2025 ජනවාරි 11 වන සෙනසුරාදා

වැඩවර්ජන සහ ඉවසීම

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

වටින් පිටින් එහෙන් මෙහෙන් පුංචි දෙයටත් උද්ඝෝෂණ, වැඩවර්ජන සිදුකරන බවට නිකුත් වන ප්‍රකාශ අසන්නට ලැබේ. ඊයේ පෙරේදා මෙවැනි දැඩි ලෙස සිදුකෙරුණු තර්ජනයක් එල්ල වූයේ පෞද්ගලික බස් රියැදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ගෙනි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය බල මණ්ඩල කිහිපයක් එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබිණි. පෞද්ගලික ආයතනයක ප්‍රවාහන ගැටලුවක් ගැන සාකච්ඡාවට ගිය බව පැවසෙන මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව පාර හරස් කරමින් ඔවුන්ට පහරදීමට පවා තැන් කරමින් සිදුකළ විරෝධතාවක් ද පසුගියදා මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර මේ රජය පැමිණීමත් සමඟ තහනම් කර නැත. ඒවා තහනම් කරන බවට කිසිදු ප්‍රකාශයක් හෝ රජයෙන් නොකෙරිණි. නමුත් මේ රජය බලයට පත් වී තවමත් ගතව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් පමණි. එසේ තිබියදී මේ ආකාරයට හදිසි වී වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීම තරමක් ගැටලු සහගතය. ආණ්ඩුව බලයට පැමිණි විගසම අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ කළමනාකරණ සේවයේ නිලධාරීන් පිරිසකගේ උද්ඝෝෂණයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසල සත්‍යග්‍රහය ඇතුළු පෙළපාළියත් මෙහිදී සිහිපත් කළ යුතු වෙයි.

බස් සේවකයන්ගෙන් වැඩවර්ජන තර්ජනයක් එල්ල වූයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ පෞද්ගලික බස්වල සවිකර ඇති අමතර කොටස්, දේව රූප, බුද්ධ රූප, ඇලුමිනියම් උපාංග, බෆල් පමණක් නොව ස්ටිකර් පවා ඉවත් කරන ලෙසට පොලිසිය මගින් නියෝග කිරීමත් සමඟය. යහපත් පෞද්ගලික බස් සේවාවකට මේ ඉහත කී කිසිවක් අවශ්‍ය නැත. එහෙත් ඒවා ගැලවීමට පොලිසිය මගින් මෙහෙයුම් දියත් කිරීමට එරෙහි ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ දිවයින පුරා ක්‍රියාත්මක වන සේ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමයි. එය මහජනතාවට බරපතළ ලෙස බලපාන ගැටලුවක් විය හැකි බැවින් පොලිස්පතිවරයා බස් සංගම් සමඟ සාකච්ඡා කොට ඒවා ඉවත් කිරීමට සහන කාලයක් ලබාදීමට එකඟ වීම හේතුවෙන් වැඩවර්ජනය අත්හිටුවනු ලැබීය.

මේ හා සමානවම ත්‍රිරෝද රථවල සවිකර තිබෙන විවිධ උපාංග ද ඉවත් කිරීමක් සිදුවිය යුතු බවද සඳහන්ය. දෛනික ජීවිතවලට මේ දෙවර්ගයේම සේවාව ගමනාගමන කටයුතුවලදී අවශ්‍යය. එසේ වූ පමණින් ඔවුන්ට රටේ මාර්ග නීති අදාළ නොවන්නේද යන ප්‍රශ්නය ද පැන නගී. පෞද්ගලික බස් රියැදුරන් ප්‍රකාශ කළ තව කරුණක් වූයේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් උපාය දූතයන් බස් රථවලට නැගී සිදු කරන පරීක්ෂා කිරීම්ද නැවැත්විය යුතු බවය. එහි අනෙක් අර්ථය තමන් කොතරම් මාර්ග නීති කඩ කළත් ඒවා අල්ලා දඩ ගැසීමට විරුද්ධ වන බව නොවේද? මෙය පැහැදිලිවම සියලු මාර්ග නීති තමන්ට රිසි සේ උල්ලංඝණය කිරීමට අවස්ථාව ලැබිය යුතු බවට කරන තර්ජනයකි. මෙවැනි තර්ජනවලට පොලිසිය හිස නැමිය යුතු නැත.

පෞද්ගලික බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් බස් අයිතිකරුවන්ටත් බලපාන විශාල ප්‍රශ්න තිබෙන බව අප නොදන්නවා නොවේ. නමුත් ඒ ප්‍රශ්නවලට මාර්ග නීති කැඩීමට නිදහස තිබීම පිළිතුර විය යුතු නැත. මාර්ග නීති කැඩීම බරපතළ අනතුරුවලට නිසැක හේතුවකි. තමන් අතින් කිසිදා අනතුරක් සිදු නොවනු ඇති බවට මේ කිසිදු රියැදුරකුට සහතිකයක් දිය නොහැක. එවැනි තත්ත්වයක් තුළ තමන් විනයගරුක සේවකයකු වීමට උත්සාහ ගන්නවා වෙනුවට “අපට නීති කැඩීමට ඉඩ නුදුන්නොත් ස්ට්‍රයික් කරනවා” වැනි තර්ජන එල්ල කිරීම සුදුසු නොවේ. රට තුළ වෙනසක් සිදුකිරීමට රජය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන විට එයට සහාය දැක්වීම ජනතාවගේ වගකීමයි. එයට දේශපාලනයක් අදාළ නැත. එවැනි වැඩපිළිවෙළකට තමන් එකඟ නොවන්නේ නම් පසෙකට වීමටද ඕනෑ කෙනකුට අයිතිය තිබේ. නමුත් නීති කැඩීමට විනය විරෝධීව හැසිරීමට කිසිවකුටත් අවස්ථාවක් නැත.

සෙසු වැඩවර්ජන සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන්ද කිව යුත්තේ ඒ ටිකමය. මේ රටේ ජනතාවගෙන් 56% (ලක්ෂ 68 ක්) දෙනා ඡන්දය ලබා දුන්නේ මාලිමා රජයක් පිහිටුවා ගැනීමටය. මේ උද්ඝෝෂණ, වැඩවර්ජන සංවිධානය කරන බොහෝ දෙනා කියන්නේද තමන් ඡන්දය ලබාදුන්නේ මාලිමාවට නමුත් දැන් තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නැති බවකි. එසේම කිසිවකුටත් ඡන්දය නුදුන් මිලියන 05 ක් වෙති. මේ සියලු දෙනාම අවබෝධ කරගත යුත්තේ මේ සියලු දේට ඉවසීමක් තිබිය යුතු බවය. රජයකට වැඩ කිරීම සඳහා යම් කාලයක් ලබාදීම ඡන්දය දුන් අයගේ යුතුකමකි.