කළ දැඩි අන්තවාදී ආවේගශීලී ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථිකය දුර්වල කර ගත්තේය. මහින්දලා අමතක කළේ මේ රටට අපනයනයෙන් වැඩි ආදායමක් ලබා දුන්නේ අමෙරිකාව සහ යුරෝපය බවයි. එසේම ජනතාව නොසන්සුන් වීම වළක්වා ගැනීමට සහන ලබාදීමට දිගටම ක්‍රියා කළේය. ඉතාම නාස්තිකාරී ‘සංවර්ධන’ වැඩ සඳහා හිතෙන හිතෙන පරිද්දෙන් ලබාගත් ණය අවසානයේ මහ ණය කන්දරාවක් බවට පත්විය. විදුලිබල මණ්ඩලයෙන් තෙල් සංස්ථාවෙන් ලබමින් සිටි අධික පාඩුවද මහින්දගේ ආණ්ඩුව නොසලකා හැරියේය. මෙනිසා 2015 දී එහි අවසානය සිදුවන විට රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අත්‍යවශ්‍ය වී තිබූ විදේශ විනිමය උත්පාදනය දැඩි ලෙස පහළ වැටෙමින් තිබුණි.
අනුර කුමාර දිසානායක ගැන රටේ ජනතාව බලාපොරොත්තු ඇතිකර ගත්තේ පැවති ආණ්ඩු මගින් ඒ ආකාරයට දිගින් දිගටම සිදු කළ බලාපොරොත්තු කඩ කිරීම්වල බලපෑම හේතුවෙනි. රට ණය උගුලක සිරකිරීම පමණක් නොව ඒ ඇතුළේ බලවත් පුද්ගලයන් සිදුකළ අසීමිත වංචනික සහ දූෂිත ක්‍රියා හේතුවෙන් තමන්ට විශාල වන්දියක් ගෙවීමට සිදුව තිබෙන බව ජනතාවට දැනෙන විට රට බංකොලොත් වී තිබුණි. මහින්ද, රනිල්, සිරිසේන, ගෝඨාභය මේ සියලු‍ පාලන කාලය තුළදී රටට අහිමි කෙරුණු බදු මුදල් අන්තිමට ගෙවන්න සිදුවුණේ රටේ අසරණ ජනතාවටයි. ඔවුන් තමන්ට යම් හෝ සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීම් කිරීමත් ඒවා ලැබෙන බවට බලාපොරොත්තු ඇතිකර ගැනීමත් සාධාරණය. ජනාධිපති අනුර කුමාර පළමු දින 100 ගැන ආපසු හැරී බැලිය යුත්තේ මේ පසුබිමේ සිටිමිනි.

අනුර කුමාර ජනපතිගේ පාලනය ආරම්භයේදීම ඔහු කිව්වේ තමා ඉන්ද්‍රජාලිකයකු නොවන බවය. මැජික්කරුවකු නොවන බවය. තමන්ට පුළුවන් දේවල් මෙන්ම බැරි දේවල්ද තිබෙන බවය. ඒ වගේම දන්නා දැනුම භාවිත කර වැඩ කර ගැනීමට තමන්ට හැකියාව තිබෙන බවය. ඒ හැර ඔහු පළමු දින 100 ඇතුළේ මේ මේ දේවල් කරනවා කියා පොරොන්දු දුන්නේ නැත. ඇතැම් පොරොන්දු ඔහු දුන්නේ ජනාධිපතිවරණයේදී ජය ගැනීම සඳහා පැවැත්වූ දේශපාලන රැලිවලදීය.

ඔහු පළමු දින සියය තුළ තමන් මෙතෙක් බලයට පත් සියලු ජනාධිපතිවරුන්ට වඩා වෙනස් බව ක්‍රියාවෙන් ඔප්පු කළේය. අභිනව ජනාධිපති වශයෙන් පත්වී සිදු කළ රාජකාරි ආරම්භ කිරීම් සඳහා කිසිදු මුදල් නාස්තියක් කළේ නැත. භාවිත කරන වාහන සීමිතය. ආරක්ෂක වාහන අවශ්‍ය තරමට පමණි. රජයේ මුදල් කිසිදු නාස්තිකාර ක්‍රියාවකට යොදා ගත්තේ නැත. තම ඇමැතිවරුන්ටද වාහන භාවිතයට සීමා පනවා තිබේ. කලින් ආණ්ඩුවල නායකයන් සහ මැති ඇමැතින් තුළ තිබූ වී-8-බෙන්ස්, බී.එම්.ඩබ්ලිව් මේනියාව අඩු කිරීමට පියවර ගත්තේය. මේ දින 100 තුළ ඇමැතින් කිසිවකුත් රජයේ මූල්‍ය සම්පත් අවභාවිත කළ බවට හෝ වංචනික හෝ දූෂිත කටයුත්තකට හවුල් වූ බවට හෝ චෝදනා නැත. එල්ල වූ එකම වංචනික චෝදනාව හිටපු කතානායක ඇතුළු මැති ඇමැතින් කිහිප දෙනකු තම අධ්‍යාපන සහතික සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබීමය.

හැබැයි දින 100 තුළ අනුර කුමාර ජනපතිගේ පාලනයට මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාවේ ග්‍රහණයෙන් මිදීමට හැකිවී නැත. රට පුරා දැන් සහල් හිඟයක් පවතී. තමන් කවදාවත් නොකරන බව කිව්වත් සහල් රටින් ගෙන්වීමටද සිදුවිය. සහල් ගැටලු‍ව විසඳා ගැනීමට තව ටික කලක් අවශ්‍ය බව ආණ්ඩුව ඉඟිකර තිබේ. ජනතාව ඒ ගැන තවමත් රජයට දැඩිව දොස් පවරන්නේ නැත.

උපයන විට බදු ගෙවීම අඩුකරන බවට වූ පොරොන්දුව යම් පමණකින් ඉටු කිරීමට පියවර ගත් බවත් රජයේ සේවක වැටුප් යම් ප්‍රමාණයකින් වැඩි කරන බවත් ප්‍රකාශ කර තිබේ. විදුලි බිල සම්බන්ධ ගැටලු‍ව තවම විසඳී නැත. ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලියද අයවැයෙන් ඉටු කරන බවද සඳහන් කර තිබේ. තෙල් මිල අඩු කරන බවට වූ පොරොන්දුවද ඉටුවී නැත.

තමන්ගේ පාලනය තුළදී දේශපාලන සංස්කෘතිය තුළ විප්ලවීය වෙනසක් සිදු කරන බවට දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා යම් කාලයක් ගත විය හැකි නමුත් ඒ සඳහා මූලික පියවර ජනාධිපති ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. වැරැද්දක් කරන කෙනකුට කුමන තත්වයක් යටතේ වුවද සමාවක් නොදෙන බවට දී ඇති පොරොන්දුව හිටපු කතානායකට ධුරය අහිමිවීමට සිදුවීමෙන් තහවුරු විය.

පළමු දින 100 තුළ ඉටුකළ නොහැකි ජනප්‍රිය පොරොන්දු ඉටු කරන්නට ගොස් රට බංකොලොත් කළ දේශපාලන නායකයන් ගිය මග මේ ආණ්ඩුව යා යුතු නැත. මේ බව ජනතාවද අවබෝධ කරගත යුතුය. බංකොලොත් රටක දවස් 100 ක් ඇතුළත කළ හැකි මහා ප්‍රාතිහාර්යයක් නැත. ජනතාවට අවශ්‍ය වන්නේ තමන්ගේ බලාපොරොත්තුත් ඉටු කෙරෙන ගමන් රට ද දූෂණයෙන් වංචාවෙන් තොර යහපත් රටක් බවට පරිවර්තනය වනු දැකීමය. ඒ සඳහා යම් කාලයක් ලබා දීමට ඔවුන් අකමැති නොවනු ඇත.

නමුත් පැහැදිවම ඔවුන් අකමැති වනු ඇත්තේ ‘අලු‍ත් නළුවන් පිරිසක් පරණ නාට්‍යම රඟ දක්වනු’ බැලීමටය. එසේ නොවන බවට සහතිකය දිය හැක්කේ ජනපති අනුර කුමාර දිසානායකට පමණි.

• ශශීන්ද්‍ර